මරණය වෙනුවට ජීවිතය තෝරාගත් දිරිය දියණිය - ඩැනිලා
- technic65
- Mar 11, 2014
- 3 min read
ජීවිතය වෙනුවට මරණය තෝරාගත් මිනිසුන් සම්බන්ධව අප කොතෙකුත් කතා අසා, කියවා ඇත. එහෙත් මරණය වෙනුවට ජීවිතය තෝරාගත්, ඒ ජීවිතයේ සියලු අභියෝග මැද ඉදිරියට ගමන් කළ දිරිය මිනිසුන් ගැන අපට ඇසීමට කියවීමට ලැබෙන්නේ ඉතා අඩුවෙනි. මේ එවන් දිරිය ගැහැනියක් ගැන සත්‍ය කතාවකි.
චිලී දේශයේ උගත්, වැදගත් දෙමාපිය යුවළකට දාව උපන් ඇය නමින් ඩැනිලා ගාර්සියා නම් වූවාය. ඇගේ පියා පොන්ටිනීසියා හි වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයකු වන ක්‍රිස්ටියන් ගාර්සියාය. මව දන්ත වෛද්‍යවරියක වූ ලියොනර් සල්මර්ය. ඇයට ක්‍රිස්ටියන් නම් නිවුන් සහෝදරයකුද, තවත් බාල සහෝදරයන් තිදෙනෙකුද විය.
මේ කැදැල්ල තුළ සතුට, ප්‍රීතිය පිරී උතුරා ගොස් තිබුණි. බුද්ධියෙන් අගතැන්පත් වූ තරුණියක වූ ඩැනිලා විෂය බාහිර කටයුතුවලටද එක සේ දක්ෂ වූවාය. ඇගේ ප්‍රියතම විනෝදාංශය වූයේ මලල ක්‍රීඩා කටයුතුවල යෙදීමය. උසස් පෙළ විභාගයේදී ඉතා උසස් ලෙස ජීව විද්‍යා අංශයෙන් සමත් වූ ඇය චමජ සරසවියට ඇතුළු වූයේ වෛද්‍ය විද්‍යාව හදාරා වෛද්‍යවරියක වීමේ බලාපොරොත්තුව ඇතුවයි.
චීලි දේශය තුළ ප්‍රධාන වෛද්‍ය විද්‍යාල දහසයක් පමණ පවතින අතර, මෙම වෛද්‍ය පීඨ අතර, වාර්ෂිකව මලල ක්‍රීඩා උළෙලක් පැවැත්වීම සම්ප්‍රදායක්ව සිදුකරගෙන යන්නකි. 2002 වසරේ ඔක්තෝබර් මාසය වන විට උදා වී තිබුණේ වෛද්‍ය පීඨයේ ඇගේ සිව් වන වසරේ අවසාන කාල පරිච්ඡේදයයි. මේ වන විට ඇයට රිකාඩෝ සමරදන් නම් කඩවසම් පෙම්වතෙකුද හමු වී තිබුණි. ඔහු වෙනත් සරසවියක ව්‍යාපාර, කළමනාකරණය හදාරන සිසුවෙකි.
ග්‍රීෂ්ම සෘතුවේ උණුසුම් කාලය උදා විය. අන්තර් වෛද්‍ය පීඨ තරගාවලියට යැමට ඩැනීලාට ආරාධනා ලැබුණි. මුලදී ඇයට මේ ගමන ගැන කැමැත්තක් නොවූවද, වෛද්‍ය පීඨයේ කාර්ය බහුලත්වය, මානසික ආතතිය අමතක කරලීමට අවසානයේදී ඇය මේ ගමනට එක්වූවාය. එම ගමන ඩැනිලාගේ සරසවිය පිහිටි ප්‍රදේශයේ සිට කිලෝ මීටර 670 ක් දුරින් වූවකි.
ස්වකීය හිතමිතුරන් දුම්රිය මැදිරිය තුළ නටමින් ප්‍රීතියෙන් ගමන් කරන අතර, ඇය වට පිට සිරි බලමින් නිදහසේ ගමනේ සුවය විඳිමින් ගමන් ගත්තාය. ගමන නිමවීමට පැයක පමණ කාලයක් තිබියදී දුම්රිය මැදිරියේ ඉදිරි කොටසට යැමට ඇයට තම මිතුරන් කිsහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් ඉදිරිපත් විය.
ඒ වන විට දුම්රිය රැන්කගුවා නගරය පසු කරමින් තිබුණි. අඳුර උදාවෙමින් පැවතුණි. සියල්ල වෙනස් කළ ඉරණම් පියවර තැබුණි. ඩැනිලාගේ පය පැටලී ගියේය. වේගයෙන් ධාවනය වන දුම්රියෙන් ඇය පහළට ලිස්සා වැටුණි. අහසේ පාවී යන කුරුලු පිහාටුවක් සේ පාවී ගිය ඇය දුම්රියේ පැත්තෙන් පැත්තට හැපී ඉවතට විසි වූවාය.
