top of page

ශ්‍රී ලංකාව

ජාතික ගීය

වර්ෂ 1940 දී ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ජාතික ගීය 1951 නොවැම්බර් මස 22 දින සිට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබිය.මෙම දේශානුරාගී ගීතයේ තේමාව වන්නේ “ස්වභාව ධර්මයේ දායාදයන්ගෙන් පරිපූර්ණ මගේ මව් රට අපේ ජීවනාලෝකයයි; ශක්‍තිය හා ප්‍රාණයයි; අපේ ජීවනය ඔබ සතුයි; ලක් දරුවන් වන අප වාද භේද දුරලා සමගියෙන් දියුණුව කරා පිය නගමු“ යන්නයි.

 

 

ජාතික ධජය

ජාතික කොඩිය රටක අනන්‍යතාව පිළිඹිබු කෙරෙන ප්‍රධාන සංකේතයකි. හෙළ ජාතියේ හා මාතෘ භුමියේ ඓතිහාසික පසුබිම, ප්‍රෞඩත්වය,ස්වෛරීභාවය හා ස්වාධිනත්වය ඉන් පෙන්නුම් කෙරේ. එසේ ම ප්‍රතාපවත් දේශයක් ලාංකික උරුමයන් ඔප් නංවමින් සුළු ජනයා සමගින් බහුතර ජනතාවම එකමුතුව ජීවත්වන බව ජාතික ධජය මගින් නිරූපනය වේ.

රාජ්‍ය ලාංඡනයේ

වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය.ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර ජනරජය සඳහා ලාංඡනයක් සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පෙ‍්‍රමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයින් වූහ.

 

එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේය. මේ ආකාරයට නිර්මාණය කළ රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේද උපදෙස් ලැබිණි.රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් ප්‍රකාශ වන විවිධ අර්ථ.

 

* ඉර සහ හඳ මඟින් - චිර ජීවනය ,සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත රටක් , ඉර හඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව.

* සමන් වැල - නිර්මලත්වය.
* රතු පසුබිමක ඇති සිංහයා - සිංහලයාගේ ජීව රුධිරය සහ ජාතියේ අභීත බව.
* සිංහයා වටා ඇති නෙළුම් පෙති - පිවිතුරුබව හා උතුම්බව.
* සිංහයා කඩුවක් දරා සිටීම - ප්‍රෞඩත්වය.
* වී කරල් සහ පුන්කලස- සශ්‍රීකත්වය හා සෞභාග්‍යය.
* ධර්ම චක්‍රය - බහුතරයේ ආගම වූ බුද්ධාගමත් ධාර්මිකභාවය, සාධාරණත්වය සහ හික්මීම.
* මායිම් රේඛාව - ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව.

 

ජාතික වෘක්ෂය

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස Mesua nagassarium යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි.ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.

 

* ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.

* ශාඛයේ ප්‍රයෝජනවත් බව.

* ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.

* බාහිර ස්වරූපය.

* පුළුල් ව්‍යාප්තිය.

* පැහැය සහ ස්වභාවය.

* පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.

ජාතික පුෂ්පය

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල විද්‍යාත්මකව Nymphaea stelata යන නමින් හඳුන්වයි. 1986 පෙබරවාරි 26 සිට නිල් මානෙල් මල ලංකාවේ ජාතික පුෂ්පය ලෙස තෝරාගෙන තිබේ.ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.

 

* රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.

* උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම. (මේ දෙවිඳුන්ට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)

* බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.

* මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.

ජාතික ක්‍රීඩාව

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස 1991 වසරේ සිට වොලිබෝල් ක්‍රීඩාව නම් කර ඇත.වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වනලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උපක්‍රමයයි. මෙම පතිත කරවීම සිදුකරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.

ජාතික පක්ෂියා

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා Gallus lafayetii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වලි කුකුළා වේ.

වලි කුකුළා නමින් උච්චාරණය කලද මේ සත්වයාගේ නම වල කුකුළා හෙවත් කැලෑ කුකුළාය. මේ සත්වයා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා සේ නම් කලේ 1986 දීය. වලි කුකුළා අප රටට ආවේණික ඒක දේශික පක්ෂියෙකි.

ජාතික සමනළයා

ශ්‍රී ලංකාවට ආවේණික "මහ කුරුලු පිය පැපිලියා" ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා වේ. මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.

ජාතික සත්වයා

ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා දඬු ලේනා වේ. දඬු ලේනා ගේ විද්‍යාත්මක නාමය Ratufa macroura වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් Giant Squirrel ලෙස හඳුන්වයි. දඬුලේන් විශේෂය ශ්‍රී ලංකාවේ මධ්‍යම හා ඌව ප්‍රදේශ වල දැක ගත හැකිය . 25cm ක් පමණ දිගින් යුත් දඬු ලේනා ට දිගු වලිගයක්, රවුම් වූ කෙටි කන් හා පළල් වූ අත් ඇත . දුඹුරු රතු අළු හා කළු වර්ණවල් ශරීරයේ දැක ගත හැක. මෙම සත්වයා වඩාත් ක්‍රියාකාරී වන්නේ උදය කාලයේ හා සන්ධ්‍යාවේ මුල් භාගයේදීය .එක් ගසක සිට 6m ක් දුරින් පිහිටි ගසකට පවා පැනීමට හැකිය . දඬු ලේනා වඳවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින සත්වයෙකි.

ජාතික මැණික

ශ්‍රී ලංකාවේ ජාතික මැණික නිල් මැණික වේ.නිල් මැණික් අතරින් ලංකාවේ නිල් මැණික් වලට අද්විතීය ස්ථානයක් හිමි වන්නේ ඒවාටම ආවේනික වූ පැහැය, සුපිරිසිදු බව හා දීප්තිමත් බව නිසාමය.

මෙරට මැණික් ප්‍රභේද හතලිහකට වැඩි ප්‍රමාණයක් ඇත. නිල් මැණික් ඉහළ ඉල්ලූමක් ඇති මැණික් ගල් අතරට අයත් වේ.

Please reload

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page