top of page

ගලගණ්ඩය ඇති අයට පිළිකා අවදානමක්? 

 

අන්තරාසර්ග ග්‍රන්ථි ආශි‍්‍රත පිළිකා අතරින් බහුලවම දැකිය හැකි පිළිකා වර්ගය ලෙස තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව සඳහන් කළ හැකිය. බෙල්ලේ ඉදිරිපස පිහිටා ඇති තෛරොයිඩ් ග්‍රන්ථිය මඟින් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා රාශියකට ආධාර වන තෛරොක්සීන් නමැති හෝමෝනය ස්‍රාවය කෙරේ. විවිධ හේතු නිසා මෙය ඉදිමීමට ලක්විය හැකි අතර, මෙම තත්ත්වය ගලගණ්ඩය ලෙස හඳුන්වනු ලැබේ.

 

තෛරොයිඩ් ග්‍රන්ථියේ ඉදිමීමට බලපාන ප්‍රධාන හේතුව අයඩින් ඌනතාව වුවද සමහර පිළිකා වර්ග නිසා ද මෙම තත්ත්වය ඇතිවිය හැකිය.

 

තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා රැසක් එම ග්‍රන්ථියේම හටගන්නා මූලික පිළිකා (Primary Cancers) වේ. කලාතුරකින් වෙනත් පිළිකාවල ද්වීතියික තැන්පත් වීම් (Secondary Deposits) ලෙස ද තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා දැකිය හැකිය. උදාහරණ පෙනහලු පිළිකා

 

තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකා ප්‍රධාන වර්ග 5කට බෙදා දැක්විය හැකිය.

 

1. පැපිලරි කාර්සිනෝමාව

 

2. ෆොලිකියුලර් කාර්සිනෝමාව

 

3. මෙඩල්ලරි කාර්සිනෝමාව

 

4. ඇනප්ලාස්ටික් කාර්සිනෝමාව

 

5. ලිම්ෆෝමාව

 

ඉහත පිළිකා වර්ග අතරින් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ පැපිලරි කාර්සිනෝමාව නැමැති වර්ගයයි (60%ක් පමණ) මෙම වර්ගය බොහෝවිට දක්නට ලැබෙන්නේ තරුණ සහ මැදි වයසේ පසු වන පුද්ගලයන් අතරය. ඉතා ඉහළ සුව වීමේ ප්‍රතිශතයක් සහිත පිළිකා වර්ගයකි. ප්‍රතිකාර කිරීමෙන් පසු අවුරුදු 10ක් ජීවත් වීමේ හැකියාව 90%කටත් වඩා වැඩිය. 

 

ෆොලිකියුලර් කාර්සිනෝමාව නම් වර්ගය යම් තරමකට දරුණු ගනයේ පිළිකා වර්ගයක් ලෙස සැලකේ. මෙහි ව්‍යාප්තිය පැපිලරි කාර්සිනෝමාව වලට වඩා වේගවත්ය. අස්ථි පද්ධතියට පහසුවෙන් පැතිරී යා හැකි පිළිකා වර්ගයකි.

 

මෙඩල්ලරි කාර්සිනෝමාව වර්ගය විශේෂ වර්ගයේ පිළිකාවක් ලෙස සැලකේ. ග්‍රන්ථියේ ඇති ඛ් නැමැති සෛලවලින් හට ගනී. මෙය ද දරුණු ගනයේ පිළිකාවක් ලෙස නොසැලකේ.

 

බොහෝවිට මෙය තනිව දක්නට ලැබුණ ද සමහර අවස්ථාවලදී ශරීරයේ අනෙකුත් අන්තරාසර්ග ග්‍රන්ථිවල පිළිකා සමඟ එකට සෑදීමට පුළුවන.

 

ඒ නිසා ෆොලිකියුලර් කාර්සිනෝමාව නැමැති තෛයිරොයිඩ් පිළිකා වර්ගය හඳුනාගත් රෝගීන්ගේ අනෙකුත් අන්තරාසර්ග ග්‍රන්ථින් ද පරික්ෂාවට ලක් කළ යුතුය.

 

ඇනප්ලාස්ටික් කාර්සිනෝමාවනැමැති වර්ගය බොහෝවිට ඉක්මනින් වර්ධනය වන පිළිකාවක් වන අතර, සුව වීමේ ප්‍රතිශතය ඉතා අඩු පිළිකා වර්ගයක් ලෙස සැලකේ. බොහෝවිට වයස්ගත පුද්ගලයන්ගේ දක්නට ලැබේ.

