top of page

වසරකට විසි දහසකට මරු කැදවන දුම්වැටි

වසරකට විසි දහසකට වැඩි පිරිසක් මරණයට පත් කරන සහ ඊටත් වැඩි පිරිසක් රෝගීන් බවට පත් කරවන මෙන්ම දරුවන්ට පියවරුන් අහි කරවන දුම්වැටි සහ දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන පිළිබඳව මෙරට ජනතාව මීට වඩා දැනුවත් විය යුතුය.

 

මෙහිදී විශේෂයෙන්ම සිඟරට් පැකට්ටුවේ රූපමය අවවාද සහිත පින්තූර පළ කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත්තේ ඉන් සමාජයට වඩාත් විශ්වාසදායී පණිවුඩයක් සැපයිය හැකි බැවිණි.

 

නව යොවුන් වයසේ පසුවන දරුවන් වැඩි ප්‍රමාණයක් ඉතා ඉක්මනින් දුම්වැටි සඳහා ඇබ්බැහි වන්නේ ඔවුන්ට ඒ පිළිබඳව මනා වැටහීමක් නොමැති නිසාය. දැනට දුම්වැටි අඩංගු බහාලනයේ පෙන්වා දෙන අනතුරු හැඟවීමේ ක්‍රියා පිළිවෙත දුම්වැටිවලින් ජනතාව බේරා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

 

දුම්වැටි සහ දුම්කොළ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතය නිසා දිනකට මුඛ පිළිකාවෙන් පමණක් තුන්දෙනෙකු මිය යාම සිදු වෙයි. මේ තත්ත්වය ලංකාව වැනි රටකට ඉතාම හානිකරය.

 

සිඟරැට් පැකැට්ටුවේ රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මුද්‍රණය කරවීම සඳහා මහජනතාව මීට වඩා බලපෑමක් කළ යුත්තේ දුම්වැටි භාවිතා කරන පරිසරයක ජීවත් වීම ද බොහෝ පිළිකාවලට හේතුවන නිසයි. එය ඔබේ අයිතියක් බවද මතක තබාගත යුතුය.

 

කෙනෙකුට දුම්බීම නිසා ශාරීරික අපහසුතා (දුම්බීම රෝගී බවට හේතු වූ බව වෛද්‍යවරයකු විසින් සටහන් කළ පසු) ඇති වූයේ නම් ඊට නඩු පවරා අදාළ ආයතනයෙන් යම් වන්දියක් ලබා ගැනීමට වුවද අවස්ථාව පවතී.

 

සෑම සිඟරැට් පැකට්ටුවකම මෙන්ම සිඟරැට් ඇසුරුම් මත, දුම්කොළ නිෂ්පාදන භාවිතයෙන් ඇතිවන හානිය පැහැදිලි වන ආකාරයේ සෞඛ්‍යමය අවවාද සහිත රූපමය දැන්වීම් යෙදීම මඟින් සිඟරැට් භාවිතය අවම කර ගැනීමටත් සිඟරැට් භාවිතයේ ඇති අන්තරාකාරී බව වඩාත් පැහැදිලි කර ගැනීමටත් හැකිය.

 

විශේෂයෙන් කලු සුදු වර්ණ වෙනුවට වෙනත් වර්ණ සහිත රූප භාවිතයට ගැනීම තුළින් පණිවුඩය සාර්ථකව ජනතාවට ලබාදීමට හැකියාව පවතී.

 

දුම්වැටි භාවිතයේ බියකරු තත්ත්වය සහ දුම්වැටි භාවිතා කරන්නන් ඉන් මුදවා ගැනීමට පහසු වන ආකාරයට රූපමය සෞඛ්‍ය පණිවුඩ සිගරැට් පැකට්ටුවේ මුද්‍රණය කිරීම තුළින් සිඟරැට්ටුව මිලදී ගන්නා අය එයට ගිනි දල්වන්නට පෙර දෙවරක් සිතා බැලීමකට පත් කරවයි.

 

(ජීවක පදනම මඟින් පැවැත්වූ මාධ්‍ය හමුවක් ඇසුරිනි. )

 

- දුමින්ද සම්පත්

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page