top of page

මානසික ආතතිය නිසා සුවකළ නොහැකි රෝග රැසක්

 

එදිනෙදා ජිවිතයේදී අප මුහුණ දෙන ගැටලු ප්‍රශ්න අසහනකාරී බව තරඟකාරීත්වය බලාපොරොත්තු බිඳ වැටිම, අධික කාර්යබහුලත්වය, ඝෝෂාකාරී බව, අවිවේකී ජීවන රටාව දරාගත නොහැකි වැඩ කන්දරාව ආදිය නිසා අපට බොහෝවිට මානසික ආතතිය ඇතිවීමට ඉඩ ඇත. මේ මානසික ආතතිය නිසා අපේ සිරුරේ හෝර්මෝනවල වෙනස්කම් සිදුවිය හැකි අතර විශේෂයෙන් මානසික ආතතිය කාලාන්තරයක් පැවතීම නිසා සිරුරේ පවතින ඇඩ්ඩ්‍රිනලීන් හා ස්ටීරොයිඩ් නැමැති හෝර්මෝනවලට බලපෑම් සිදු වේ. මේවා ඇතුළු තවත් හෝර්මෝනවල වැඩිවීම මත ආතතිය ඇති විය හැකියි.

 

ඇඩ්ඩ්‍රිනලීන් හා ස්ටීරොයිඩ් නැමැති හෝර්මෝන වැඩිවීම නිසා ශාරීරික හා මානසිකව තමාගේ හැසිරීම්වල වෙනසක් ඇතිවිය හැකියි. මේ තත්ත්වය අවසානයේදී ඔබව රෝගියෙකු බවට පත් කරවයි.

 

මතකය අඩුවීම, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, අවධානය, ආත්ම විශ්වාසය අඩුවීම, මේ අතර ප්‍රධානයි. ඒ සමඟම නිතරම බය දැනීම, තරහ යෑම, නිතර පරාජීය සිතුවිලි ඇතිවීම, ස්වඅභිමානය හීන වීම, අනාගතය පිළිබඳ කනස්සළු වීම මෙවැනි පුද්ගලයින් තුළ දැකිය හැකිය. බිය තැතිගැනීම, නොරිස්සන සුළු භාවය ආදී මානසික සංකූලතා ද හැසිරීම් රටාවේ වෙනස්කම්ද ඇතිවිය හැකිය. ආහාර අරුචිය, අධික ලෙස ආහාර ගැනීම, මත්පැන් පානය හා දුම්පානය, නිදිපෙති ගැනීමට යොමුවීම, නියපොතු සැපීම ආදිය ඔවුන් තුළ පිළිබිඹු වන චර්යා රටාය.

 

කායික වෙනස්කම් ලෙස අධික දහඩිය දැමීම, හෘද ස්පන්දන වේගය වැඩිවීම, තොලකට වේලීම, ඉක්මනින් විඩාවට පත් වීම, මුත්‍රා පිටවන වාර ගණන වැඩිවීම, බඩ පුරවා දැමීම, ඔක්කාරය, වමනය, හිස කැක්කුම, කොන්දේ කැක්කුම, අධි රුධිර පීඩනය, දියවැඩියාව පාලනය කර ගැනීමට නොහැකි වීම ඇතැම් රෝග වේ. ආතතිය වැඩි පුද්ගලයින්ට සෙම්ප්‍රතිශ්‍යාව, හෘදයාබාධ, ආමාශයේ තුවාල, ආහාර ජීර්ණ අපහසුතා ද බහුලව දැකගත හැකිය. තවත් සමහර අයෙකුට හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, මස්පිඩු දැඩිවීම, ඇස්වල කර්ණිකා විශාල වීම, තෙහෙට්ටුව, ආහාර අරුචිය, ලිංගික ආශාව අඩුවීම, කලාන්තය, ඇඟිලි වෙව්ලීම, අත්පා වෙව්ලීම, සම මතුපිට දැවිල්ලක් ඇති වීම ආදී ලක්ෂණ ද දැක්විය හැකිය.

 

ඇතමෙකුට ගමනක් යාමට පිටවීමට පෙර, විභාගයකට මුහුණ දීමට ආසන්නයේ කීපවරක් වැසිකිලි යාමට සිදුවේ.

 

මානසික ආතතිය නිසා ඔබට ඇතැම් විට මෙවැනි රෝග ලක්ෂණ සහිතව රෝගාබාධ ඇතිවිය හැකියි. සමහරවිට මෙවැනි රෝගවලට කොතෙකුත් ප්‍රතිකාර කලද රෝගය සුව නොවීමට මූලික හේතුව වී ඇත්තේ ඔබට මුහුණ දීමට සිදුවී ඇති දැඩි මානසික ආතතියයි. මානසික ආතතිය අවම කරගෙන ජිවත් වුවහොත් ඔබට එයින් සිදුවන අතුරු ආබාධවලින් වැළකිය හැක. ඒ සඳහා පහත සඳහන් කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

 

ප්‍රථමයෙන් ආතතිය ඇතිවීමට හේතු හඳුනාගත යුතුය. එසේම ඔබ කරන කාර්යන් පිළිබඳව කරන වැඩ කටයුතු සැලසුමක් අනුව කරන්න. කාලයට අනුරූපිතව නියමිත සැලැස්මක් සිදු කරන්න.

