
පිත්තාශයේ ගල් ඇති බව ඇඟවෙන රෝග ලක්ෂණ
හිසරදය එසේ නැතිනම් හිස කැක්කුම හැරුණු විට වැඩිදෙනෙකු පැමිණිලි කරන කැක්කුම් ස්වභාවය වන්නේ බඩේ කැක්කුමය. එසේ නැතිනම් බඩේ රිදීම හෝ බඩ කොරවීමය. කෙනෙකු තම බඩ රිදෙන බව, බඩ කැක්කුම් දෙන බව පැවසූ වහාම අපගේ නිගමනය වනුයේ එය ආහාරයක් හෝ පානයක් හෝ අපත්‍ය වීම නිසා ඇතිවුණ අජීර්ණ, පාචන හෝ අතීසාර තත්ත්වයක් විය හැකි බවය.
එහෙත් බඩරිදීම මඟින් රෝග ගණනාවක් හඟවන බව අප බොහෝදෙනෙකු නොසිතන ලෙසක් පෙනේ. එය අජීර්ණ, පාචන, අතීසාර පණු ආසාදන තත්ත්වයක සිට ඇපෙන්ඩිසයිටින්, (උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය) සෙංගමාලය ඇතුළු අක්මා රෝග, උණ සන්නිපාතය පිත්තාශයේ ගල් ඇතිවීම ඇතුළු ආහාර මාර්ගය ආශි‍්‍රත රෝග සමූහයකින් එකක් හඟවන ලක්ෂණයක් විය හැකිය. සමහරවිට ආහාර මාර්ගයට ඍජු සම්බන්ධතාවක් නොමැති ප්ලිහාව (ස්පලීෆ්) වකුගඩු, ගර්භාෂය (ස්ත්‍රීන්ගේ) වැනි අවයව වල ආසාදනයක්, රෝගයයක්, අකර්මන්‍ය වීමක් වීමට ද පුළුවන. නොඑසේ නම් මේ කවර හෝ ඉන්ද්‍රියක ඇති වුණ පිළිකාමය නොවන (අහිංසක) හෝ පිළිකාමය (මාත්සරික) හෝ අර්බුදයක් හෝ විය හැකිය.
බඩේ කැක්කුමට නැතිනම් උදර වේදනාවට හේතුවිය හැකි විවිධ හේතු ගැන යම් වැටහීමක් ලබා තිබීම තුළින් ඔබට ද අදාළ රෝග තත්ත්වය ගැන කිසියම් සැකයක් ඇති කරගත හැකිය. මෙම ලිපි පෙළ සැකසෙන්නේ ඒ වෙනුවෙනි.
පිත්තාශ ගල් (ගෝල්ස්ටෝන්ස්)
පිත්තාශය ලෙස හැඳින්වෙන්නේ ආහාර මාර්ගයට අයිති එක් සම්බන්ධිත ඉන්ද්‍රියයකි. අක්මාවේ නිපදවෙන පිත ස්‍රාවය ඍජුවම ආහාර මාර්ග පද්ධතියටය. වැස්සීමකින් තොරව ආමාශයත්, කුඩා අන්ත්‍රයත් අතර ඇති “පාලම” හෙවත් ග්‍රහණියට වෑස්සෙන්නේ මෙම පිත්තාශයේ ගබඩා වී තිබී පිත්ත ප්‍රණාලය ලෙස හැඳින්වෙන නාලයක් ඔස්සේය. ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන උපද්‍රව අතරත් පිත්තාශයේ ගල් ඇතිවීම සුලබ තත්ත්වයකි. විශේෂයෙන්ම වයස අවුරුදු 50-60 ඉක්මවා යාමත් සමඟ මෙම රෝග තත්ත්වය ඇති වීමේ නැඹුරුතාව ඉහළ යැවෙයි.
පිත්තාශ ගල් යනු පිත්තාශය තුළ ඇතිවන ගල් කැට වැනි තැන්පතු විශේෂයකි. පිත්තාශය තුළ ඇත්තේ ආහාරයෙහි අඩංගු මේදය ජීර්ණය සඳහා අක්මාව නිපදවන පිත දියරයය. මේදය හෝ ප්‍රෝටීන් හෝ අඩංගු ආහාරයක් ගත් කළ පිත්තාශය සංකෝචනය වී සිය නාල ඔස්සේ ආහාර මාර්ගයට මුදා හරිනු ලබයි.
