
සිරුරට හිතකර මේදය අහිතකර මේදය හඳුන ගන්න
වර්තමාන සමාජයේ අප බොහෝදෙනෙක්, තෙල් පිළිබඳ දක්වන්නේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. එසේ වෙතත්, අපට තෙල් අනුභවය මුළුමනින්ම අත් හැරීමට ද නොහැකිය. ඒ, මේදය එදිනෙදා ක්‍රියාකාරකම්වලදී අපට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් වූ බැවිනි.
මේදය අපට එක් එක් ආහාර මඟින් ලබා ගැනීමේ හැකියාව පවතී. ඒ අතර හොඳ තෙල් හා නරක තෙල් වශයෙන් කොටස් දෙකකි. එනම් සිරුරට හිතකර මේදය හා සිරුරට අහිතකර මේදය වශයෙනි. ඒ නිසා එහි සමබරතාවක් පවත්වා ගැනීම වැදගත් වේ.
තෙල් මූලික වශයෙන් මේද අම්ලවලින් සෑදී තිබෙන අතර තෙල් කොටස් 4කට වර්ග කළ හැකි වේ.
සංතෘප්ත මේදය
අසංතෘප්ත මේදය
(එය බහු අසංතෘප්ත මේදය යන ඒක අසංතෘප්ත මේදය වශයෙන් නැවත කොටස් දෙකකට බෙදේ. )
ට්‍රාන්ස් මේදය
එහිදී අසංතෘප්ත මේදය සිරුරට හිතකර ලෙස සලකයි. නමුත් මෙම මේද වර්ගය පවා අනවශ්‍ය ලෙස ආහාරයට ගතහොත්, සිරුරට අහිතකර විය හැකි වේ.
එහිදී සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය නරක මේදය ලෙස සැලකෙන අතර සෞඛ්‍යයට හානිකාර නොවන ලෙස සුළු ප්‍රමාණයක් පමණක් ඒවා ලබා ගැනීමේ හැකියාවක් පවතී.
නමුත් අද පවතින රෝග රටාවත් සමඟ ගැටලුව මතුවී ඇත්තේ තෙල් භාවිතා කරන විධි අනුවය. එය ආහාරයට යොදාගන්නා විධිය, ආහාරය පිසින ක්‍රමය, ආදී හේතු මත විවිධ සෞඛ්‍ය ගැටලු මතු වී තිබේ. එමෙන්ම මෙම තෙල් කාණ්ඩ හතර තුළින්ම සිරුරට ලැබෙන මුළු තෙල් ප්‍රමාණය අනුව විවිධ සෞඛ්‍ය ගැටලු පැන නැඟීමට හේතු වී ඇත.
එහිදී දිනකට පුද්ගලයකු ලබා ගත යුතු තෙල් ප්‍රමාණයක් ඇත. නමුත් අසීමිත තෙල් ප්‍රමාණයක් සිරුරට ලබා ගත්විට කුමන වර්ගයේ යහපත් මේද කාණ්ඩයක් වුවත් සිරුර අභ්‍යන්තරයේදී විවිධ ප්‍රතික්‍රියාවන්ට ලක් වී විවිධ රෝග, විශේෂයෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානමක් පවතී.
තවද අසංතෘප්ත මේදය කාණ්ඩ කීපයකට බෙදා හඳුන්වනු ලැබේ. ඔමේගා 3, ඔමේගා 6, ඔමේගා 9 ආදී වශයෙන් එය කාණ්ඩ කීපයකට බෙදේ.
එහිදී මාළුවල විශේෂයෙන් හුරුල්ලා, සාලයා, කුම්බලාවන්, කෙලවල්ලා යන මසුන්ගේ හිස සහ සමේ මෙම මේද වර්ගය වැඩිපුර පවතී. ඊට අමතරව අලිගැටපේර, පියළි වර්ග වලද (පරිප්පු, කඩල, මුං ඇට ආදී) මෙම මේදය බහුලව අඩංගුය.
