top of page

තෙල් සහ පත්තු සත්කාරයෙන් දණහිස් ආබාධවලට

සහනයක් ලබා ගත හැකියි

 

ආයුර්වේදයට අනුව දණහිස ආශි‍්‍රතව ඇති වන්නා වූ ආබාධ සඳහා ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදය රෝගී තත්ත්වය අනුව වෙනස් වෙනවා. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ ඇවතුම් මෙන්ම පැවතුම් ද වැදගත් වෙනවා.

විශේෂයෙන් ආතරයිටීස් වැනි රෝග වාතය කුපිත වීමෙන් හටගන්නා රෝගී තත්ත්වයක් ලෙස ද ආයුර්වේදයේදී සැලකෙනවා.

පත්තු මෙන්ම තෙල් සාත්තුවත් ලබාදෙන අතර රෝගියාට ව්‍යායාම අවශ්‍ය බවද ගෙලිඔය ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍ය නිරෝෂා සේනාරත්න මහත්මිය “ආරෝග්‍යා” සමඟ පැවසුවා. ඇය දැක්වූ අදහස් මෙසේයි.

දණහිස් ආබාධ සහිත රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ආබාධය ආසාධ්‍ය තත්ත්වයට පත් වූ පසුවයි.

ඔවුන්ගේ දණහිස ඉදිමීම මෙන්ම අධික වේදනාව ද පවතිනවා. මේ නිසා පළමුව දණහිසේ ඉදිමුම අඩු කිරීමටත් වේදනාව අඩු කිරීමටත් අවශ්‍ය පත්තු ප්‍රතිකාර සහ තෙල් ප්‍රතිකාර ලබා දෙනවා.

දණහිස් ආබාධ ඇති වීමට මූලිකවම හේතුවන්නේ වයසට යාමත් උසට සරිලන බර නොමැති වීමත්, සිටගෙන වැඩ කිරීමත්, බර වැඩ කිරීමත් වැනි කාරණායි. ඒ වගේම කාන්තාවන් දරුවන්ට කිරි දීම නිසා කැල්සියම් ඌනතාව ඇති වීමෙන් ද දණහිස් ආබාධවලට ගොදුරු වෙනවා.

දණ හිසේ අස්ථි දෙක අතර දියරයක් පවතිනවා. මෙම දියරය අඩු වීම නිසාත් කාටිලේජ ගෙවීම නිසාත් මෘදු චලනයක් ඇති නොවීම නිසා දණහිස නැවෙන දිග හැරෙන විට ශබ්දයක් ඇති වෙනවා.

ඉදිමුණු අවස්ථාවලදී දණහිස සඳහා පත්තු සහ තෙල් ප්‍රතිකාර කරනවා. පත්තු ප්‍රතිකාරයෙන් පසු තෙල් ප්‍රතිකාරය ද ලබා දෙනවා.


රෝගී තත්ත්වය අනුව තෙල් සහ පත්තු ප්‍රතිකාර වෙනස් වෙනවා. දරුණු ලෙස දණහිස ආසාදනය වී ඇත්නම් දණහිස මත උදුවැටියක් සාදා ඒ මතට තෙල් වක්කොට ටික වේලාවක් තබනවා.

එසේත් නොමැති නම් තෙල්වල පුළුන් පොඟවා දණ හිස මත යම් කාලවේලාවක් තබනවා.

රෝගියාගේ තත්ත්වය අනුව ඖෂධ ලබා දීමත් කෙරෙනවා. මෙම රෝගය වාත රෝග ගණයට ගැනෙන රෝගී තත්ත්වයක්. මේ නිසා වාත දෝෂ අඩු කරන ආහාර වර්ගවලින් රෝගියා ඉවත් විය යුතුයි. බටු, කොස්, අල පිටි කෑම වර්ග වලින් ඉවත්ව සිටීම වැදගත් වෙනවා.

දණහිස් ආබාධ සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී රෝගියාගේ ඇවතුම් පැවතුම් ද වැදගත් වෙනවා. මේ නිසා මෙවැනි රෝගීන් විවේකීව සිටීම රෝගය කඩිනමින් සුවකර ගැනීමට හේතුවක් වෙනවා. දණ හිසට විවේකයක් අවශ්‍යයි. විශේෂයෙන් පඩි නැඟීම දණහිස් ආබාධිත රෝගීන්ට සුදුසු නැහැ.

දණහිස් ආබාධිත රෝගීන්ට ආයුර්වේද ප්‍රතිකාරවලින් පසු දණහිස් සන්ධිය ශක්තිමත් කරණ ව්‍යායාම ලබාදීම ද කරනවා.

දණහිස සෙලවීමකින් තොරව දණහිස් සන්ධිය වටේ ඇති පේශි ශක්තිමත් කරන ව්‍යායාම ලබා දීමෙන් රෝගියාට වේදනාවකින් තොරව සුවයක් ලබාදිය හැකියි.

දණහිස යටින් වැලි කොට්ටයක් තබා තද කිරීම මෙහිදී ප්‍රධාන ලෙස දැක්විය හැකියි. ඉදිමුම අඩු කිරීම සඳහා සම්බාහනය කිරීමත් කළ යුතුයි.

දණහිසේ සන්ධිය ඝන වීමකදී පළමුව එම ඝන වූ කොටස් ඉහිල් කළ යුතුයි. ඉන් පසු අවශ්‍ය ප්‍රතිකාර පටන් ගන්නවා.

දණහිස් ආබාධ සහිත රෝගීන්ට කළ හැකි හොඳම ව්‍යායාමයක් වන්නේ සමතලා පොළොවක ඇවිදීමයි. නමුත් බර වැඩි රෝගියෙක් නම් පළමුව ශරීරයේ බර අඩු කරගත යුතුයි. පිහිනීමත් මෙවැනි රෝගීන්ට ඉතා හොඳ ව්‍යායාමයක්.

දණහිස් ආබාධ, ආතරයිටීස් රෝගී තත්ත්වය ශීත කාලයේදී වැඩි වීමට හේතුවන්නේ වාත රොගී තත්ත්වයක් නිසයි. වාත දෝෂය ශීතල නිසා වැඩි වෙනවා.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page