top of page

නිරන්තරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් ජීවත්වන්නේ නම් ලෙඩ රෝගවලින් තොරව ජීවත්විය හැකි බව අප දැනුවත් වූයේ පාසල් සමයේදී පටන්ය. ඒ උගත් දේ ජීවිතාන්තය පුරා වලංගු වීමට නම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම එදිනෙදා ජීවිතයට එක්කර ගත යුතුය. අපිරිසිදුකමද රෝග ගණනාවකටම මුලය.

ඔබ අප සියලුදෙනාගේම නිවසේ අත්‍යවශ්‍ය ස්ථානයක් බවට පත් වී ඇති නාන කාමරයේ, වැසිකිලියේ පිරිසිදුතාවය මත අපගේ නිරෝගි භාවය ද බොහෝදුරට රැඳී ඇති බැවින් වැසිකිලියේදී නිසි අයුරින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිතා නොකිරිමෙන් ඔබට වැළඳෙන රෝග පිළිබඳ අප දැනුවත් කරන්නේ රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ ක්ෂුද්‍ර ජීවි පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලිලානි කරුණානායක මහත්මියයි.

නවීන සමාජය තුළ බොහෝවිට වැසිකිළි, නාන කාමර පිහිටා ඇත්තේ නිදන කාමරය, සාලය, කෑම කාමරයට යාබදව නිසාය. ඒවායේ පිරිසිදුකම පිළිබඳව වඩාත් සැළකිලිමත් නොවීමෙන් බහිස්ස්‍රාවීය ද්‍රව්‍ය (අසූචිවල) තිබෙන ශිගෙල්ලා, සැල්මොනෙල්ලා (Shigella Salmonella) ආදී බැක්ටීරියා වර්ග සිරුරට ඇතුල් වී ඔබ රෝගියකු බවට පත් කරයි.

අතීතයේ බොහෝදෙනා භාවිතා කළේ වල සහිත වැසිකිළි (Squatting Pan). ඒවා පිහිටා තිබුණේ ඉඩම මායිමේය. (Squatting Pan) වර්ගයේ වැසිකිලි භාවිතය සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට වඩාත් හිතකරය. වැසිකිළි “වල” (Squatting Pan) පිහිටා ඇත්තේ පොළොව මට්ටමින් පහළට බැවින් අසූචි ජලය සමඟ පහතට ගලා යාම නිසා අසූචි සමඟ දිය බිඳිති තැනින් තැන විසිරීමක් සිදු නොවේ.

නමුත් කොමෝඩ් භාවිතා කරන විට එම දිය බිඳිති සමඟ විෂබීජ පිටතට විසිරීම සිදුවීමට බෙහෙවින් ඉඩ ඇත. කොමෝඩ් එක තිබෙන්නේ අප වාඩිවන සීමාවේ බැවින් වැසිකිළි යාමෙන් පසු Flush කිරීමේදී අසූචි සමඟ දිය බිඳිති විසිරෙන්නට හැකියාවක් ඇත.

මේවා වැසිකිළියේ බිත්තිවල පොළොව මතුපිට සහ Wash Basin ආදී තැන්වල තැවරීමට ඉඩ ඇත. එසේම අපගේ සිරුරේ ද සම, දෑත්, දෙපාවල ද තැවරිය හැක. අසූචි යනු විෂබීජ ආකාරයකි. (Shigella Salmonella) නැමැති බැක්ටීරියා සමූහ වශයෙන් ඒවායේ පවතී. මෙම බැක්ටීරියාවට තමා විසින්ම ගුණනය කිරීමේ (වැඩි කිරීම) ප්‍රවණතාවයක් ඇත. තෙතමනය තිබෙන පරිසරයක මේ බැක්ටීරියා වැඩි වශයෙන් ගුණනය වීමක් දක්නට ලැබේ.

එබැවින් ඩයරියා රෝගීන් භාවිතා කළ වැසිකිළියකට ගොස් නොදැනුවත්කමින් එම බැක්ටීරියා සහිත ස්ථාන ස්පර්ශ කළ විට තම දෑත මාර්ගයෙන් මුඛය දක්වා මෙම විෂබීජය ගමන් කළ හැක. වැසිකිලියේ සිටින මැස්සන් මාර්ගයෙන් ආහාරවලට පවා එක් වී ආහාර මාර්ගයෙන් බැක්ටීරියා සිරුර තුළට ඇතුල් වී පාචනය, වමනය වැනි රෝග වැළඳීමට බොහෝවිට ඉඩ ඇත.

එයට වඩාත් සමීපතම හේතුව වන්නේ (Shigella Salmonella) වැනි බැක්ටීරියා වර්ග වලින් බැක්ටීරියා 10 - 100 දක්වා අතර ප්‍රමාණයක් සිරුරට ඇතුල් වුවහොත් බැක්ටීරියා ආසාදනයක් වී පාචනය සහ වමනය වැනි රෝග ඇතිවිය හැකි බැවින් මෙම රෝගවලට නිසි ප්‍රතිකාර නොලද විට විජලනය පවා සිදුවිය හැක.

