top of page

ක්‍රීඩාවේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ දී එක් එක් කාර්යයන් සිදු කිරීම සඳහා ඕනෑම පුද්ගලයෙකුගේ ශක්තියක් තිබිය යුතු අතර එම කාර්යන් කිරීමේදී අනවශ්‍ය වෙහෙසකට පත් නොවිය යුතුය. මෙය කුඩා දරුවාගේ සිට මහලුවිය දක්වා ඕනෑම අයෙකුට පොදු කාරණයකි.

 

ඒ ඒ වයසට අදාළ කාර්යයන් කිරීමට ස්වාධීනව ඇති හැකියාව ඕනෑම පුද්ගලයකුට සහනයකි. මෙම නිසා කායික යෝග්‍යතාවය වර්ධනයේදී අනිවාර්යය අංගයක් ලෙස පේශිවල ශක්ති වර්ධනය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය සිදු කරයි. මේ සඳහා ප්‍රතිරෝධක ව්‍යායාම භාවිතා කරයි.

 

පේශියක් වර්ධනය වන ආකාරය

 

පේශියක් සෑදී ඇත්තේ පේශි තන්තු විශාල ප්‍රමාණයකිනි. එම පේශි තන්තු ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර පුද්ගල ජාන මත රඳා පවතී. එම නිසා ජීවිත කාලය පුරාම දක්නට ලැබෙන්නේ එකම පේශි තන්තු ප්‍රමාණයකි.

 

එම පේශි තන්තු ද වේගයෙන් සංකෝචනය වන (Fast Twitch Muscle Fiber) සහ සෙමින් සංකෝචනය වන (Slow Twitch Muscle Fiber) පේශි තන්තු ලෙස වර්ග දෙකකි. එම තන්තු ප්‍රමාණයන් ද ජානමය වශයෙන් තීරණය වේ.

 

වේගයෙන් සංකෝචනය වන තන්තු සහිත පේශි බහුලව ඇති පුද්ගලයන් වේගය සහ ජවයෙන් යුක්ත පුද්ගලයන් වේ. එමෙන්ම සෙමින් සංකෝචනය වන පේශි තන්තු සහිත පේශි ඇති පුද්ගලයන්ගේ දරා ගැනීමේ හැකියාව වැඩි අතර බොහෝ මැරතන් ධාවකයන්ගේ ඇත්තේ මෙවැනි පේශිය.

 

මෙම පේශි සියල්ලම ප්‍රෝටීන තන්තුවලින් සෑදි ඇති අතර ව්‍යායාම්වලින් පසු සිදුවන පේශි විශාල වීමේදී මෙම පේශිවල විශ්කම්භය වැඩි වේ. පේශි තන්තුවක් විශාල වීම සඳහා යම්කිසි ප්‍රමාණයක උත්තේජනයක් අවශ්‍ය අතර එම උත්තේජනය අනුව පේශි විශාල වීම සහ පේශිවල ශක්තිය වැඩි දියුණු වීම සිදු වේ.

 

කිසියම් උත්තේජනයක් නොලබන පේශියක් හෝ පේශි විශාලවීමට තරම් උත්තේජනයක් නොලබන පේශියක් ප්‍රමාණයෙන් කුඩා වීම් සිදු වේ. විශේෂයෙන්ම රෝගීව එක්තැන්ව සිටින පුද්ගලයන්ගේ පේශි මේ පේශියක් සංකෝචනය වන ආකාරයෙන් කුඩා වීමක් සිදු වේ.

 

පේශි සංකෝචනය වන ආකාරය

 

පේශි සංකෝචනය වීම ක්‍රම 3කට සිදු වේ. එනම් අයිසොමෙට්ට්‍රික් (Isometric) මෙහිදී පේශිය සංකෝචනය වන නමුත් පේශියේ දිග වෙනස් නොවී පවතී. උදා - අතේ බරක් එල්ලාගෙන යාම. අයිසොටොනික් (Isotonic) මෙහිදී සිදුවන පේශි සංකෝචනයේදී පේශිය තුළ ඇතිවන පීඩනය නොවෙනස්වන අතර පේශියේ දිග වෙනස් වේ. උදා - බරක් ඔසවා පපුව දෙසට ගෙන ඒම

 

අයිසොකයිනටික් (Isokinetic) මෙම වර්ගයේ පේශි සංකෝචනයකදී පේශි චලනය එකම වේගයකින් සිදු වේ. උදා - යන්ත්‍ර භාවිතයෙන් ව්‍යායාම කිරීම.