තවද වෙනත් ඇටවර්ග එනම්, කොට්ටන්, වට්ටක්කා ඇට, තල ආදී ඇටවල මෙම මේදය බහුලව අඩංගු බව හඳුනාගත හැක. නමුත් අධික සංතෘප්ත මේදය භාවිතය මෙන්ම අසංතෘප්ත මේදය භාවිතය අඩු වීම නිසා ඇතිවන අසමතුලිතතාව නිසා කොලෙස්ටරෝල් වැනි රෝග බහුලව ඇති වීමට අද මඟ පෑදී තිබේ.
ඇසට පෙනෙන හා ඇසට නොපෙනෙන තෙල්
සාමාන්‍යයෙන් මස් කුට්ටියක් නැතිනම් බටර් වැනි දෙයක අපට තෙල් පියවි දෑසට දැකගත හැකි වේ. මේ අතර ඇසට නොපෙනෙන තෙල් ද ඇත. ඊට උදාහරණයක් නම් කිරිය. එහි ඇත්තේ සංතෘප්ත මේදයයි. සමහර අවස්ථාවල මිනිසුන් අනවශ්‍ය ආකාරයෙන් කිරි පානය කිරීමට ද හුරු වී ඇත. උදාහරණයක් ලෙස තේ කෝප්ප පහක් බොනවා නම් එම කෝප්ප පහටම කිරි එක් කිරීමට ඇතැමුන් පුරුදු වී සිටියි. මෙයත් අනවශ්‍ය ආකාරයෙන් සංතෘප්ත මේදය සිරුරට එක් වන ක්‍රමයක් ලෙස සැලකිය හැකිය.
පොල් කිරි
ශ්‍රී ලාංකික ආකාරය ප්‍රධාන වශයෙන් සෑදී ඇත්තේ පොල් කිරිවලින්ය. එනම් කෑම පිසීමට ප්‍රධාන වශයෙන් පොල් කිරි භාවිතා වේ. පොල් කිරිවල 35%ක් මේදය ඇති අතර අපට අවශ්‍ය සංතෘප්ත මේදය ප්‍රමාණය ඉන් පිරිමැසේ. ඊට අමතරව වෙනත් ආහාරවලින් සංතෘප්ත මේදය ලබා ගැනීමේදී අපේ සිරුරේ සංතෘප්ත මේද ප්‍රමාණය වැඩි වේ. එහිදී වැඩිහිටියන් වශයෙන් බොහෝදුරට මේදය අඩු කිරි භාවිතා කිරීම යහපත්ය. එනම් මේදය අඩු කිරිවල සංතෘප්ත මේදය ඉවත් කර ඇති නිසාය. තවද අලිගැටපේර ආහාරයට ගැනීමට ද සමහරු තරමක් බිය වෙති. නමුත් ගැටලුව ඇත්තේ අලිගැටපේර ආහාරයට ගන්නා ආකාරයේය. බොහෝ අය ඒවා කෑමට ගන්නේ සීනි, කිරිපිටි ආදියත් එක් කිරීමෙන්ය. එහිදී ගැටලුව තවත් සංකීර්ණ වෙයි. එනම් එලෙස එක් කරන සීනි ද අමතරව සිරුරේ තැන්පත් වීමය. එහිදී් අප සිරුර නොවෙහෙසා එක තැනන සිටිනවා නම්, මෙය අපට අහිතකරව බලපායි. එහිදී වැඩිපුර සීනි සිරුර තුළදී මේදය බවට පෙරළී එහි තැන්පත් වේ. මෙවැනි තත්ත්ව බොහෝදුරට අද කතා කරන අක්මාවේ තෙල් තැන්පත් වීම් ආදියට බලපායි.
ශ්‍රී ලාංකිකයින් වැඩිදෙනෙකුගේ අක්මාවේ තෙල් තැන්පත් වී ඇති බව අපට හඳුනාගත හැක. එයට ප්‍රධාන හේතුවක් වන්නේ වැඩිපුර සීනි ආහරයට ගැනීම හා ඒවා වැය නොවීමෙන් අක්මාවේ තෙල් ස්ථරයක් ලෙසට තැන්පත් වීමයි.
ඒ අනුව අපගේ ආහාර රටාව මෙලෙස වෙනස්කම්වලට ලක්වීමෙන් මේ ආකාරයට බෝ නොවන රෝග ඇති වීමට බෙහෙවින් බලපා ඇත.