නියන හා මිටියෙන් ජීවිතය දිනූ ගැහැනියක්
- technic65
- Apr 1, 2014
- 3 min read
බසය තුළ එකම ගාලගෝට්ටියකි. මගීන් මර බියෙන් ලතෝනි දෙන්නට වූහ. එහෙත් ... ඇය පමණක් බිය නොවුවාය.
“බය වෙන්න එපා. බොරුවට කෑගහන්නත් එපා. ඒ සත්තුන්ට අපෙන් කරදරයක් නැත්නම් අපටත් කරදරයක් වෙන එකක් නැහැ...” කියමින් ඇය මගීන් අස්වසන්නට වූවාය.
මීට වසර කිහිපයකට පෙර සද්දන්තයන් රැළකට කොටු වූ පොළොන්නරුවේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රි බස් යක සිටි මගීන්ට මුහුණපාන්නට වූ මෙම සිදුවීම පිළිබඳව ඇය විස්තර කළාය.
“එතකොට මට පළවෙනි බබා ලැබෙන්න හිටියෙ ... අලි රංචුව අපේ බස් එක වටකර ගත්තා. බස් එකේ හිටපු හැමෝම කෑගහන්න පටන් ගත්තා. මම කිව්වා කෑගහන්න එපා ඒ සත්තු අපට කරදර කරන එකක් නැහැ කියලා. කිව්වත් වගේම අලි රංචුව අපි හිටිය බස් එක පහුකරලා කැලේ පැත්තට ගියා...”
කොහෙද ඒ වෙලාවෙ ගියේ?
“පොළොන්නරුවෙ ඉඳල කොළඹට බඩු වගයක් ගෙනියන ගමන් හිටියේ. බස් එකේ පිටිපස්සෙ ෂීට් එකේ ඔක්කොම තිබුණෙ මගේ බඩු...”
“දණින් නොවැටුණු මිනිස්සු” සොයා ගිය ගමනේදී ඇය අපට හමුවූයේ බත්තරමුල්ල “අපේ ගම” වෙළෙඳ කුටියක් තුළදීය. දැව මූර්ති ශිල්පය සිය ජීවිකාව කරගත් ශිරෝමි කුඩාවට ආරම්භ කළ ව්‍යාපාරය අද ජාත්‍යන්තරය දක්වා රැගෙන ගොස් සිටින්නීය.
සාමාන්‍ය පෙළ විභාගය දක්වා අධ්‍යාපනය ලැබූ ඇය උපත ලැබුවේ නුවර, කටුගස්තොටය. කුඩා කාලයේ සිටම පියාගෙන් දැව මූර්ති ශිල්පය පිළිබඳ අතහුරුව ලබාගත් ඇය හැකි අයුරින් පියාට අත් උදව් දුන්නීය. එයම පන්නරයක් කරගත් ශිරෝමි කුඩා අත්කම් නිමවා ඒවා අලෙවි කොට පාසලේ වැඩකටයුතු සඳහාද මුදලක් සොයා ගත්තාය.
ඒ වනවිටත් පාසල් වියේ පසු වූ ශිරෝමි හවස් වරුවේ සුළු රැකියාවන්හි නිරත වූයේ කීයක් හෝ උපයා ගන්නටය. ඒ අනුව ප්‍රදේශයේ ධනවත් පවුලකට විවිධ අයුරින් සේවය කළ ඇයට එයින් ද ගතමනාවක් ලැබුණි.
මේ අතර පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව යෞවන සම්මාන උළෙල සඳහා දැව මූර්ති කැටයම් නිර්මාණ ඉදිරිපත් කළ ශිරෝමිට එකම වසරක ඇය ඉදිරිපත් කළ නිර්මාණ තුනකටම පළවන, දෙවන හා තෙවන ස්ථාන තුනම දිනාගැනීමට හැකි විය.
ජාතික ශිල්ප සභාවෙන් ඇයට අත්වැලක් ලැබෙන්නේ ඉන්අතුරුවය. පොළොන්නරුව, බකමූණ වැනි ප්‍රදේශවල දරුවන්ට දැව මූර්ති ශිල්පය ඉගැන්වීම සඳහා ඇයට මග පෑදෙන්නේ ඒ අතරවාරයේය. නියමිත කාල සටහනකට අනුව පිළිවෙලකට ඉගැන්වීම් ආරම්භ කළ ඇයට ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබුණේ ද විශාල සහායකි.
ජාතික ශිල්ප සභාව මඟින් පවත්වනු ලැබූ විවිධ ප්‍රදර්ශන සඳහා නව නිර්මාණ ඉදිරිපත් කරමින් නිරතුරුවම ශිල්ප සභාව සමඟ සබඳකම් පැවැත්වූ ඇයට කොළඹ ‘ක්‍රෙස් කැට්’ හෝටලයේ වෙළෙඳ කුටියක් තුළ සිය නිර්මාණ ඉදිරිපත් කරන්නට අවස්ථාව සැලසෙන්නේ ඉන් අනතුරුවයි.
