top of page

අතමිට සරු කරගත හැකි ඉඟුරු වගාව

අතමිට සරු කරගත හැකි ඉඟුරු වගාව - අපේ වෙළඳපොළේ සුලබව දැකිය හැකි ඉඟුරු වර්ග දෙකක් තියෙනවා. ඒ දේශීය ඉඟුරු සහ චීන ඉඟුරු වශයෙන්. දේශීය ඉඟුරු ප්‍රමාණයෙන් කුඩායි. නමුත් එහි සුවඳ හා රසය වැඩියි. චීන ඉඟුරු මාංශ බහුල වුවත් රසින් හා සුවඳින් අඩුයි. ඈත අතීතයේ සිටම කුළුබඩුවක් ලෙසට හඳුනාගත් ඉඟුරුවලින් ප්‍රයෝජන රැසක් ගැනෙනවා. චීන ආහාර සැකසීමේ ක්‍රමයේදී ඉඟුරුවලට විශේෂ තැනක් හිමි වන අතරම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදීත් ඉඟුරුවලට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

 

අමුඉඟුරු ආහාර නිෂ්පාදනයේදී කුළුබඩු වශයෙන් කෑම රස කර ගැනීමට ඉවහල් වෙනවා. කෑමට සාදා ගත් අමුමිරිස් අච්චාරුවක, මිරිසට ඉවූ මාළු හොද්දක, එහෙමත් නැත්තම් පොළොස් ඇඹුලක රස සුවඳ ඔබටත් මතක් වේවි. ඉඟුරු දෝසි සෑදීම සදහා අමුඉඟුරු යොදා ගත්තත්, රසකැවිලි නිෂ්පාදනයේදී උපයෝගී කර ගන්නා ඉඟුරු කුඩු පිළියෙළ කර ගන්නේ වියළි ඉඟුරු ආශ්‍රයෙන්.

 

කන්න බෝගයක් වන ඉඟුරු සෙවණ ප්‍රිය කරන ශාකයක්. ඔබගේ ගෙවත්තේ පොල් වගාව සමග අතුරු බෝගයක් ලෙසත් ඉඟුරු වවන්න පුළුවන්. කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල වැනි ප්‍රදේශවල දැනටත් ඉඟුරු වගාව ව්‍යාප්තව පවතිනවා.මෙයට අපනයන කෘෂි බෝගයක් ලෙසට මෙන්ම දේශීයවත් හොඳ ඉල්ලුමක් ඇති නිසා එය ඔබගේ අතමිට සරු කරන කදිම මගක් වේවි.

 

කාබනික ද්‍රව්‍යවලින් පොහොසත් වැලි ලෝම පස ඉඟුරු වගාව සදහා වඩාත් සුදුසුයි. වගාව අරම්භ කල යුතු වන්නේ තෙත් කලාපයේදී නම් මාර්තු මැද සහ අප්‍රේල් මුල් සති කිහිපය තුළ එය කල යුතුව තිබෙනවා. ආර්ථික වගාවකදී නම් පේලි අතර පරතරය සෙ.මි 30ක් ද පැල අතර පරතරය සෙ.මි 25ක් ද විය යුතු අතර පාත්තියක පේළි හතරක් සිටුවිය යුතුය. ඉඟුරු අලයක් සිටුවිය යුත්තේ සෙ.මි 5 ක් පමණ ගැඹුරකින්. ඉඟුරු බහු වාර්ෂික බෝගයක් වුවත් සිටුවා මාස 8-10 අතරදී අස්වැන්න ලබාගත හැකිය. ඉඟුරු ශාකයේ වායව කඳ හෙවත් පොළොවෙන් ඉහළට ඇති කොටසේ පත්‍රවල කොළ පැහැති බව ඉවත් වී කහ පැහැයට හැරී වියළි යාම සිදු වන විට අස්වැන්න නෙළාගත හැකිය.

 

ඔබේ ගෙවත්තෙත් සෙවණ ඇති තැනක පුංචි ඉඩක් ඉඟුරු පඳුරු කිහිපයකට ලබා දෙන්න ඔබටත් හැකිවේවි. ඉවත දමන පොලිසැක් මල්ලක්, මල් පෝච්චියක් පරණ ටයරයක් මේ කුමක් වුවත් කාබනික පොහොර හා මතුපිට පස් මිශ්‍රණයකින් පුරවා ගත් කල ඉඟුරු අලයක් සිටුවා ගැනීමට සුදුසු බඳුනක් වේවි.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page