
චිත්තාවේගය සුබවාදී අතට හරවා ගන්නා ආකාරය....
චිත්තවේගය පාලනයට සුදුසුම දේ
සමහර පිරිස් පිටතට හොඳ ප්‍රතිචාරයක් පෙන්වීමට අවශ්‍ය නිසා චිත්තවේග යටපත් කරනු ලබනවා. නමුත් මෙසේ කාලයක් තිස්සේ සිදු කිරීමෙන් ඒවා එකින් එක එකතු වීමක් සිදු වේ. නමුත් එක්තරා අවස්ථාවක මෙම යටපත් කිරීම තවදුරටත් සිදු කළ නොහැකි මට්ටමකට පත් වී පිටතට පැමිණිය හැකියි. මේ සඳහා උදාහරණ අවස්ථාවක් ලෙස කෝපය වැනි චිත්තවේගයක් පිළිබඳ සලකා බැලුවහොත් ජීවිත නැති කර ගැනීමට දරුණු ලෙස පහර දීමට පවා පෙළඹිය හැකියි.
සමාජයේ තවත් පිරිසක් මෙම චිත්තවේග යටපත් කරමින් ජීවත් වන අතර ඔවුන් කිසිදු හැඟීමක් දැනීමක් නැති රූකඩ වැනි පුද්ගලයන් ලෙස ජිවත් වේ. මොවුන් කිසිදු අවස්ථාවක කිසිවිටක බාහිර ප්‍රතිචාරයක් නොදක්වනු ලැබේ. එපමණක් නොවේ ඔවුන් එදිනෙදා කටයුතු සිදු කිරිමේදී කිසිදු කාරයක්ෂමතාවක් ද දැකගත නොහැකි වේ. මේ තත්ත්වය උග්‍ර ලෙස පැවතුණොත් අවසානයේ විශාදය වැනි රෝග අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකියි. මෙහි අහිතරකම ප්‍රතිඵලය වන්නේ අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමේ තත්ත්වය දක්වා පත්විය හැකි වීමයි.
මෙවන් තත්ත්වලට අප මුහුණ දෙන්නේ කෙසේද?
මෙවැනි අවස්ථාවකදී අප දැනගත යුතු වැදගත්ම කරුණක් නම් බොහෝවිට මෙම චිත්තවේග වඩාත්ම පීඩාකාරී වන්නේ එයට මුල් වූ සිදුවීම හෝ හේතුව නිසා නොවන බවයි. එනම් එම සිදුවීම මුල් කරගෙන අදාළ තැනැත්තාගේ සිතේ ඇතිවන චිත්තවේගයට ලබාදෙන අර්ථකථනයි. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ චිත්තවේගයට අදාළ වූ සිදුවීම හෝ හේතුව පිළිබඳව හේතුවාදීව විමසා බැලීමයි.
මෙහිදී අදාළ සිද්ධිය පිළිබඳව ඇති ඍනාත්මක ආකල්පවලට අභියෝග කරමින් ධනාත්මක ආකල්පවලට ආදේශ කළ යුතුය. එවැනි අවස්ථාවකදී තර්කානුකූලව සිතා බැලීමත් අනුව තමාට මුහුණ දීමට සිදු වූ සිදුවීමට නිර්භීතව මුහුණ දීමට වගබලා ගත යුතුයි. මෙමඟින් අදාළ චිත්තවේග යහපත් මාර්ගයට පමුණුවා ගත හැකියි. ඒ වගේම එම සිදුවීම් මඟහැර නොයා අදාළ සිදුවීමේ සත්‍ය ස්වභාවයට නිරන්තරව මුහුණ දීමට උත්සාහ කළ යුතුයි. ඒ වගේම සිතුවිලිවල ශක්තිමත් බව හා සිතුවිලි බුද්ධිමත්ව මෙහෙය වීම ද ඉතා වැදගත්.
චිත්තවේග සුබවාදීව හසුරුවා ගන්නේ කෙසේද?
තම අතීත අත්දැකීම් සහ අන් අයගේ ජීවිතවල අත්දැකීම් වර්තමාන අවස්ථා සමඟ ඵලදායීව මුසුකර ගැනීමෙන් චිත්තවේග අවස්ථා සුබවාදීව හසුරුවා ගත හැකි වේ. මෙවන් අවස්ථාවල ජීවිතයට අහිතරක අන්දමින් බලපාන හැසිරීම් වන මත්පැන් මෙන්ම දුම්පානයෙන් වැළකී සිටීම ඉතා වැදගත් වේ. ඒ වගේම තමා තුළ ජීවන නිපුණතා වර්ධනය කරගෙන ඇත්තේ නම් එවැනි අවස්ථාවල සුදුසු පුද්ගලයෙකු සමඟ කථාබහ කිරිමෙන් අපට අසුබවාදී සිතුවිලිවලින් වැළකීමට හැකියාව ලැබේ. කෝපය නැමැති චිත්තවේගය ගලනයට උදාහරණයක් ලෙස ගතහොත් ඔබට පහත ක්‍රියාකාරකම් කළ හැකි වේ. ඒවා නම්,
* 10 සිට 1 දක්වා පසුපසට ගණන් කිරීම
* මුහුණ සේදීම
* කඩදාසියක් කුඩා කැබලිවලට ඉරීම
* සංගීතයට සවන් දීම
* නිර්මාණශීලි කටයුතු වැනි දේ තම කැමැත්ත මත කළ හැකි දේවල නිරත විම.
නුවන්ති කුලරත්න