top of page

මරණය ගෙන දෙන ජලභීතිකාව

ජලභීතිකාව යනු අනිවාර්යෙන්ම මරණය ගෙන දෙන රෝගයකි. (100%ක් මාරාන්තිකයි) රැබ්ඩො වෛරස ගණයට අයත් (Rhabdovirus) උණ්ඩයක හැඩැති වෛරසයක් මඟින් මෙම රෝගය හටගන්නා අතර වෛරසය ශරීරගත වනුයේ ආසාදිත සත්ත්වයකු සපා කෑමෙන්, සීරීමෙන් හෝ විවෘත තුවාලයක්/ශ්ලේෂ්මල පටලක් ලෙව කෑම මඟිනි.

 

වෛරසය සබන් වැනි ද්‍රව්‍ය, මද්‍යසාර හෝ අයඩින් දියර මඟින් අකර්මන්‍ය කළ හැකිය. ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා රෝගය ප්‍රධාන වශයෙන් සුනඛයන් මඟින් ව්‍යාප්ත වේ. 90 දශකයේ මුල් භාගයේදී 100 - 150 පමණ ජලභීතිකා මරණ අප රටේ වාර්තා වූ නමුත්, 2013 වසරේ මෙම මරණ සංඛ්‍යාව 28ක් දක්වා අඩුවීම අප ලත් විශාල ජයග්‍රහණයකි.

 

සායනික රෝග තත්ත්වය

 

වෛරසය ශරීරගතවීමේ සිට රෝග ලක්ෂණ මතුවීම දක්වා වූ කාලය (බීජෞෂණ සමය) ජලභීතිකා රෝගය සඳහා නිශ්චිතවම කිව නොහැකි අතර එම කාල පරාසය සතියකට අඩු කාලයක සිට අවුරුද්දකට වැඩි කාලයක් දක්වා දීර්ඝ විය හැක. කෙසේ වෙතත් බොහෝවිට එම කාලය මාස 1 සිට 3 දක්වා සීමා වේ.

 

සත්ත්ව සැපීම් තුවාල අත් පාවල තිබීමට වඩා මුහුණ හෝ හිස ප්‍රදේශයේ තිබේ නම්, රෝග ලක්ෂණ මතුවීමට ගනු ලබන්නේ කෙටි කාලයයි. තවද, වැඩිහිටියන්ට වඩා කුඩා ළමුන් සඳහා ද මෙම කාලපරාසය කෙටි වන අතර, එය එසේ වන්නේ ඔවුන්ගේ තුවාල බොහෝවිට හිස, මුහුණ, බෙල්ල ආදී ප්‍රදේශවල ඇතිවන නිසාය. ඉහත සඳහන් ස්ථානවල ඇති වන්නා වූ තුවාල මඟින් වෛරසය මොළයට ඇතුළුවීමේ හැකියාව වැඩි නිසා එම සපා කෑම් දරුණු සපා කෑම් ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

 

ජලභීතිකා රෝග තත්ත්වය ආකාර 2කට දැකිය හැක

 

වියරු හෝ ප්‍රචණ්ඩ පිස්සුව (Furious type) අධික ශාරීරික ක්‍රියාකාරීත්වයක් ඇති වන මෙම තත්ත්වය 80%ක් පමණ රෝගින් තුළ දැකිය හැක.

 

ආඝාත/ගොළු පිස්සුව (Para lytic or dumb type) ශරිරය පණ නැතිවීම 20%ක් පමණ රෝගීන් තුළ දැකිය හැක.

 

ජලභීතිකා රෝගයේ මූලික රෝග ලක්ෂණ වශයෙන් උණ ගතිය, මහන්සිය හා කම්මැලි බව ඇති වේ. මීට අමතරව සපා කෑ තුවාලය සම්පූර්ණයෙන්ම සුව වී තිබුණ ද රෝගීන් හට එම ස්ථානයේ වේදනාවක් හිරිවැටීමක් හා සපා කන ලද අත හෝ කකුලේ දුර්වලතාවයක් දැනෙනු ඇත.