 

කල්පවතින හැෂිමොටෝස් තෛරොයිඩයිටිස් නැමැති තත්ත්වය නිසා පසුකාලීනව තෛරොයිඩ් ග්‍රන්ථියේ ලිම්ෆෝමාව හට ගත හැකිය. මෙය ද දරුණු ගණයේ පිළිකාවක් ලෙස නොසැලකේ.

 

තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සඳහා අවදානම් සාධක මොනවාද?

මෙම පිළිකාව පිරිමින්ට වඩා කාන්තාවන් අතර සහ වයස අවුරුදු 45 -50 කාණ්ඩයේ පුද්ගලයන් අතර වැඩිපුර දක්නට ලැබේ.

 

බෙල්ල ප්‍රදේශය විකිරණශීලි ද්‍රව්‍යවලට නිරාවරණය වීම නිසා තෛරොයිඩ් ග්‍රන්ථියේ පිලිකා සෑදීමට වැඩි ඉඩක් ඇති බව සොයාගෙන තිබේ. එබැවින් විකිරණ ආශි‍්‍රත රැකියා වන්හි නිරත වන පුද්ගලයන් මේ සම්බන්ධව අවදානය යොමු කිරීම වැදගත්ය.

 

එවැනි පුද්ගලයන් රැකියා ස්ථානවලදී බෙල්ල ප්‍රදේශය ආවරණය වන පරිදි ඊයම්වලින් සාදන ලද ආරක්ෂිත කොලරයක් සහිත ඇඳුම් පැළඳීම අනිවාර්ය වේ.

 

හිරෝෂිමා, නාගසාකි, චර්නොබිල් වැනි න්‍යෂ්ටික අනතුරුවලට ලක් වූ ප්‍රදේශවල ජීවත් වූවන් අතර පසු කාලීනව තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා බහුල වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. එසේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක බලාගාර ආසන්නයේ ජීවත් වන පුද්ගලයන්ට මෙම පිළිකාව වැළඳීමට මඳක් වැඩි අවදානමක් ඇති බව අනුමාන කෙරේ.

 

අයඩීන් ඌනතාව නිසා ජ්ධතතඪජභතචප වර්ගයේ තෛරොයිඩ් පිළිකාව සෑදීමට වැඩි අවදානමක් ඇති බවද හඳුනාගෙන ඇත. මෙම රෝගීන්ගේ Thyroxine නමැති හෝර්මෝනය අඩු වීම නිසා Thyroid Stimulating Hormone (TSH) මඟින් තෛරොයිඩ් ග්‍රන්ථිය අනවශ්‍ය ආකාරයට උද්දීපනය වීම නිසා මෙම තත්ත්වය හට ගනී.

 

සමහර තෛරොයිඩ් පිළිකා වර්ග පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීමට සුලු හැකියාවක් ඇත.

 

කල් පවතින ගලගණ්ඩය ඇති අයට පසුකාලීනව තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා සෑදීමට වැඩි අවදානමක් ඇත.

 

තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?

බෙල්ල ඉදිරිපස ඉදිමීමක් ඇති වීම තෛරොයිඩ් ග්‍රන්ථියේ ඇති වන පිළිකාවල ප්‍රධාන රෝග ලක්ෂණය ලෙස සඳහන් කළ හැකිය. මෙය එක් ස්ථානයක ඇති වන ගැටිත්තක් පැතිරි ගිය ඉදිමුමක් හෝ කුද්දෙටි ඉදිමීමක් ලෙස බාහිරෙන් හඳුනා ගැනීමට පුළුවන.

 

මෙහි අතට දැනෙන තද ස්වභාවය හා අවට ප්‍රදේශවලට සම්බන්ධ වී ඇති නැති බව අනුව එය පිළිකාමය තත්ත්වයක් ද යන්න අනුමාන කිරීමට පුළුවන. තෛරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා ඇතුළු පැත්තට විහිදී ඇති සහ මඳක් පැතිරි ඇති අවස්ථාවලදී හුස්ම ගැනීමට ඇති වන අපහසුතා, බෙල්ලේ ඇතිවන වේදනාව, කටහඬ වෙනස් වීම්, ගිලීමට අපහසු වීම් ආදී රෝග ලක්ෂණ සමඟ රෝගීන් වෛද්‍යවරුන් කරා යොමු විය හැකිය.

 

මෙම පිළිකාව අස්ථි කරා පැතිරී ඇති විටෙක රෝගීන් අස්ථිවල ඇතිවන වේදනා සහ අස්ථි බිදීම් සහිතව වෛද්‍යවරුන් කරා යොමු වන අවස්ථා ද ඇත.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page