
සිරිමලී කලක් රැකියාවක නිරතව සිටී විවාහයෙන් පසුව ගෘහණියක් ලෙස කටයුතු කරනවා. දරුවන්ගේ වැඩකටයුතු බොහොම පිළිවෙලට කරන ඇයගේ ස්වාමියා විදේශ ගතව වසරකට වැඩියි. ස්වාමියාගේ මව වෙසෙන්නේත් සිරිමලීගේ නිවසේමයි.
සිරිමලී වරින්වර හිසේ කැක්කුමක් නිසා තරමක් පීඩා වින්දා. මේ පීඩාව එන්න එන්නම වැඩි වෙනකොට සිරිමලී හැම වැඩක්ම වාගේ කළේ අසතුටෙන්. ඒ නිසාම ඇයට බොහෝ අවස්ථාවල කේන්ති යන ස්වභාවයක් ද තිබුණා. දිගින් දිගටම මේ තත්ත්වය පැවතීමෙන් සිරිමලීට අධික රුධිර පීඩනය, දියවැඩියාව වගේ රෝග තත්ත්වයන් ද ඇති වුණා. එවන් තත්ත්වයකදී දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි රෝග දක්වා යාමට ඉවහල් වූයේ කුමක්ද යන්න ගැටලුවක්.
මේ ගැටලුව විසඳා ගැනීම සඳහා අපි මුණ ගැහුණේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදය රළපනාව මහතායි.
ඕනෑම සිද්ධියකට මූලිකවම බලපාන්නේ හිත. හිත ලෙඩ වූ විගස ශරීරික රෝග සියල්ලක්ම ආරම්භ වෙනවා. නමුත් හිතට කනස්සල්ලක් ආ පමණින් සිරුර රෝගී වෙනවා නොවෙයි. කිසියම් සිද්ධියකදී හෝ සිදුවීම් පෙලකදී හිතේ ඇති වන පීඩාව දිගින් දිගටම දීර්ඝ කාලයක් පවතී නම්, ඒ ඔස්සේ රෝග වැළඳීමේ අවධානමක් පවතිනවා. කෙටියෙන්ම කියනවා නම්, ඒ වගේ අවස්ථාවක් කියන්නේ තමන්ම විහින්ම ලෙඩක් හදා ගන්නවා වගේ වැඩක්.
මිනිස්සු වන අප හැමෝටම ප්‍රශ්න තියෙනවා. නමුත් මේ ප්‍රශ්නවල එල්ලිලා ඉන්න එක හොඳ දෙයක් නොවෙයි. ප්‍රශ්නයක් ගැන හෝ වෙනත් අපහසුතාවක් ගැන තැවි තැවී හිදීමෙන් ප්‍රශ්න බොහෝමයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්න තමයි හෘදයාබාධ, දියවැඩියාව, ඇදුම, අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන්.
කොහොමද එවන් තත්ත්වයකට ගොදුරු වන්නේ කියා අපි බලමු.
මානසික ආතතිය ඇතිවන ක්‍රම බොහොමයක් අප දැක අත්විද තිබෙනවා. මෙයට අදාල තත්ත්වය අප හඳුන්වන්නේ, Fight or Flight response ලෙසයි.
මෙම ආතතිය තත්ත්වය ඇති වීමට බලපාන කෙටිකාලීන හේතු නම්, තමා කෙටි කලකදී ලබන අත්දැකීමක් හෝ මුහුණපාන සිදුවීමක් විය හැකියි.
අපි හිතමු, යම් කටයුත්තක් කරන අවස්ථාවක ඒ ආසන්නයෙන් විශාල ශබ්දයක් ඇහෙනවා. නැත්නම් ඟදක් වහනය වෙනවා. මේ තත්ත්වය අත්විඳින පුද්ගලයා එය කරදරයක් විදිහට ඍනාත්මකවම සිතනවා නම්, ඉන් ඔහු හෝ ඇය පීඩාවට පත් වෙනවා. එම පීඩාව අතරේ කෝපය ඇති වෙනවා. කෝපය හරහා සිරුරේ ක්‍රියාවලිය වෙනස් වෙනවා.
ස්නායු සංකෝචනය වෙනවා. හෝර්මෝන සමබරතාවය බිදෙනවා. ඒ හරහා ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා.
යම් සිදුවීමකට ඕනෑම මිනිසෙක් දක්වන්නේ ඍණාත්මකව ප්‍රතිචාරයක් නම්, එයින් සිරුරේ හේර්මෝන සමබරතාවය බිද වැටෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම ඇති වෙනවා නම් අධික රුධිර පීඩනය ඇති වීමට ඉවහල් වෙනවා. ඒ ඔස්සේ සෙසු රෝග ද ඇතිවිය හැකියි.