 

පිළිවෙල, ක්‍රමානුකූලබව ඔබේ ආතතිය අඩු කර ගැනීමට හොඳම මඟයි. දරාගත නොහැකි වැඩකන්දරාවක් හිස මත තබාගෙන එය ක්‍රියාත්මක කිරීමේදී ඇතැම්විට ඔබ දැඩි මානසික පීඩනයට ලක්විය හැකිය.

 

මෙවැනි තත්ත්ව වලදීද ඔබ හොදාකාරව සැලසුම් සහගතව වැඩ කළොත් ආතතියෙන් තොරව ඔබට එම කාර්යන් කරගත හැක.

 

තමාට මුහුණදෙන්නට සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් මෙනෙහි කිරීමෙන් ඵලක් නැත. එයින් සිදුවන්නේ ආතතිය වැඩි වීම පමණකි.

 

ආතතිය ඇති වේ යැයි සිතා තමාට පැවරෙන වැඩ වලින් මිදී කටයුතු කළ නොහැක. එය අනුවන කමකි. එබැවින් ඔබට පැවරෙන නිසි කළමනාකාරීත්වයෙන් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත හැක. කලට වේලාවට වැඩ කිරීමෙන් ද ආතතිය මඟහරවා ගත හැක. ගමනක් යාමට පිටවීමේදී විනාඩි 15 පෙර පිටත් වන්නේ නම් වාහන තදබදයකින් තොරව වේලාවට යා හැක. එවිට වාහන තදබදයට සාප නොකර ප්‍රමාද වී තැවෙමින් ගත කිරීමට අවශ්‍ය නැත. වාහනයකින් ගමන් කිරීමේදී සංගීතයකට සවන් දීමෙන් මනස සුවපත් වේ.

 

ඔබ කොතරම් කාර්යබහුල වුවද ලද විවේකයක් මත සුළු වශයෙන් හෝ විනෝදාංශයක නිරත වන්න. එය ඔබගේ මනස නිරවුල් කර ගැනීමට හොඳම අවියයි.

 

ගැඹුරින් හුස්ම ගැනීම ශරීරයට හිතකර වන අතර ආතතිය අවම ගැනීමට හොඳම උපක්‍රමයකි. එබැවින් රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර මොළය හා ස්නායු උත්තේජනය වීමක් සිදුවේ. මේ සඳහා එළිමහනේ ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම විනාඩි 30ක් 45ක් පමණ ප්‍රමාණයක් කිරීමෙන් ඔබේ මනස සන්සුන් කිරීමට ඉවහල් වේ.

 

මනස සන්සුන් කර ගැනීමට සංගීතයට සවන් දීම අතිශයින් වැදගත් වේ. චිත්‍ර ඇදීම, නවකතාවක් කියවීම, මනස සුවපත් කරවන්නකි.

 

පන්සල්, පල්ලි, කෝවිල් ආදී පූජනීය ස්ථානවල ආගමික වතාවත්වල යෙදීමෙන් මානසික ආතතිය අඩු කරගත හැකිය. භාවනාව මනසේ ඒකාග්‍රතාව වැඩි කරවන්නකි. හිතට වදදෙන ප්‍රශ්නවලින් මිදී ජීවත් වීමට එය හොඳම අවියකි. සයනයක හෝ පුටුවක හාන්සි වී සුන්දර මනෝ ලෝකයක සැරිසරන්න මේ කාලය තුළදී ඔබේ සිරුර ලිහිල්ව තබා ගන්න. ඔබ ඉතා ආශා කරන, සුන්දර ස්ථානයට මනසින් යන්න.

 

තම සහකරු හෝ සහකාරිය සමඟ කායිකව එක්වීම ද මානසික ආතතිය දුරලිමට සමත් වේ. නිවාඩුවක් ගත කිරීමට යාම, චිත්‍රපටයක් නාට්‍යයක්, සංගීත සංදර්ශනයක් නැරඹීම වඩාත් යෝග්‍යය.

 

නිතරම සිනාසෙන්න. යම්කිසි කෙනෙකු රසවත් කතාවක් පවසද්දී එයට හොඳින් සවන් දී සිනාසීමෙන් ඔබගේ මනස සුවපත් වනු ඇත. ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇත්නම් තමාගේ විශ්වාසවන්ත පුද්ගලයෙකුට එය පවසා ප්‍රශ්නයෙන් නිදහස් වන්න.

 

මෙවැනි කරුණු කාරණා තුළ ඔබ ජීවත් වීමේදී ඔබගේ මනසේ ආතතිය බැහැරව යනු ඇත. එබැවින් නිරපරාදේ ආතතියට යටවී එයින් පීඩනයට පත් වී රෝගියෙකු නොවී නිදහසේ පී‍්‍රතියෙන් ජීවිතය විදින්න. ආතතියට ප්‍රතිකාර අවශ්‍ය නැත. ආතතිය රෝගයක් බවට පත් නොකර ගැනීමේ අවස්ථාව ඇත්තේ ද ඔබට පමණයි.

 

දීප්ති ෆොන්සේකා

උපුටනය: ආරෝග්‍යා 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page