top of page

වයස අවුරුදු 23ක් කියන්නේ ජීවිතයේ කිසිම බරක් පතලක් නොතේරෙන ඉතාමත් සැහැල්ලුවෙන් ගෙවෙන කාලසීමාවක්. ඒ වුණත් සමහරවිට මෙවැනි වයසක පසු වුවත් විවිධාකාර රෝගී තත්ත්වයන් නිසා ඒ නිදහස, සැහැල්ලුව, සතුට විනාශවන්නට එතරම් කලක් ගත වන්නේ නැහැ.

 

සමන්ත කියන්නෙත් මේ වගේ ඉරණමකට මුහුණ දුන් තරුණයෙක්. රස්සාවක් කරන්නත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්නත් ඕන නිසා එයා කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක් හදාරන්න පටන් ගත්තා. ඒ වුණත් තමාගේ අධ්‍යාපන කටයුතුවලට අවධානය යොමු කරන්නට සමන්තට පුළුවන් කමක් තිබුණේ නැහැ. සමන්තගේ සිත නිතරම දුක, බිය වැනි අසුබවාදී සිතුවිලි වලින් පිරී පැවතුණා. ඒ විතරක් නෙමෙයි මෙවැනි අසුබවාදී සිතුවිලිත් සමඟ අතීතයේ සිදු වූ පරාජිත සිද්ධීන් නිරන්තරයෙන් ඔහුගේ මනසට වදයක් බවට පත් වුණා.

 

පවුලේ එකම දරුවා නිසා සමන්තගේ ඉගෙනීම පිළිබඳ දැඩි බලාපොරොත්තු තබාගෙන සිටි ඔහුගේ දෙමාපියන්ට සමන්තගේ මෙම හැසිරිම් වගේම අධ්‍යාපනයට ඇති මැලිකම දරාගන්නට නොහැකි වුණා. මේ නිසා ඔහු නිතර දෙමාපියන්ගේ සැර වැර වීම් මෙන්ම දෝෂාරෝපණයන්ටත් ලක් වුණා. මෙසේ දැඩි පීඩනයකට ලක් වී ජීවිතය ගත කරන සමන්තට දිවිනසා ගැනීමටත් සිතුණු වාර ගණන මෙතරම් යැයි කියා නිම කරන්නට නොහැකියි. ඒ හේතුව නිසාම සමන්තගේ අම්මා එයාව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර සඳහා යොමු කළා.

 

රෝගියා තුළින් නිරීක්ෂණ වූ බාහිර රෝගී ලක්ෂණ මොනවාද?

 

සමන්තගේ ඇවිදීම එතරම් ක්‍රියාශීලි නොවීය. ඔහුගේ මුහුණේ ඉරියව් හා ස්වභාවය දැඩි මානසික පීඩනයකට මුහුණ දුන් අයෙකුට සමාන විය. ඇඳුම් නියම ආකාරයෙන් ඇඳ සිටියත් එය එතරම් සාර්ථක ස්වභාවයක් නොපැවතුණි. මවගෙන් ලද තොරතුරුවලින් දැනගත හැකි වූයේ ඇය තම පුතා පිළිබඳ ඉතාම නොසතුටින් පසුවන බවයි. ඒ වගේම තමාගේ දරුවා ගැන ඇය තුළ පැවතියේ දැඩි කණගාටුවකි.

 

මේ රෝගී තත්ත්වය නිසා මුහුණ දීමට සිදුවූ ගැටලුකාරී තත්ත්ව මොනවාද?

 

මෙහිදී සමන්ත මුහුණදී සිටියේ දැඩි මානසික විෂාදිමය තත්ත්වයකටය. ඔහුගේ මෙම රෝගී තත්ත්වය ඔහුට පමණක් නොව ඔහුගේ පවුලේ මවට, පියාට, විශේෂිත බලපෑමක් ඇති කරනු ලැබීය. ඇත්තෙන්ම පියාටත් වඩා මානසිකව කඩා වැටීමකට ලක් වී සිටියේ සමන්තගේ මවය. පවුලේ එකම දරුවා වූ සමන්තගේ ජීවිතය ඉතාමත් සාර්ථක එකක් වනු ඇතැයි දැඩි සේ බලාපොරොත්තු තබාගෙන සිටි ඔහුගේ මව ද මේ ගැටලුව නිසා යම් මානසික පීඩනයකට ලක් විය.