ඕනෑම පුද්ගලයෙක් වැසිකිලිය භාවිතයෙන් පසු සබන් දා අත සේදීම අත්‍යවශ්‍ය සේම මෙම බැක්ටීරියා වර්ග වලින් ආරක්ෂා වීමට ද කොමෝඩ් භාවිතා කර Flush කිරීම කළ යුත්තේ එහි පියන වැසීමෙන් පසුවය. එවිට අසූචි විසිරීමක් සිදු නොවේ.

වමනය පිළිබඳව පැවසිය යුත්තේ ද එයමය. යම්කිසි පුද්ගලයෙක් වමනය කළ විට වමනයෙන් පිටවන දිය බිඳිති තුළ රොටා වෛරසය (Rota Virus) ඇත. කෙනෙකුට වැසිකිළියේදී මේ රොටා වෛරසයෙන් යුත් දිය බිඳිති ස්පර්ශ කිරීමක් සිදු වූ විට ආහාර ගැනීමේදී අත නොසේදීමෙන් මේවා ආහාර සමඟ සිරුරට ඇතුල් විය හැක. වෛරල ඩයරියා (Viral Diarriea) වැළඳුන විට වමනයේ මෙම වෛරසය තිබෙන බැවින් වැසිකිළිය ඉතා පිරිසිදුව තබා ගත යුතුය.

නිවසේ වැසිකිළිය නම් දිනකට වරක් පිරිසිදු කිරීම අත්‍යවශය සේවා ස්ථානයේ හෝ වැඩි පිරිසක් පාවිච්චි කරන වැසිකිළි දිනකට දෙතුන් වතාවක් පිරිසිදු කළ යුතුය. හයිපොක්ලෝරයිට් නැමැති රසායන ද්‍රව්‍ය අඩංගු ක්ලෝරින් සහිත විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීමෙන් වෛරස් සහ බැක්ටීරියා විනාශ විය හැක. විෂබීජ විනාශ වීම සාන්ද්‍රණය මත රඳා පවතී.

වැසිකිළිය තැනිය යුත්තේ හිරු එළිය සහ වාතාශ්‍රය හොඳින් ලැබෙන ස්ථානයකය. කෑම කාමර, කුස්සිය අසල වැසිකිළි තැනීමෙන් වැළකිය යුතුය. විශේෂයෙන්ම නාන කාමරයක් භාවිතා කිරීමේදී පිරිමි පක්ෂය තමාටම පෞද්ගලික වූ රේසර් එකක් තබා ගත යුතුය.

ඒඩ්ස් හෝ හෙපටයිටීස් බී, සී ආසාදිතයෙකුගේ රේසරයක් භාවිතා කළේ නම් රුධිර සම්පේෂණය මඟින් නිරෝගි පුද්ගලයාට එම රෝග බෝවිය හැක. හේතුව මෙම රෝග රුධිරය ආශි‍්‍රතව බෝවන රෝග බැවිණි.

විශේෂයෙන් තමාගේ දත් බුරුසුව වසා තැබීම අවශ්‍යය. කැරපොත්තෝ, හූනෝ වැනි කෘමීන් දත් බුරුසුවට විෂබීජ ගෙන යන බැවිණි. ඇඟ පත සෝදා ගැනීමට දිය නෑමට පාවිච්චි කරන වතුර මල් ද විෂබීජ ආකාරයක් විය හැක. විශේෂයෙන්ම Warm Water (මඳ උණුසුම් ජලය) භාවිතා කරන අයට ඇතැම්විට Legionella බැක්ටීරියාව ශරීර ගතවී Legionella නිව්මෝනියා වැළඳිය හැක.

නළ පද්ධතිවල විෂබීජ ඇත්නම් හරියාකාරව පිරිසිදු නැත්නම් නළ කරාම කැඩී බිඳී පළුදු වී ඇත්නම් ඒවායේ මෙම බැක්ටීරියාවට සුදුසු වාසස්ථානයකි. මෙවැනි වතුර මල් වලින් ගලා එන ජලයෙන් දිය නෑම හෝ ඇඟ සේදීමේදී නාසයෙන් එම බැක්ටීරියාවට ඇතුල් වී Legionella බැක්ටීරියාව පෙනහැල්ල කරා ගමන් ගොස් නිව්මෝනියා තත්ත්වයට එළැඹීමට ඉඩ ඇත.

දැඩි උෂ්ණත්වයේ පවතින ජලයේ නොව මඳ රස්නයේ පවතින ජලයේදී මෙම බැක්ටීරියාව නොනැසී පවතී. එබැවින් මද රස්නය ජලයෙන් නෑමේදී කරාමයේ පිරිසිදු භාවයත් ජලනලවල පිරිසිදු භාවයත් ගැන සැලකිලිමත්විය යුතුය.


 

වැසිකිළියෙන් සහ නාන කාමරයෙන් ඔබට වැළඳිය හැකි රෝග

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page