top of page
Search

පෝලියෝ, පිළිකාව ජයගත් යකඩ ගැහැණිය - නීලා

  • technic65
  • Mar 12, 2014
  • 2 min read

ජීවිතයට ගත හැකි පාඩම් විවිධයි. අනෙක් අයගේ චරිත තුළින්. උදාහරණයකට පිළිකාවක් පැරදවූ ලාන්ස් ආම්ස්ට්‍රෝං වැනි ක්‍රීඩකයින් ගන්න පුළුවන්. ඒ වගේම සිත එඩිතර කාන්තාවන් භයානක රෝග පරදවා ජය ගන්නවානම් එය අපේ ජීවිත වලටත් ඒ වගේම සංවේදී කාන්තා සිත් වලටත් ඉතා හොඳ පිටිවහලක් වෙන නිසා මම මේ කතාව අකුරු කරන්න හිතුවා.

දවස, මීට සති දෙකකට විතර කලින් දවසක්. තැන මගේ කාර්‍යාලය. අපි අපේ පාඩුවේ වැඩේ කරගෙන යද්දි එකපාරටම මගේ කාර්යාල සගයා වෙච්ච සෝරෝ මෙහෙම කිව්වා.

අභීත අයියා... සිරා වැඩක් තියෙනවා යමුද?

මොකක්ද?

ඉන්න මම ලිංක් එක එවන්නම්...

හැරෙන තපෑලෙන්ම ලින්ක් එක එව්වා මිනිහා මට. ඒකේ සටහන්ව තිබුනේ ලංකාවේ සිටින ඉතා ප්‍රවීණ ගායිකාවක් වන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ මාස්ටර් සර් ප්‍රසංගය මාර්තු 17වන දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන බවයි. ඒ වගෙම එහි තිබ්බ දුරකථනයකට කතා කලොත් එහි ප්‍රවේශපත්‍ර නොමිලයේ ලබා ගන්න පුළුවන් කියලා තිබ්බා. අපි ඉතින් පටස් ගාලා කථා කරලා ප්‍රවේශ පත්‍ර වෙන් කරගත්තා. මොන වැඩ තියාගත්තත් එදාට යන්නත් අපි අමතක කලේ නෑ. මමත් මගේ ප්‍රිය බිරිඳත්, ජේඩීත්, වාසලත්, තුශාර රවීන්ද්‍රත් (රවා) එදා ඇවිත් හිටියා. තංගල්ලේ ගොසින් සිටපු නිසා සෝරෝට මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබුනේ නෑ.

මේ තියෙන්නේ ඒ දැන්වීම....

නීලා වික්‍රමසිංහ කියපු ගමන් අපේ මතකෙට නැගෙන ගීත රාශියක් තියෙනවනේ. මගේ ලොකු පුංචි මාව නලවපු කාලේ කියපු සිංදුවක් තියෙනවා. ඒක තමයි මට නීලා වික්‍රමසිංහයන්ගේ ගීත වලින් කලින්ම සිහියට එන්නේ. මෙන්න බලන්නකො මට කළින්ම මතකෙට එන විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ ගීත ටික....

1. පුංචි සිතේ පුංචි සිනා වෙල් ඉපනැල්ලේ

2. බෝධියේ.. විහාරයේ.. පිදූ පියුම් වැනි වූ

3. වියෝ ගී ගැයෙනා හදේ

4. රහසේ හඬනා අප පැතුම් (ක්ලැරන්ස් සමඟ)

5. පාලොස්වක සඳ (පණ්ඩිත් අමරදේවයන් සම්ඟ)

6. තුන් සිත දැහැන් ගත වෙනා (කමල් සමග)

7. හිරුට අයිති බව හිරු පවසනවා

8. දුවෙක් සිටියානම් (මේක එන්න ඕන තුන්වෙනියට විතර)

මේ තමයි ලිස්ට් එකේ උඩම ඉන්නේ. තව පෝලිමක් ලිව්වෑකි. ඒත් ඉතින් පෝස්ට් එක ඉවර කරන්නත් එපායැ. ගොඩාක් ගායක ගායිකාවන් තමන්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංග වල ගායනා කරන්නේ උපරිම සිංදු 20යි. ඇය ඇගේ රසිකයින් වෙනුවෙන් ගීත 37ක් ගායනා කළා. අවසානයේ තව ගීත කොටස් 6ක් විතරත් ගායනා කළා. පැය 5ක ප්‍රසංගයක සජීවී අත් දැකීමක් වින්දමයි මම. ඉදිරියටත් විඳින්නේ නැතිවෙයි. ඒ ඇගේ මනුස්සකම. ඒ මනුස්සකමටත් එහා ගිය හැකියාව.. පොඩ්ඩක් හිතලා බලන්න.. විවිධ වූ ස්වර පරාස ගොඩාක් ඇතුලේ ලියවෙච්ච සින්දු 36ක් පැය 5ක් තිස්සේ එක දිගට ගායනා කරලා අවසානයට මාස්ටර් සර් ගීතය ගයන්න කොපමණ නම් හැකියාවක් ඇය සතුව ඇතිද?ඔබ කවුරුත් දන්නා පරිදි ඇය පෝලියෝ රෝගියෙක්. 1989 වසරේ ඇය පෝලියෝ රෝගයෙන් කුඩා දරුවන් බේරා ගැනීම සදහා දැන්වීමකටත් පෙනී සිටියා. 1994 වෙද්දි අපේ රට පෝලියෝ වලින් මිදිච්ච රටක් වෙන්නට ඇයගේ දායකත්වයත් බෙහෙවින් බලපෑ හැටි ගැන ඔබට අවබෝධයක් ඇති. ඒ වගේමයි පෝලියෝ රෝගය ඇයගේ ජීවිතයට බාධාවක් කර නොගෙන ඇය අපිට ගැයුවා. ඇය ඉතාමත් ප්‍රවීණ ගායිකාවක් වුනා. පෝලියෝ රෝගයට පයින් ගැසූ ඇය තමන්ගේ අනාගතය ඉතා හොඳින් හා දැඩි සිත විවර කරගෙන ඇගේ ගමන ආවා. පහුගිය අවුරුද්දේ ඇය බිලි ගත්ත තවත් මාරාන්තික ලෙඩක් තිබුනා. ඒ තමයි ඇය ගොදුරු වුනා පිළිකාවකට. ඇගේම වචන වලින් කිව්වොත් ඇය මරණයේ දොරකඩට ගොස් යළිත් ආවා. වෛද්‍යවරුන් මෙන්ම හිතවතුන්ගේ සහායෙන් සහ ඇගේ සිතේ ශක්තියෙන් ඇය පිළිකා මාරයාවත් පරාද කරලා ඇවිත් අද අප වෙනුවෙන් ගී ගයනවා.. ඒ අතරෙම "ද මදර්" සංවිධානය පිහිටුවාගෙන අසරණ වුන කලා කරුවන්ට මහත් වූ සේවයක් කරනවා. ඒ වගේමයි. ඉදිරියටත් අපේ රටේ මහ ජනතාවට ඇගේ හඬ රස සාගරයක් වේවි. ඇගේ සමාජ සුභ සාධන කටයුතු වල හයිය අපේ මිනිස්සුන්ට ලොකු පිට කොන්දක් වේවි.

ඒ නිසා මැතිණියනි.. ඔබට දීර්ඝායු වේවා.....

උපුටා ගැනීම: www.tikakhinawenna.blogspot.com


 
 
 

Commentaires


Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page