 

නමුත් සාමාන්‍යයෙන් දරුවන්ට මෙවන් ගැටලු ඇති වූ විට මෙසේ මානසික ආතතියට මව්පියන් ගොදුරු වීම සාමාන්‍ය දෙයක් වුවද දරුවන් නිරෝගී වනවාත් සමඟ ඔවුන්ගේ එම තත්ත්වය අඩු වී යනු ලැබේ. එසේ වුවත් තාවකාලිකව හෝ මෙවැනි පීඩනයක් ඇති වීමෙන් සෞඛ්‍යමය ගැටලුවක් බවට එම තත්ත්ව පත් වීමට ද වැඩි හැකියාවක් තිබේ. කෙසේ වෙතත් සමන්තගේ රෝග තත්ත්වය පිළිබඳ දිගින් දිගටම කරුණු විමසා බැලීමේදී ඔහුගේ ජීවිතය පිළිබඳ රැස් කරගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය. නමුත් කුඩා කාලයේදී මුහුණ දීමට සිදු වූ අත්දැකීම් පිළිබඳ ඔහුට ප්‍රකාශ කිරීමට හැකි වූයේ ඉතාමත් අවම වශයෙනි. ඊට හේතු වුයේ ඔහුගේ චිත්ත වේගවල යම් වෙනසක් ඇති වීමයි. මේ නිසා මූලික වශයෙන් මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කරා යොමු කිරීමට සිදු විය.

 

මෙම රෝගී තත්ත්වය පිළිබඳ ඉහත සිදුවීම ඇසුරෙන් පැහැදිලි කළොත්?

 

මෙම රෝගී තත්ත්වයේදී නිරන්තරයෙන් ඇති වන අසුබවාදී සිතුවිලි, නින්ද නොයාම, කිසිදු ක්‍රියාශීලි බවක් නොමැති වීම, අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති වීම, ආහාරපාන ගැන එතරම් උනන්දු නොවීම නිසා ශරීරයේ බර අඩු වීම, ඇවිදීමේ වේගය අඩු වීම, මුහුණේ ඉරියව්වල පවතින අලස බව ඒකාකාරී බව මෙහිදී දැකගත හැකි රෝග ලක්ෂණ අතර ප්‍රධාන වේ. ඒ වගේම ඔවුන් නිතරම අසුබවාදී සිතුවිලිවලින් දුකින් කාලය ගත කරන අතර සියදිවි නසා ගැනීම් වැනි බරපතළ මට්ටම් කරා පත්වන්නේ රෝගය උත්සන්න වූ අවස්ථාවන් වලදීය. මෙම ලක්ෂණ ඉහත සිදුවීම පිළිබඳ විමසා බැලීමේදී ඉතා පැහැදිලිව දැකගත හැකි වේ.

 

පෙර පැහැදිලි කළ ආකාරයට සමන්ත කුඩා කාලයේදී මුහුණ දුන් අත්දැකීම් අතුරින් ලබා ගත් තොරතුරු ප්‍රමාණය සීමිත වුවද ඊට මූලික වශයෙන් හේතු වී ඇත්තේ ඔහු කුඩා කල මුහුණදී ඇති ඇත්දැකීම්ය. කුඩා කාලයේ සිට පවුලේ එකම දරුවා වූ නිසාවෙන් මවගෙන් පියාගෙන් අධ්‍යාපනය සම්බන්ධව මෙන්ම ජීවිතයේ අනෙකුත් සෑම කරුණක් සම්බන්ධයෙන්ම යම් සැලකිය යුතු පීඩනයක් ඔහුට ලැබී තිබිණි. මෙසේ සුළු වශයෙන් කුඩා කල සිට සමන්තට ඇති වූ පීඩනය තරමක් දැනුම් තේරුම් ඇති වයසකට පත් වූ විටත් ඔහුගේ ජීවිතයට ඉතා දැඩි ලෙස බලපෑම් ඇති කරවිය.

 

මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරත් සමඟ සමන්ත සුව අතට

 

සමන්තගේ රෝගී තත්ත්වය පිළිබඳ නිගමනය කළ කරුණු හරහා සමන්තව ප්‍රතිකාර සඳහා යොමු කරවනු ලැබූ අතර පියවරෙන් පියවර සිදු කරන ප්‍රතිකාර හරහා ඔහු ක්‍රමයෙන් සුව අතට පත් විය. මේ යටතේ ඔහුගේ ජීවිතයට බලපා ඇති කරුණු කාරණා රාශියක්ම මනෝ විද්‍යාත්මක ඇගයීමකට හා විශ්ලේෂණයකට අනුව සොයා ගැනීමට හැකි විය. එහිදී තමා කුඩා කාලයේදී සිතට බලපෑ කරුණු තම පෞරුෂයට එමඟින් ඇති වූ බලපෑම, හැසිරීම් රටා සීමාවට ලක් වූ අන්දම අසුබවාදී සිතුවිලි වර්ධනය හා එම සිතුවිලි තමන්ගේ වර්තමාන තත්ත්වයට බලපෑ ආකාරය එහිදී සොයා ගැනීමට හැකි විය. අවසානයේදී සමන්ත තුළින් පිරිහී ගොස් තිබූ ස්වයං අවබෝධය, ස්වයං අභිමානය, වර්ධනය කරමින් ඉතා ශක්තිමත් පෞරුෂයක් ගොඩ නැංවීමට මනෝ ප්‍රතිකාර හරහා අවස්ථාව සලසා ගැනීමට හැකි විය.

ඇතැම් දරුවන් දෙමව්පියන්ගේ දෝෂාරෝපණයට ලක්වන්නේ ඇයි?

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page