තවත් හේතුවක් තමයි, යම් රෝගී අවස්ථාවක ඊට මුහුණ දෙන ආකාරය. කිසියම් අවස්ථාවකදී තමන්ගේ අස්ථියක් බිදී ගියේ යැයි සිතමු. ඒ අවස්ථාවේදී නිශ්චිත රෝග විනිශ්චයකින් ප්‍රතිකාර ලබා ගැනීම පසෙක තබා “මගේ කරුමේ....” “නොලැබීම තමයි” කියමින් තැවෙමින් තෙල් සාත්තු කර කර සිටියහොත් අස්ථිය නිසිලෙස යලි සැකසෙන්නේවත් තමන්ගේ එදිනෙදා සාමාන්‍ය ක්‍රියාවලියන් යථා තත්ත්වයට පත් වන්නේත් නැහැ.
රෝගයක් වැළඳීම හෝ හදිසි අනතුරකින් තුවාලයක් සිද්ධ වීම සිදුවිය හැකි තත්ත්වයක් බව වටහා ගැනීම ඉතාම කාලෝචිතයි. එපමණක් නොවෙයි මනසේ පීඩාවක් ඇති නොවීමටත් ඉවහල් වෙනවා.
නමුත් අද බොහොමයක් මිනිසුන් තමන්ගේ සාමාන්‍ය සිදුවීම් පිළිබඳව තැවෙමින්, ලත වෙමින්, නිරපරාදේ රෝගීන් වෙනවා.
උදාහරණ විදිහට, සායනවලට පැමිණෙන රෝගීන්ගෙන් මොනවා හෝ ප්‍රශ්නයක් ගැන වුවමනාවට වඩා සිතනවා දැයි ඇසූවිට,
මගේ ළමයාව පාසලකට දාගන්න බැරි වුණා ණයකට හිරවෙලා ගෙදර හදනවා
අපේ අම්මා සනීප නෑ වගේ කතා කියනවා. ඒ සියල්ලක්ම අපේ ජීවිතයේ අත් විදින්නට ලැබෙන සාමාන්‍ය සිදුවීම්. මේවා ගැන වුවමනාවට වඩා ඍණාත්මකව සිත යෙද වූවහොත් තමාත් දිගුකාලීන රෝග තත්ත්වයන්ට ගොදුරු වෙනවා. කියන එක තේරුම් ගත යුතුයි. එවිට තමාට නිරෝගී ජීවිතයක් හිමි වෙනවා.
මානසික ආතතියක් ඇතිවන්නේ ඍණාත්මක සිතිවිලි හරහායි. මෙහිදී සිදුවෙන තවත් බරපතලම තත්ත්වයක් තමයි, මානසික ආතතිය අවම කර ගැනීම පිණිස මත්පැන්, මධ්‍යසාර, දුම්පානය කිරීමට නැඹුරු වෙනවා. ඒ අනුව ගොදුරු වන රෝග තත්ත්වය තවත් බරපතළ වෙනවා.
මේ සියල්ලක්ම අපි විසින්ම ඇති කර ගන්නා රෝග තත්ත්ව බව හොඳින් වටහා ගත යුතුයි.
මානසික ආතතියක් නැත්නම්, ඍණාත්මක සිතිවිලි ජනිත කරන අවස්ථා නැති කර ගැනීමයි අප කළ යුත්තේ. හැකි තරම් ධනාත්මක සිතිවිලිම ඇති කර ගන්නට කටයුතු යොදා ගත යුතුයි. තමන්ගේ සිතට වද දෙන කරුණක් ඇත්නම් කා සමඟ හෝ සාකච්ඡා කිරීම් හොඳම ඔසුවක්. භාවනා කළ හැකි නම් එයත් සුදුසුය.
ගැටලු නිරාකරණය කළ නොහැකි නම් මනස දිගින් දිගටම ව්‍යාකූල නම් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු මුණ ගැසී උපෙදස් හෝ ප්‍රතිකාර හෝ ලබාගත යුතුමයි.
මේ කතාවේ මුලින්ම කියා තිබෙන අන්දමට සිරිමලීටත් ඇතිව තිබෙන්නේ හිතේ පීඩාව නැති කර ගැනීමට ක්‍රමයක් නොමැති වීම මත ඇති වූ මානසික ආතතියෙන් රෝගියෙකු වීමයි.
තත්ත්වය වැඩි වීමට පෙර මුල් අවස්ථාවලදීම ප්‍රතිකාර ලබා ගතහොත්, ඖෂධ ප්‍රතිකාර නොගෙන රෝගය සුව කර ගැනීමට හැකිවන බව තරයේම මතක තබා ගන්න. නිතරම සැහැල්ලු සිතකින් ජීවත් වීමට සිතට ගන්න. එය කළ නොහැක්කක් නොවේ.
සෘණාත්මකව සිතන ඔබ හැමදාමත් ලෙඩින් නේද?