පිත ස්‍රාවය තුළ කොලෙස්ටරෝල් සහ බිලිරුබීන් නම් අපද්‍රව්‍යයක් වන වර්ණකය අඩංගුය. කොලෙස්ටරෝල් හෝ බිලිරුබීන් යන දෙවර්ගයෙන් කවරක් හෝ පමණ ඉක්මවා පැවතිය හොත් පිත්තාශ ගල් ඇති වීමට එය හේතුවෙයි. එසේම පිත්තාශය මුළුමනින්ම හිස් නොවුවහොත් ද ඉතිරි වන පිත, සාන්ද්‍ර වී කැටි ගැසී තද බවට පත් වෙයි. පිත්තාශ ගල් සාමාන්‍යයෙන් ඇතිවන්නේ එහි පත්ලේය.
එසේම එමඟින් කිසිදු රෝග ලක්ෂණයක් ද බාහිරයට නොදක්වයි. එවැනි පිත්තාශ ගල් හැඳින්වෙන්නේ “නිහඬ ගල්” වශයෙනි. එසේ වුවද යම් ලෙසකින් පිත්තාශ ගලක්, පිත්තාශයේ පිටතට විවෘත වන ස්ථානයකට සංක්‍රමණය වී පිත්ත ප්‍රණාලයක් අවහිර කරමින් හිර වුවහොත්, ඒ තුළ එක් රැස්වන පිත ස්‍රාවය, ස්ථානීය පීඩනය වැඩි කිරීම නිසා දැඩි වේදනාවක් ඇති කරයි.
පිත්තාශ ගල් හේතුකොට ඇතිවන කැක්කුම ආරම්භවන්නේ උදරයේ ඉහළ පෙදෙසිනි. ඒ ඉතා හදිසියේය. ඉන් පසු එය පපුවේ පහළ පෙදෙස හා පිට දෙසට විහිදී යයි.
මෙසේ පිත්ත ප්‍රණාලයක් අහුරාගෙන සිටින පිත්තාශ ගලකට, ප්‍රණාලය තුළින් පිටතට (ආහාර මාර්ගයට ඇතුළු වීම) පැමිණීමට හෝ ආපසු පිත්තාශය තුළටම හැලී යාමට හැකියාව ඇත. එසේ වුවහොත් වේදනාව එතැනින් අහවරය. එසේ නැතිව ගල ප්‍රණාලයෙහි හිරවී තිබුණහොත් පිත්තාශ ප්‍රදාහ තත්ත්වයක් ඇති කළ හැකිය. යම් ලෙසකින් පිත්තාශ ගලක් අග්න්‍යාසයට (ඇල දිවට) හෝ අක්මාවට හෝ දිවෙන නාලයක් අවහිර කරනු ලැබුවහොත් එම ඉන්ද්‍රියයන්හි ප්‍රදාහ තත්ත්වයන් ඇති කළ හැකිය.
පිත්තාශ ගල් ඇති වීම පිළිබඳව සැකයක් ඇත්නම් ඔබ කළ යුත්තේ කුමක්ද? වෛද්‍ය පරීක්ෂණයකදී පිත්තාශයේ ගල් තිබෙන බව වෛද්‍යවරයා පළකළ ද ඔබ කලබල විය යුතු නැත. ඒවා “සයිලන්ට් ස්ටෝන්ස්” හෙවත් නිහඬ ගල් නම් කිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් බඩ රිදීම පැය 5කට වඩා වැඩි කාලයක් එක දිගට පවතින්නේ නම් සහ ඒ හා සමඟ ඔක්කාරය, වමනය, උණ සහ හෝ කාමලාව (ජෝන්ඩීස්) ගතිය පවතින්නේ නම් වෛද්‍යවරයකු වෙත යෑම පමා කළ යුතු නැත. ඇස්, නියපොතු ඇතුළත, සම සහ මුත්‍රා කහ පැහැයට හැරීම කාමලාවේ ප්‍රධාන ලක්ෂණය. එවැනි විටෙක ඇතිව ඇති පිත්තාශ ගල් ඉවත් කිරීමේ සැත්කමකට ලක් වීමට ඔබට සිදුවනු ඇත.
තුසිත මලලසේකර
උපුටනය: ආරෝග්‍යා