top of page
Search

මෙරිල් ජේ. ප්‍රනාන්දු සමඟ තේ කලාවේ රහස

  • technic65
  • Mar 18, 2014
  • 2 min read

ග්‍රාමීය මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන මෙරිල් ජේ. ප්‍රනාන්දු වර්ෂ 1930 දී උපත ලැබුවේ පල්ලන්සේන ග්‍රාමයේය. මීගමුවේ මාරි ස්ටෙලා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙරිල් වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සහ දිවියේ නවමු මංපෙත් සොයා යාම සඳහා කොළඹට පැමිණියේය.

එවකට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ආධිපත්‍යයට යටත්ව තිබූ තේ කර්මාන්තය පිළිබඳව ඇල්මක් දැක්වූ මෙරිල් සිය ජීවනෝපාය ලෙස තේ රස බලන්නෙකුගේ (Tea taster) වෘත්තීය තෝරා ගනු ලැබිණ. තේ ලොවේ මුදුන් මල්කඩ බඳු ලන්ඩනයේ තේ සැකසුම් මාවතේ (Mincing Lane) කර්මාන්ත ශාලා තුළ තේ කර්මාන්ත පිලිබඳ වූ පාඨමාලාවක් හැදෑරීමට තෝරාගත් ප්‍රථම ලාංකිකයන් අතරට එක් වීමට මෙරිල්ටද හැකි වීම ඔහු ලද වාසනාවකි.

පුහුණුව ලබන කාලය තුළ තේ කර්මාන්තයේ සිදු වන සියළු ක්‍රියාකාරකම් පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත් වන්නට මෙරිල් උත්සුක විය. ලාංකිකයන් විසින් සිය දෑතින්ම නෙළාගන්නා තේ දල්ල ඉතා සුපරීක්ෂාකාරී ලෙස තේ කුඩු බවට පත් කරන්නට දරන වෙහෙස සහ කැපවීම පිළිබඳව හොඳ අවබෝධයකින් සිටි මෙරිල්ට අමු ද්‍රව්‍යයක් ලෙස යුරෝපයට ගෙන යන ලංකාවේ තේ කුඩු කලවම් කර නැවත සකසා වෙළඳ නාමයන්ද එක් කර සිදු කරන අධික ලාභ ලබන ව්‍යාපාරය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.

ලංකාවේ තේ නිෂ්පාදකයාට ඉතා සුළු මුදලකුත්, අතරමැදියන් සහ බහු ජාතික සමාගම් අධික ලාභයක් ලැබීම පිළිබඳව බලවත් කණස්සල්ලට පත් මෙරිල් සිය සිතුවිලි දාමයන් අවධි කරමින් ජාතික මෙහෙවරකට ආරම්භය තබන විට මෙරිල්ගේ වයස අවුරුදු 20ක් පමණ විය. ඒ මීට වසර 50කට පමණ පෙරය.දැයේ පිනට පහල වූ දිරිය පුතු, මෙරිල් තමාගේම වෙළඳ සන්නාමය වූ Dilmah යටතේ ලංකාවේ ප්‍රථම නිෂ්පාදකයා වශයෙන් මව්බිම තුළම තේ නිෂ්පාදනය ආරම්භ කරන ලදී.

වසර 38ක නොපසුබට මෙහෙවරකින් පසු අව්‍යාජත්වය, අවංකත්වයට සහ තේ කලාවේ ආචාරධර්මයන්ට අනුකූලව උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් Dilmah තේ ලොවට හඳුන්වා දෙමින් තේ ලොව දිග්විජය කළ මෙරිල්, ශ්‍රී ලංකා මාතාවගේ සාඩම්බර දූ පුතුන් අතරට එක් විය.

එදා අතර මැදියන්ගේ සූරාකෑමට ලක් වූ සිරිලක තේ කර්මාන්තය නවමු ඉසව්වන් කරා ගෙන යාමට 1988දී මෙරිල් ආරම්භ කළ පුංචි තේ කර්මාන්තශාලාව දියුණුවෙන් දියුණුවට පත්ව අද ලොව මුල්ම තේ සන්නාමයන් 10 අතරට එක්ව ශ්‍රීලංකා මාතාවගේ ගෞරවයට වටිනාකමක් එක් කර ඇත.

කෙසේ වෙතත් මේ දිරිය මිනිසා පවසන ආකාරයට Dilmah යනු ඉතා කුඩා ව්‍යාපාරයක් වන අතර එහි ගැබ්ව ඇත්තේ හුදෙක්ම අවංකත්වය පමණි. තේ කර්මාන්තයේ අවංකත්වය යනු එහි ගුණාත්මකභාවය, කැපවීම සහ ලැදියාව වන අතර මහා පරිමාණ ව්‍යාපෘති තුළ මෙය ඉටු කළ නොහැකි බව මෙරිල්ගේ මතයයි. ඒ හේතුව නිසාම Dilmah කුඩා ව්‍යාපාරයක් වශයෙන් තව දුරටත් පවතිනු ඇත.

මෙරිල් ජේ. ප්‍රනාන්දුගේ තේ පිළිබඳව ඇති ලැදියාවට ඔහුගේ පුතුන් දෙදෙනා වන මලික් සහ ඩිල්හාන් ද එක්ව ඇත. සිය පියාගේ දර්ශණය අනුව යමින් සාම්ප්‍රදායානුකූල ගුණාත්මක බවින් යුත් නැවුම් සෞඛ්‍යාරක්‍ෂිත තේ Dilmah නමින් පාරිභෝගිකයා වෙත ගෙන ඒම ඔවුන්ගේද ඒකායන බලාපොරොත්තුවයි.

ජාතියට අහිමි වූ සම්පතක් තම මව් රටට ලබා දීමට මෙරිල් සිය ජීවිත කාලය පුරා ගෙන ගිය අරගලය ප්‍රශංසනීය සහ දිරි ගන්වන සුළුය. දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල් වලට සිය සම්පත් තුළින්ම අභීතව හිස එසවිය හැකි ආකාරය මෙරිල් ලොවට පසක් කර ඇත.

1988 දී තමන්ම නිෂ්පාදනය කරමින් තමන්ගේම වෙළඳ සන්නාමයෙන් Dilmah තේ ඉදිරිපත් කළේද මෙරිල්මය. කිසිදු මිශ්‍රණයකින් තොර නැවුම් තේ නිපදවීමේ පුරෝගාමියා වන මෙරිල් ජේ. ප්‍රනාන්දු තේ ලොව දිග්විජය කරන්නට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය. තේ වත්තෙන් නෙලා ගන්නා තේ දල්ල, තේ වත්තේ කර්මාන්තශාලාව තුළම තේ කුඩු බවට පත් කර, ඇසුරුම් කර නිෂ්පාදකයා විසින්ම නැව්ගත කළ හැකිය යන සංකල්පය පිළිනොගත් ආයතන සහ තේ ඒකාධිකාරය සමඟ දශක ගණනාවක් තිස්සේ නොයකුත් බාධක දුක් කම්කටොළු, අභියෝග මැද අරගලයක යෙදුන මෙරිල් ජේ. ප්‍රනාන්දු ඒ සියළු මිත්‍යාවන් පරාජය කරමින් තේ ලොව විජයග්‍රහණය කරන්නට සමත්ව ඇත.


 
 
 

Comments


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page