
සමට වින කරන අලුත්ම තාලේ රෝගයක්
හිටි හැටියේ සමේ රතු පැහැති, කැසීම් සහිත ඉදිමීම් නැතහොත් තඩිස්සිවීම් එකිනෙකට වෙනස් ආකාරයට මතු වී පැය හයක් හා 12ක් අතර නැති වී ගොස් යළිත් මතු වේ නම් සමහරවිට ඔබ අර්ටිකෙරියා නොහොත් හයිවිස් නම් වූ චර්ම රෝගයෙන් පෙළෙනවා විය හැකිය.
මෙම ඉදිමීම් හෝ තඩිස්සි වීම් ප්‍රමාණයෙන් ලොකු හා කුඩා විය හැකි අතර ඒවා ශරීරයේ තැන් තැන්වලට ගමන් කිරීමේ ප්රවනතාවක් පවතී. එක් තැනක මතු වී එය නැති වී ගොස් පැයකට පමණ පසු තවත් තැනක මතුවිය හැකියි.
පුරුෂ පක්ෂයට වඩා බොහෝවිට කාන්තාවන්ට මෙම රෝගය වැළඳීම සිදුවිය හැකි බව පෙනී ගොස් ඇති අතර උදේ පිබිදෙන විට මතු වී තිබෙන මෙම හයිව්ස් ඉදිමීම සවස් වනවිට නැති වී යා හැක. එසේම පසුවදා ඒ අයුරින්ම මතුවීම සිදුවිය හැකිය.
කෙනෙකුගේ චර්මයේ පවතින සෛලවලින් හිස්ටමින් (Histamin) යන රසායනික ද්‍රව්‍ය හා අනෙකුත් සංයෝග මුදා හැරුණු විට එහි පවතින රුධිර නාලවලින් ද්‍රවයක් කාන්දු වීමක් සිදු වී සම ඉදිමීමකට ලක් වේ. එය රත් පැහැය ගනු ඇත.
මෙම ඉදිමීම සමහරවිට ආහාර, බෙහෙත්, ආහාර සුරක්ෂිත කිරිම සඳහා යොදා ගනු ලබන රසායනික වර්ග, කුහුඹුවන් වෙනත් කෘමීන්ගේ දෂ්ඨ කිරිම නිසා ඇතිවිය හැකි අසාත්මිකතාවය නිසා සිදුවිය හැක. එහෙත් වැඩිපුරම මතුවන මෙම අර්ටිකේරියා නොහොත් හයිව්ස් නම් වූ චර්ම රෝගය කුමන හේතුවක් නිසා වැළඳුන ද යන්න සොයාගෙන නැත. මෙම රෝගය සමහරවිට කල්ගිය තත්ත්වයට පත් වුවහොත් එය සති හයක්, අටක් පමණ ඔබට වද දෙනු ඇත.
මෙම රෝගී තත්ත්වයේ විශේෂ ලක්ෂණ වන්නේ රෝගියාගේ දෙතොල්, දිව හා උගුර ඉදිමීමත් සමහර අවස්ථාවලදී හුස්ම ගැනීමට හා කථා කිරීමට අපහසු වීම ක්ලාන්තය හෝ වමනය කිරීමේ අවශ්‍යතාවය කැස්ස හා ඇදුමට සමාන ලක්ෂණ මතුවිය හැකිය. අර්ටිකේරියා රෝගය වෙනස්කම් සහිත රෝගී තත්ත්වයක් ඇති කළ හැකිය.
Physical urticaria (කායික අර්ටිකේරියා) ශරීරය තුළ සිදුවන වෙනසක් නිසා එනම් චර්මයට සිදුවන පීඩනයක්, දහඩිය, අධික ශීතලය, දැඩි හිරු රශ්මිය හා ජලය වැනි හේතූන් නිසා මෙම තත්ත්වය ඇතිවිය හැකිය. Contact Urticaria (සපර්ශ අර්ටිකේරියා) රෝගී තත්ත්වය රසායනික ද්‍රව්‍ය, රුව වඩන ආලේපන, ආහාර, ශාක වර්ග හෝ සතුන් ස්පර්ශ කිරීම නිසා මෙය මතුවිය හැකිය. Urticarial vasculitis (ආර්ටිකේරියල් වැස්කියුලයිටිස්) මෙම ඉතාම දුර්ලබ ගනයේ පවතින රෝගී තත්ත්වය කෙනෙකුගේ රුධිර නාල ඉදිමීම නිසා සිදුවිය හැකිය.
යම් හෙයකින් අර්ටිකේරියාව චර්මය ගැඹුරට කිඳා බැස තිබුණහොත් විශාල ඉදිමීම් සිදුවිය හැකිය. මෙම තත්ත්වය ඇන්ජියොඩයිස්මා යනුවෙන් හැඳින්වේ. මෙම රෝගී තත්ත්වය නිසා රෝගියාගේ ඇසිපිය, මුඛය ඉදිමිය හැකි වන අතර වේදනා සහිත හෝ දැඩි කැසීමක් ඇතිවිය හැක. එම රෝගී තත්ත්වය දින කිහිපයක්ම පැවතිය හැකිය. තවත් සංකීර්ණ වුවහොත් රෝගියාට හුස්ම ගැනීමට මෙන්ම ආහාර හෝ ජලය ගිලීමට මෙන්ම කථා කිරීමට ද නොහැකි වනු ඇත.
මෙය ඉතා කලාතුරකින් සිදුවිය හැකි වුවත් යම් හෙයකින් අර්ටිකේරියා රෝගය තව තවත් සංකීර්ණ වුවහොත් ඇනෆිලැක්ඩිස් (Anaphylaxis) නම් වූ ප‍්‍රතිකි‍්‍රයාවක් සිදුවිය හැකිය. මෙම රෝගී තත්ත්වය සමඟ රෝගියාට කරකැවිල්ල, ක්ලාන්තය, වැටීම සිදුවිය හැකිය. එසේම හුස්ම ගැනීමේ අපහසුතාවය මුහුණ, දෙතොල් දිව ආදිය ඉදිමීම, හෘද ස්පන්දන වේගවත් වීම, මරණ බිය ඇති වීම ආදී ලක්ෂණ පිළිබිඹු කළ හැකිය. මෙබඳු සංකීර්ණ තත්ත්වයක් උදා වුවහොත් රෝගියා වහාම වෛද්‍යවරයෙකුට පෙන්වීම අත්‍යවශ්‍ය වේ.
මෙම රෝගියට පිළියම් හැටියට දැනට සොයා ගෙන ඇත්තේ හිස්ටමින් රසායනික ද්‍රව්‍ය ගලායාම වැළැක්වීමේ බෙහෙත් වර්ග ලබාදීමයි. එසේම බෙහෙත්වලින් රෝගී ලක්ෂණ පාලනය කරගත හැකි වේ.
එසේම අසාත්මිකතාවය මතු කළ හැකි ආහාර එනම් shell fish (බෙල්ලන්), ඇටවර්ග, බිත්තර, සෝයා, තිරිඟු ආදියෙන් වැළකී සිටීමෙන් ඇතැමුන්ට මෙම රෝගය වැළඳීම වළකාගත හැකි වේ.