 

රෝගය තවත් උත්සන්න වනවිට කලබලකාරී ගතියක්, ආලෝකයට දක්වන අකමැත්තක්, නපුරු සිහින පෙනීම හා නොයෙකුත් හැසිරීමේ වෙනස්වීම් යන රෝග ලක්ෂණ මතු වේ. රෝගීන් අතුරින් 17% -18% අතර පිරිසක් රෝගයට විශේෂයෙන්ම ආවේණිකව වූ ජලය සඳහා දක්වන බිය නැතහොත් “ජලභීතිකා” තත්ත්වය පෙන්නුම් කරයි.

 

ඉහත සඳහන් දෙවර්ගයේම රෝගීන් අවසානයේදී ශරීරය සම්පූර්ණයෙන් පණ නැතිවීම, සිහිසන් නැති තත්ත්වයට පත්වීම සහ මාංශ පේශීන්ගේ අක්‍රීයවීම නිසා ඇතිවන ස්වසන අපහසුතාවයෙන් රෝගියා අනිවාර්යෙන්ම මරණයට පත් වේ. මෙය මුල් රෝග ලක්ෂණ ඇති වී දින 10 -14 ඇතුළත සිදුවන්නකි.

 

ජලභීතිකා රෝග සනාථ කිරීම

 

ලංකාවේ ජලභීතිකා රෝග නිශ්චය සඳහා වූ ප්‍රධානතම ආයතනය ලෙස සලකනු ලබන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයයි. මීට අමතරව මේ සඳහා දකුණු පළාතේ කරාපිටිය ශික්ෂණ රෝහලේත්, මධ්‍යම පළාතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලීය පශු වෛද්‍ය අංශයේත් විශේෂ රසායනාගාර දෙකක් ස්ථාපිත කර ඇත.

 

පහත සඳහන් සතුන් ලංකාව තුළ ජලභීතිකා රෝගය ව්‍යාප්තියට හේතුවන බව පරීක්ෂණ මඟින් තහවුරු කර ඇත. සුනඛයින්, බළලුන්, හරකුන්, එළුවන්, මුගටියන්, හෝතඹුවන්, උගුඩුවන්, ඌරු මීයන්, වඳුරන්, අශ්වයන්, දඬු ලේනුන්, නරියන්, උරුලෑවන් හා අලියන් මේ අතර වේ. ගෘහාශි‍්‍රතව වසන මීයන් විසින් ශී‍්‍ර ලංකාවේ මෙම රෝගය ව්‍යාප්ත වන බවට මෙතෙක් සනාථ වී නැත.

 

වෛද්‍ය පර්යේෂණ ආයතනය දවසේ පැය 24 පුරාම පරීක්ෂණ සාම්පල භාර ගැනීම සඳහා විවෘතව ඇත. රෝගය වැළඳී ඇතැයි සැක කරන සත්ත්වයා මිය යාමෙන් පැය 6 -8 අතර කාලය තුළ හිස කොටස දියර කාන්දු නොවන භාජනයක දමා පරීක්ෂණ සඳහා ගෙනවිත් භාරදිය යුතු අතර මෙම කොටස් පරිහරණයේදී හා හිස කපා වෙන් කිරීමේදී අත් ආවරණ පැළඳීම වැනි ආරක්ෂක ක්‍රම භාවිතය කළ යුතුය. පරීක්ෂණ කොටස් භාරදීමට පැය 8 කට වඩා කාලයක් ගත වේ නම් කුණුවීම වැළැක්වීම සඳහා එය අයිස්වල අසුරා ප්‍රවාහනය කළ යුතුය.

 

පහත තොරතුරු ඔබ එම පරීක්ෂණ කොටස් භාරදීමේදී වෛද්‍ය පර්යේෂණායතනය වෙත ලබාදිය යුතු වේ. සත්ත්වයාගේ වර්ගය, ගෙදරක ඇති කරන ලද/අත් හරින ලද/ අයාලේ යන/ වන සත්ත්වයකු යන වග, සත්ත්වයාගේ භාරකරුගේ හෝ පරීක්ෂණ කොටස් භාර දෙන්නාගේ නම, දුරකථන අංකය, ලිපිනය, සත්ත්වයා හඳුනාගත හැකි විශේෂ සලකුණු/වර්ණය, සත්ත්වයාගේ එන්නත් වාර්තාව, සත්ත්වයා මරා දැමුවා ද නැතහොත් මිය ගියාද යන වග මේ තොරතුරු අතර වේ.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page