අඳුරු රාත්‍රියේ ඇය දුම්රිය පීලි අතර රැඳී සිටියාය. ඇයට වේදනාවක් නොදැනුණි. මුහුණ මත උණුසුම් රුධිරය ගලා ගියද එය බරපතල නොවීය. මුහුණ මත රූරා හැලෙන රුධිරය පිස දැමීමට ඇය තම වම් අත එසවූවාය. එහෙත් කිසිවක් සිදු නොවීය. ඇය නැවත නැවත උත්සාහ කළද ඇගේ වමත ක්‍රියා නොකළේය. අවසානයේ හිස ඔසවා බැලු ඇය මහත් කම්පනයට පත්වූවාය. ඇයට ඇගේ වමත, දකුණත පමණක් නොව දෙපා ද අහිමි වී ගොස් තිබුණි. මේ අවස්ථාව අවසාන මොහොත බව ඇයට සිහිපත් විය. වෛද්‍ය සිසුවියක් වූ ඇයට අධික රුධිර වහනයේ ආනිශංස සිහිපත් විය.
ඊළඟ මිනිත්තුවේදී මේ දුම්රිය පාරේම තවත් දුම්රියක් පැමිණිය හැක. වහ වහා ඉන් ඉවත් විය යුතුය. අත් පා නොමැති මැය කෙසේ කරන්නද? එක් පසකින් මහා බෑවූමකි. අනෙක් පසින් වෙල් යායකි. සිතීමට වෙලාවක් නොමැත. මරණය පරාජය කළ යුතුය. ඇය උත්සාහ කර උතුරු දකුණු රේල් පාරවල් දෙක අතරමැද අවකාශයට පැන ගත්තාය. ඇය කෑගසන්නට වූවාය. මේ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි රිකාඩෝ නම් පුද්ගලයාට ඇය හමු විය. හෙළවෙන්න එපා මම උදව් කරන්නම් රිකාඩෝ පැවසීය. ඔහු වහා හදිසි ප්‍රතිකාර ඒකකය කැඳවීය.හදිසි ප්‍රතිකාර ඒකකය පැමිණ ඇය ඉවතට ඔසවා ගැනීමට තැත් කළා පමණි. තවත් දුම්රියක් පැමිණෙමින් තිබුණි. මේ මොහොතේ හදිසි ප්‍රතිකාර කණ්ඩායමට කිරීමට කිසිදු දෙයක් ඉතිරි වී නොතිබුණි. රේල් පාර මධ්‍යයේ පීලි අතර මැද ඩැනිලා තැබූ ඔවුන් මඳක් ඉවත් විය. දුම්රිය වේගයෙන් ගමන් කළේ ඇගේ සිරුර රේල් පීලි අතර තිබියදීය. දුම්රිය ඉවත් වූ වහාම ඩැනිලාව ඔසවාගත් ඔවුන් හදිසි ප්‍රතිකාර වෛද්‍ය ඒකකයට ඇයව රැගෙන ගියහ.
ඇය මරණය පරාජය කොට ජීවිතයට ජය ලබා දුන්නාය. එහෙත් ඒ වන විට ඇයට තම දෑත මෙන්ම දෙපා ද සම්පූර්ණයෙන්ම අහිමි වී ගොස් තිබුණි. එහෙත් ඇය නැඟී සිටියාය. ඇගේ භෞතචිකිත්සක වෛද්‍යවරිය වූ එස්කොනාසි ඇයට පැවසුවේ. "ඔබගේ ජීවිතය තීරණය වන්නේ ඔබ ඉරණම වෙනස් කිරීමට දරන උත්සාහය අනුවයි" ලෙසිනි.
ඇය ජීවිතය ජය ගැනීමට ඉගෙන ගත්තාය. ධෛර්යය, උත්සාහය, අධිෂ්ඨානය ඇය තවදුරටත් ජීවිතයට ළංකර ගත්තාය. පුනරුත්ථාපන අංශයෙන් ඇයට උපරිම සහයෝගය ලැබුණි. කෘත්‍රීම දෑත් සහ දෙපා ලැබුණි. යළි වෛද්‍ය පීඨයට ඇතුළු වූ පසුව පුනරුත්ථාපනවේදය පිළිබඳව වෛද්‍යවරියක් වූවාය. තමා මෙන්ම අසරණභාවයට පත් වූ දහස් ගණනක් දෙනාට ඇය වෛද්‍යවරියක් ලෙසින් මෙන්ම දිරිය කාන්තාවක් ලෙසද උපදෙස් දෙන්නීය.
මේ සියලු අභියෝග ජය ගන්නා අතර, ඇගේ පෙම්වතා ඇය අතහැර නොයැමට තරම් ශ්‍රේෂ්ඨ විය. ප්‍රේමය ඇත්තේ හදවතේ ගැඹුරුම තැන මිස ගතින් ගත එක්වීමේ නොවන බව ඔහු පෙන්වා දුන්නේය. දෑත් දෙපා අහිමි ඩැනිලා සමග රිකාඩෝ විවාහ වූයේ 2007 වසරේදීය. ඇය හැඬුවේ නැහැ. මරණය වෙනුවට ජීවිතය ජයගැනීමට දිරි ගත්තාය. මට කිසිවක් සිතාගත නොහැකිව තිබුණි. ඇය භයානක රිය අනතුර හමුවේ ජීවිතය අතහැර නොයැමට තීරණය කළා." යි ඔහු පවසයි. රීඩර්ස් ඩයිජස්ට් සඟරාව හෙළි කළ පසුව ඩැනිලා තම ජීවිත කතාවද ලිව්වාය. වැඩිම අලෙවි වාර්තා තැබූ ඒ ග්‍රන්ථය සමග ඇය චිලී රටේ දිරිය කත ලෙස පිට පිට වසර 3 ක් සම්මානද ලැබූවා.
වෛද්‍ය ජී. ජී. චමල් සංජීව
Comments