 

පේශි වර්ධනයේදී මෙම සංකෝචන වර්ග 3න් බහුලවම භාවිතා වන්නේ අයිසොටොනික් සහ අයිසොකයිනටික් යන ව්‍යායාම් වර්ග වේ.

 

ප්‍රතිරෝධක ව්‍යායාම තුළින් ලැබෙන ප්‍රයෝජන

 

ප්‍රතිරෝධක ව්‍යායාම කිරීමෙන් පේශිවල ප්‍රමාණය විශාලවන අතර පේශිවල ශක්තිය සහ දරාගැනීමේ හැකියාව ද වර්ධනය වේ. ප්‍රතිරෝධක ව්‍යායාම අස්ථි ශක්තිමත් කරන අතර අස්ථි ඛනිජ ලවන ඝනත්වය වැඩි කරයි. මෙම ව්‍යායාම මඟින් පේශි කණ්ඩරා, බන්ධනි සහ සන්ධිවල ශක්තිමත් භාවය වැඩි කරයි.

 

පේශිවල තැන්පත් වී ඇති ශක්තිය මෙම ව්‍යායාම මඟින් වැඩි කරයි. එමෙන්ම එම ව්‍යායාම සිදු කිරීමෙන් ශරීරයේ ඇති ලෙඩ රෝග බොහොමයක් අඩුවන අතර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුවීම, රුධිර පීඩනය අඩුවීම සහ රුධිරයේ ඇති සීනි පාලනය යන කරුණු වේ.

 

ප්‍රතිරෝධක ව්‍යායාම නිතිපතා කිරීමෙන් ශරිරයේ සංයුතිය වෙනස්වන අතර තැන්පත් මේදය දහනය වී පේශිවල බර වැඩි වේ. මෙමඟින් පුද්ගලයකුගේ බාහිර පෙනුම පෞර්ෂය මෙන්ම ආත්ම විශ්වාසය ද වර්ධනය වේ. විශේෂයෙන්ම තරුණ පිරිමි පුද්ගලයන් ප්‍රතිරෝධක ව්‍යායාමවලට නිරායාසයෙන් ඇදී යන්නේ මේ නිසාය. 

 

පේශිවල ශක්තිය සහ බලය වැඩි කිරීම ක්‍රීඩාවේදී මහෝපකාරී වන අතර ක්‍රීඩාවල දක්ෂතාවය වැඩි කිරීම මෙන්ම ආබාධ අඩු වීමට ද හේතුවක් විය හැකිය. කාන්තාවන්ට ද ප්‍රතිරෝධක ව්‍යායාම කිරීමෙන් පේශි වර්ධනය කරගත හැකි අතර බර පාලනය කිරීමට සහ බාහිර පෙනුම වර්ධනය කර ගැනීමට එය උපකාරී වේ.

 

සාමාන්‍යයෙන් වයස 30 පමණ වනවිට පුද්ගලයකු ව්‍යායාම මඟින් පේශි ශක්තිමත්ව පවත්වා නොගන්නේ නම්, පේශි දුර්වල වීමට සහ හීනවීමට පටන් ගනී. එම නිසා පුද්ගලයකුගේ කාර්යක්ෂමතාවය අඩු වීමට එය හේතුවකි. මෙම ස්වභාවික ක්‍රියාදාමය වෙනස් කළ හැක්කේ නිතිපතා ව්‍යායාම කිරීමෙන් පමණි.

 

දුමින්ද අලුත්ගෙදර

උපුටාගැනීම: ආරෝග්‍යා

පේශිවල ශක්තියත් දරාගැනීමේ හැකියාවත් වර්ධනය කෙරෙන ව්‍යායාම

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page