තමාගේත්, තමා යටතේ පුහුණුව ලැබූ ගෝලයින්ගේත් නව නිර්මාණ එම වෙළෙඳ කුටිය තුළදී අලෙවි කළ ඇයට ඉන් ඉහළ ආදායමක් හිමිවිය. තම සිසුන්ට ද ඉන් සාධාරණ මුදලක් ගෙවන්නට ඇය කටයුතු කළාය. ඇය ඉගැන්වීම් කටයුතු නතර කළේ නැත.
“කාලයක් මෙහෙම ඉන්නකොට මට හිතුනා කොළඹින් කුලියට ගෙයක් ගන්න ඕන කියලා. මෙහෙම ඉන්නකාලේ අපේ බඩුවල ප්‍රමිතිය නිසාම හොඳ ඉල්ලුමක් දේශීය වගේම විදේශීයවත් ලැබුණා. මෙහෙම ඉන්න කාලෙ මට දරුවා ලැබෙන්න ආසන්න නිසා ආපහු පොළොන්නරුවෙ ගියා. මගේ අම්මා හිටියෙ නුවර. මගේ උදව්වට හිටියෙ මහත්තයා විතරයි. මට පොඩි කාලේ ඉඳලා තිබුණ රෝගයක් නිසා දරුවා ලැබෙන්න ගිහිල්ලා ගොඩක් අමාරු වුණා. දරුවගෙවත් මගෙවත් ජීවිතය ගැන විශ්වාසයක් නැහැ කියලා වෛද්‍යවරු කිව්වා ඒත්... මටයි දරුවටයි දෙන්නටම ජීවත්වෙන්න වාසනාව තිබුණා.
“දරුවා ලැබිලා මාසයක් යන්නත් කලින් අපි දරුවත් අරගෙන කොළඹ ආවා. ආපහු ව්‍යාපාරය පටන් ගත්තා. දූගේ නම කියලා ව්‍යාපාරයට දැම්මේ අලුත උපන් දුව අපිට වාසනාව ගෙන ආ නිසයි. නිර්මාණකරණයේ නිරත ශිරෝමි දරුවත් කඩේ තියාගෙන මමම තමයි බිස්නස් කළේ. මහත්තයා ඒ වෙනකොට කැම්පස් අවුට්වෙලා හිටියෙ නැහැ.”
ඇය කතා කරන්නේ ඉහවහා ගිය සතුටකිනි. ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වූ කාලයේ ඇයගෙන් උදව් ලබාගැනීමේ අරමුණින් පැමිණ ව්‍යාපාරය අඩාල කරන්නට මානබැලූ පිරිසක් නොසිටියාම නොවේ. ගමෙන් නගරයට ආ ගැහැනියක මෙසේ හපන්කම් පෙන්වන්නේ කෙසේද? බොහෝ අය එසේ සිතන්නට ඇත. මාලබේ ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගන්නා ශිරෝමි එහි නව නිවසක් තනන්නට සැලසුම් කළාය. ඒ අනුව ඇය එක් කාමරයක් පමණක් වැඩ අවසන් කරගෙන නව නිවසේ පදිංචියට ගියාය.
පසුව පොළොන්නරුවේදී තමා යටතේ පුහුණුව ලැබූ සිසුන් කිහිපදෙනකු කොළඹට ගෙන්වාගන්නා ශිරෝමි, ඔවුන්ට ද නවාතැන් සොයාදී කැටයම් කැපීමේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කළාය. තමා යටතේ පුහුණුව ලැබූ සිසුන් සිය ගණනකගේ අතමිට සරුකළ ශිරෝමිට ජාතික ශිල්ප සභාවේ පිහිටි “අපේ ගම” වෙළෙඳ කුටියක් ද හිමිවිය.
එහිද ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන ශිරෝමිගේ නිර්මාණ සඳහා ජාත්‍යන්තර සම්මාන පවා ලැබී තිබේ. ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය වූ චිත්‍රපට කිහිපයක් සඳහා පසුතල නිර්මාණ ලෙස ඇය අතින් නිමවූ කැටයම් මූර්ති යොදා ගැනීම විශේෂත්වයකි. ඒ අතරින් මෑතකදී තිරගත වූ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටයේ අවස්ථා කිහිපයකම පසුතල නිර්මාණ සකසා ඇත්තේත් ශිරෝමිගේ මූලිකත්වයෙනි.
තම ව්‍යාපාර කටයුතුවලදී එදිනෙදා භාවිතයට අවැසි ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් ඇය දැන් චතුරව ඉංග්‍රීසි භාෂාව හසුරුවයි. කඩුවෙල ප්‍රදේශයෙන් තවත් ඉඩමක් මිලදී ගන්නා ශිරෝමි එහිද තම ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්නීය. ඒ අතරතුර කාලයේ ඇය දෙවන වරටත් මවු පදවි ලබා සාර්ථක ව්‍යාපාරික කාන්තාවක මෙන්ම හොඳ මවක වීමේ ජීවන සටනට උරදී සිටින්නීය.
උපුටා ගැනීම දිනමිණ
ඡායාරූප හා සටහන
උමේෂා සිරිවර්ධන
Comments