අසුන්දර වුනු ජීවිතය සුන්දර කරගත් දිරිය දියණිය - රිද්මි
- technic65
- Mar 11, 2014
- 1 min read
දෑසම අන්ධ වුවත් බ්‍රේල් ක්‍රමයට විභාගයට පෙනී සිට 'ඒ' සාමාර්ථ 9ක් හිමිකර ගත් රිද්මි හඳපාන්ගොඩ නම් දිරිය දියණියට අපේ උත්තමාචාරය.
සියලුම සැප සම්පත් ඇතත් ජීවිතය අසුන්දර කරගත් මිනිසුනේ, මෙවැනි දිරිය මිනිසුන් දෙස බලන්න, මොහොතක් හිතන්න, ජීවිතය යනු විඳවන්නට නොව විදින්නට ඇති දෙයකි, අසුන්දර වුනු ජීවිතය සුන්දර කරගත් මිනිසුන් වෙනුවෙන් තබන සටහනකි මේ.
හොරණ වැරැල්ලහේන පදිංචි රිද්මි හඳපාන්ගොඩ නම් දෑස් නොපෙනෙන සිසුවිය බ්‍රේල් ක්‍රමයට අ.පො.ස. සා.පෙළ (2011) විභාගයට පෙනී සිට 'ඒ' සාමාර්ථ නවයක් හිමි කරගෙන සිටියි.තම ජයග්‍රහනය පිළිබඳව අදහස් දැක්වූ රිද්මි හඳපාන්ගොඩ සිසුවිය ...
"පොඩි කාලෙදි මට යන්තම් අකුරු කියවන්න පුළුවන්කම තිබුණා. නමුත් එය ක්‍රමයෙන් නැතිවීගෙන ගියා. පොඩි කාලේ මා ඉගෙන ගත්තේ තක්ෂිලා කනිටු විදුහලේ. එහිදී ලකුණු 148ක් ලබාගෙන 2005 වසරෙදි ශිෂ්‍යත්ව විභාගය සමත් වී ලොකු තක්ෂිලාවට ගියා. එහිදී මා බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගත්තත් අධ්‍යාපනය ලැබුවේ සාමාන්‍ය පන්තිවලමයි. ගුරුවරුන් කියන දේ අසාගෙන මා ඒවා බ්‍රේල් ක්‍රමයට සටහන් කර ගත්තා."
"බ්‍රේල් ක්‍රමයට ලියපු පොත් අවශ්‍ය වුණත් මට ඒ පොත් සියල්ලම තිබුණේ නැහැ. ඒ නිසා මගේ සීයා ගෙදරදී සාමාන්‍ය පොත් මට ඇහෙන්න කියෙව්වා. මා කළේ ඒවා බ්‍රේල් ක්‍රමයට හරවා සටහන් කරගෙන පාඩම් කිරීමයි. මේ ගමන එන්න මගේ සීයාත් මට ලොකු හයියක් වුණා. මගේ අම්මා හොරණ ප්‍රජාපතී බාලිකාවේ ආචාර්යවරියක්. තාත්තා පෞද්ගලික ආයතනයක සේවය කරනවා. මගේ පවුලේ ඉන්නේ මා විතරයි. මා පොඩි කාලේ ඉඳලම හිතාගෙන ඉන්නේ ගුරුවරියක් වෙන්නයි. හොඳට ඉගෙන ගෙන මා කොහොමහරි ඒ ගමන යනවා. මගේ ඉදිරි ගමනට කලාප කාර්යාලයේ රත්නපාල සහ සෝමපාල යන මහත්වරුන් බෙහෙවින් උදව් කළා. ඒ දෙදෙනාට මම කෘතඥ වෙනවා."
රිද්මි හඳපාන්ගොඩ සිසුවිය ඉගෙනීමට පමණක් නොව සංගීතයටත් ගද්‍ය පද්‍ය රචනයටත් දස්කම් දක්වන අතර එම දක්ෂතා වෙනුවෙන් හිමිකරගෙන තිබූ සහතික පත්‍ර රැසක්ද තිබේ.
උපුටා ගැනීම අද ලංකාදීප පුවත් පතෙනි.
Comments