top of page

අප සියළුදෙනාම නිරෝගීව සහ සෞඛ්‍යමත්ව ජීවත්වීමට සතුටුය. මෙහිදී සෞඛ්‍යය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා තිබීම අවශ්‍යය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන පිළිගත් නිර්වචනය අනුව සෞඛ්‍යය යනු ලෙඩ රෝගයකින් හෝ ආබාධිත තත්ත්වයකින් නොපෙළී සිටීම පමණක් නොව කායික, මානසික සහ සමාජයීය වශයෙන් පූර්ණ යහපත් භාවයකින් යුක්තව සිටිමය.

මෙම නිර්වචනය විග්‍රහ කරන විට පෙනී යන වැදගත් කරුණක් නම් එහි පවත්නා ප්‍රධාන සාධක තුනයි. එනම් කායික, මානසික හා සමාජයීය යහපැවැත්ම වරින් වර උස් පහත් වීමට හැකියාව පවතින බවය. එසේ නම් ඒවා හැමවිටම කිසියම් සාධනීය මට්ටමක රඳවා තබා ගැනීමට නම් අප කළ යුත්තේ සෞඛ්‍යයට යහපත් වූ ජීවන රටාවකට හුරුවීමය.
ජීවන රටාව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

ඉංශ්‍රීසි භාෂාවෙන් “ලයිෆ්ස්ටයිල්ස්” ලෙස හඳුන්වන මෙය ජීවන ශෛලීය හා දිවි පෙවත ආදී විවිධ නම් වලින් ද හැඳින්වෙයි. මෙය තවදුරටත් විග්‍රහ කළහොත් ජීවන රටාව යනු අප ජීවත්වන ආකාරයයි. එයට අප, වෙසෙන නිවහනේ ස්වභාවය, කන - බොන ආකාරය, හුරු පුරුදු (දත් මැඳීම, ඇඟ සේදීම, නෑම සහ වැසිකිලි භාවිතය, සෙරෙප්පු පැළඳීම ආදී) අප යෙදෙන කාර්යයන් (ලිපිකරු, කම්කරු ආදී) ගමන් බිමන් යන අන්දම (වාහනයක, බස්රියක, බයිසිකලයක හෝ පා ගමනින් ආදී වශයෙන්) ක්‍රීඩා හා ව්‍යායාම්වල යෙදෙන කාලය, විනෝදාංශ, විවේකය ගත කරන ආකාරය මෙන්ම නිදන කාලවේලාව ආදී කරුණු කාරණා රාශියක් අන්තර්ගතය.

සමහර දිනවලදී සහ යම් අවස්ථාවලදී මෙම පිළිපැදීම් යම් වෙනස්කම් වලට ලක් වුවද පොදු වශයෙන් සම්මතයක් ලෙස ඒවා පවත්වා ගැනීම ජීවන රටාවේ අංග බවට පත් වෙයි.
ප්‍රධාන වශයෙන්ම ජීවන රටාව අංග කිහිපයකින් සමන්විත වෙයි.

සුදුසු ආහාර ප්‍රමාණවත් තරමින් ගැනීම
සෞඛ්‍යයට යහපත් ශරීරයේ උසට හා වයසට ගැලපෙන ශරීර බරක් පවත්වා ගැනීම
මේදය, ලුණු, සීනි අඩු ආහාර ගැනීමට හුරුවීම
සකී‍්‍රය ජීවිතයක් ගත කිරීම
දුම්පානයෙන් ඈත්වීම
මත්පැන් පානය සීමා කිරීම
ප්‍රමාණවත් නින්දක් ලැබීම
යහපත් මානසික තත්ත්වයන් උරුමකර ගැනීම ආදී අංග එහි මූලික වශයෙන් ඇතුළත්ය.


