top of page

ලොව පුරා වෙසෙන ජනතාව බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ අවදානමකට ලක් වී තිබේ. ඊට ප්‍රධාන හේතුව ලෙස සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙන්නේ මිනිසාගේ චර්යා රටාවල තිබෙන අසමතුලිත තාවයයි. ඒ තුළ ව්‍යායාම ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පැන නැඟී තිබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරි ලාල් ඒකනායක මහතා පෙන්වා දෙනවා.

 

වර්තමානයේ සියලු අංශ එක හෙළා පවසන්නේ දවසේ ඕනෑම අවස්ථාවක ව්‍යායාම් සඳහා කාලය වෙන්කරගත යුතු බවයි. තාක්ෂණික මෙවලම් පරිහරණය කිරීම ආරම්භවීමත් සමඟ ශාරීරික ක්‍රියාකාරීත්වය ශීඝ්‍රයෙන් පහත බැසීමකට ද ලක් වී ඇතැයි පවසන වෛද්‍යවරයා ඒ පිළිබඳ දැක්වූ අදහස් මෙසේ යි.

 

තාක්ෂණික ක්‍රමවේදයන්ට හුරු වූ කාර්යක්ෂම ජනතාවට තම සේවා කාලයෙන් යම් තරමක කාලයක් ඉතිරි කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. එහෙත් ඔවුන් එවන් කාලය නිකරුනේ ගෙවා දැමීමට පුරුදු වීම තුළ විශාල ලෙස ශාරීරික සෞඛ්‍යයේ පසුබෑමක් සිදු වී ඇත. එය ඔවුනට නොපෙනුණ ද ක්‍රමයෙන් පසු බසින සෞඛ්‍ය තත්ත්වය නිසා බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවයට එක් හේතුවකි.

 

එපමණක් නොව මිනිසාගේ මානසික ආතතීන්ගේ වර්ධනයක් ද මේ හා සමගාමීව දැකගත හැකි අතර මිනිසාට දරාගත නොහැකි තරගකාරී ජීවන රටාවක් ද හිමි වී තිබේ. තම ආතතීන් මඟහරවා ගැනීමට විවිධ ක්‍රමවේද අනුගමනය කරන ඔවුන් ව්‍යායාම් නොලැබීමට වඩා වේගයෙන් ශාරීරික සෞඛ්‍යට හානිකර දෑ වෙත යොමු වී තිබේ. මේ සියල්ල නැවත හැරවීමක් පිළිබඳ චින්තනය වර්තමානයේ මිනිසාට ජනිත වී තිබේ.

 

ඒ අනුව ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹීම අතීශය වැදගත් ය. ඒ තුළින් ශරීරයේ විශාල විපර්යාසයක් සිදුවීම අනිවාර්ය ය. ඒ සඳහා පෙළගැසීමේ දී පළමුව යොමු විය යුත්තේ ස්වායු ගණයේ ව්‍යායාම් සඳහා ය. ඒ අනුව පිහිනීම, ඇවිදීම, බයිසිකල් පැදීම වැනි දෑ කළ හැකිය.

 

සාමාන්‍යයෙන් කායිකව වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන්ගේ ශක්තිය දහනය වීමක් මෙන්ම පේශිවල ක්‍රියාකාරිත්වය යහපත් ය. එසේම රුධිර සංසරණය ද ඉතා හොඳින් සිදු වේ. කෙසේ වෙතත් එවැනි පුද්ගලයකුට දවස අවසානයේ දී තෙහෙට්ටුවක් ඇති වේ.

 

එනිසාම ශරීරය හොඳින් ක්‍රියාත්මක වුවත් රෝග වළක්වාලීමට ලැබෙන ප්‍රතිලාභ අවම ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ යම් ක්‍රමවේදයක් ඔස්සේ ව්‍යායාම් කිරීම ය. එය සැලැසුම් කළ යුතු අතර යම්කිසි කාල පරාසයක් තුළ අනුපිළිවෙළකට කළ යුතුය. ඒ අනුව එක් ශරීර පද්ධතියක් යම් රිද්මයකට අනුගත කළ විට ශරීරයේ වෙනස්වීම් සිදු වේ. ඒ තුළින් රෝග ඇතිවීමේ අවදානම් තත්ත්ව මඟ හැරීමට හැකිය.

 

ජනතාව ව්‍යායාම් වෙත යොමු වන්නේ නම් එහි දී ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවාගත හැකිය. ශරීර සෞඛ්‍ය තිබූ තත්ත්වයෙන් ඉදිරියට ගෙන ඒම එහි පළමු අරමුණයි. එසේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ දැමූ විට මිනිසා ගේ කාර්යක්ෂමතාවය ස්වභාවිකවම ඉහළ යා හැකියි. එසේම හෘදය වස්තුව ආශ්‍රිතව දරා ගැනීමේ හැකියාව ඉහළ දැමීමට මෙන්ම මාංශපේශිවල ශක්තිය වැඩිකර ගැනීමට ව්‍යායාමයේ යෙදිය යුතුය.

 

ශරීරයේ තිබෙන අමතර මේදය දහනය කර ගැනීමට අවශ්‍ය ව්‍යායාම් කිරීමෙන් ශරීරයේ හොඳ බරක් පවත්වා ගත හැකිය. ඊට අමතරව සමබරතාවය දියුණුකර ගැනීම මෙන්ම බලය වැඩි කර ගැනීමට අවශ්‍ය ව්‍යායාම් වෙත පිවිසිය යුතුයි. 

 

යම් අයෙක් ව්‍යායාම් වෙත යොමු වන්නේ නම් එය මධ්‍ය ප්‍රමාණයේ හා ඊට වඩා වැඩි තිව්‍රතාවයෙන් යුතු ව්‍යායාම් විය යුතුය. එය මිනිසාගේ නම්‍යශීලීත්වයට, ස්වසන පද්ධතියට, පේශිවලට, ක්‍රියාශීලීත්වයට බලපාන්නකි. එසේම එවැනි පුද්ගලයන් වෙහෙසට පත්වීම අවම වේ.

 

ව්‍යායාම් වෙත පිවිසි පුද්ගලයාගේ රුධිරයේ ගණත්වය අඩු වී හෘදයාබාධ අවදානම් තුරන් කරයි. ඊට අමතරව කොලෙස්ටරෝල්, අධිරුධර පීඩනය, ඔස්ටියෝපොරෝසීස් වැනි රෝගාබාධ අවදානම් මඟහැරී යයි. තව ද තාරුණ්‍ය රැක ගැනීමට මෙන්ම මානසික ආතතීන් මඟහැර ගැනීමට ද ව්‍යායාම කදිම පිළියමකි.

 

මේ ආකාරයට මිනිසා ව්‍යායාම් කෙරේ අවධානය යොමු කිරීමේ දී තම දෛනික කටයුතු ඉටු කර ගැනීමට පහසු වන්නා සේම ආර්ථික වාසිද අත්වේ. ප්‍රදේශයක්, රටක් වශයෙන් ගත් කල ද ලැබෙන්නේ විශාල වාසියකි. රටේ දළ දේශීය නිෂ්පාදනයට ද බලපෑම් කළ හැකි ව්‍යායාම් තුළින් ලැබෙන කාර්යක්ෂමතාවය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් ලෙස වර්තමානය හඳුන්වා දිය හැකියි.

 

දුමින්ද අලුත්ගෙදර

 

දිනපතා ව්‍යායාම් කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page