අපගේ ආදී නෑ හිතවතුන් මෙවැනි ජීවන රටාවකට හුරුව සිටි බවට සාධක පවතියි. එහෙත් කාර්මික විප්ලවයේ බලපෑමත් සමඟම වර්තමාන ජීවන රටාව සංකීර්ණ මෙන්ම ව්‍යාකූල වී ඇති බවක් ද පෙනේ. කෙසේ වෙතත් ජීවන රටාව ලක්ව ඇති මෙම වෙනස්කම් නිසා දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ ඇතුළු හෘද රෝග, පර්වද්‍රහය (ආර්තරයිටීස්), වකුගඩු රෝග, ආඝාතය, උග්‍ර පෙනහලු රෝග, සමහර පිළිකා රෝග ආදී බෝ නොවන රෝග ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල “වසංගත” මට්ටමින් පවතිනු දැකිය හැකිය.

පූර්ණ සෞඛ්‍යමත් ජීවිතයක් උරුම කරවන ජීවන රටාවක් හිමිකර ගැනීමට අප ගත යුතු පියවර අතර සක්‍රිය ජීවිතයක් ගත කිරීමට යොමු වීම ප්‍රධානය. ඒ නිසාම සකී‍්‍රයව හෙවත් ක්‍රියාකාරීව දිවිගෙවන නීරෝගී ජීවිතයක පදනම ලෙස සැලකෙයි.

සක්‍රිය ක්‍රියාකාරකම්හි යෙදීමේදී සියළු ගාත්‍රාවන්ට (අත් පා ආදියට) මෙන්ම සන්ධිවලට ද ව්‍යායාම ගෙනදෙන ක්‍රියාපිළිවෙත් තෝරාගන්න. අනවශ්‍ය ලෙස මුදල් වැයවන ව්‍යායාම වෙනුවට තමන්ගේ කැපවීම වැඩිවන ව්‍යායාම තෝරා ගන්න.

ව්‍යායාම සෙමෙන් අරඹා දරා සිටීමේ ශක්තිය නංවා ගන්න. බොහෝ දේ කෙටිකාලීනව ලබා ගැනීමට නොයන්න. කලක් අලසව සිට දැන් ව්‍යායාමයේ යෙදෙන්නේ නම් ක්‍රමයෙන් හෝ එයට අවතීර්ණ වීම යහපත් බව සලකන්න.

මෙම කරුණු ගැන සැලකිළිමත් වන්න.

දහදිය දමන ක්‍රියාකාරකම්වල යෙදෙන විට වැඩි වැඩියෙන් ජලය හා පාන වර්ග ගැනීම. (වෛද්‍යවරයෙකු එසේ නොකරන ලෙසට අවවාද දී නොමැති නම් පමණක්)


ඔබ නැමිය යුත්තේ ඉඟටියෙන් නොව උකුලෙන් බව මතක තබා ගැනීම. (කොන්ද කෙළින් තබා ගැනීමෙන් මෙය ඉටුකර ගත හැකිය)

ව්‍යායාමයට පෙර ඇවිදීම, අත් කරකැවීම හා බයිසිකල් පැදීම වැනි ඇඟ වෙහෙසීම්වල යෙදීම. (ඇදෙන ව්‍යායාම්වල යෙදීමට පෙර පේශීන් උණුසුම් කිරීම අවශ්‍යය)


ව්‍යායාමයෙන් පසු කිසියම් වෙහෙසකාරී නොරිස්සුම් බවක් ඇති විය හැකි වුවද ඔබට වේදනාවක් දැනීම නොවිය යුතුය.


ව්‍යායාමයෙන් හානියක් අනතුරක් සිදු නොවන බවට මෙන්ම අධික වෙහෙසට පත් වීමක් ද නොවිය යුතුය.

ව්‍යායාමවල යෙදීමෙන් පසු ගතට හිතට සැහැල්ලුවක් දැනිය යුතුය.

තුසිත මලලසේකර

නීරෝගීව ජීවත්වන්නට නම් Life Style එක සක්‍රීය කරගන්න

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page