
අලි විදුලි වැටට විකල්පයක් - ගජ මදාරා
කැලෑවට මායිම් වූ ගම්මාන වල මිනිසුන් වල් අලින්ගෙන් අනේක දුක් ගැහැට විඳින රටක අලින් ඈත් කර තබන ගසක් පිළිබඳව සහ අපේ පාරම්පරික ඥානය වර්තමාන ගැටලුවකට ඉදිරිපත් කරන විසඳුම පිළිබඳව ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
මා ආයුර්වේද කොමසාරිස් ලෙසින් සේවය කරන කාලයේදී අම්පාරේ පාරම්පරික වෛද්‍යවරුන් හා දේශීය වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අම්පාරට ගිය අතර, මේ ලියාපදිංචියට විශාල දේශීය වෛද්‍යවරු පිරිසක් පැමිණ සිටියා. මේ වෛද්‍යවරු අතරින් එක් වියපත් වෛද්‍යවරයෙක් කොණ්ඩය බැඳලා හැරමිටියක් අතේ තියාගෙන ආවා. මේ වෛද්‍යවරයා ගැන මගේ අවධානය යොමු වුනා. වියපත් වුනත් එතුමාගේ ළඟ තිබුනේ ප්‍රතාපවත් පෙනුමක්. ඒ වෛද්‍යවරයා තමයි දාවිත් අප්පුහාමි. මේ වෛද්‍යවරයාගේ හැසිරීම, කතාබහ, මගේ සිත් ගත්තා. ඒ මහත්තයාට දේශීය වෛද්‍ය ක්‍ෂේත්‍රය පිලිබඳ දැඩි උනන්දුවක් තියෙනව බව මට වැටහුනා. මේ මහත්තයා එයාගේ ඔසු උයන බලන්න යන්න අපට අරාධනා කළා.ඒ මහත්තයා වවලා තියෙන ඔසු උයන දැක්කහම කාගේ වුනත් හදවත පිරිලා යනවා. කැලෑවක් මැදින් යන්න තියෙන දුෂ්කරතා හැරුනම වෙන දෙයක් නැහැ. ඒ පළාතේ හරිම භයානක විදිහට අලි ප්‍රශ්නය තිබුණා. මං ඇහුවා ඔබ තුමාට මේ අලි ප්‍රශ්නයෙන් කරදරයක් නැද්ද කියලා.ඒ මහත්තයා හිනා වුනා. මට ඒකෙන් තේරුනේ ඒ මහත්තයාට අලි ප්‍රශ්නය ප්‍රශ්නයක් නොවන බවයි. ඒ මහත්තයා අතේ තිබුණ හැරමිටිය මට පෙන්නුවා. එකපාරටම මගෙන් ඇහුවා මේ මොකද්ද කියලා. මං කිව්වා හැරමිටියක් කියලා.
ඒ හැරමිටිය මොන ලී වලින්ද හදලා තිබුණේ? අන්න ඒක තමයි වැදගත්. මේ තියෙන්නේ "ගජ මදාරා" හැරමිටියක් කියලා කිව්වා. ගජ මදාරා කියන්නේ ගස් විශේෂයක්. මේ ගස් වලට අලි බයයිලු. ඒ මහත්තයාගේ ඔසු උයනෙත් ගජ මදාරා ගස් වවලා තිබුණා. ගජ මදාරා මල හරිම ලස්සන මලක්. මේ ගස් තියෙන පැත්ත පළාතක අලි එන්නේ නැහැ කියලත් ඒ වෛද්‍යවරයා කිව්වා. ඒ ඔසු උයනට නම් අලින්ගෙන් හානියක් තිබුණ බව පෙනෙන්නට තිබුණේ නැහැ.
ගජ මදාරා ගස් වල තියෙන විශේෂතත්වය නම්, අලින් වගේම මේ ගස තියෙන අහලකටවත් කුරුල්ලන් සර්පයන් එන්නේ නැහැ. ගජ මදාරා ගස් වල පංගුව සර්ප විෂ සඳහාත් යොදා ගන්නවා.කැලෑවක් මැදින් යන වෙලාවක ගජ මදාරා බස්තම ඒ මහත්තයා අරන් ගිහිල්ල තියෙනවා. එතකොට අලි පැත්ත පළාතක ඇවිල්ලා නැහැ.
ඒ කාලේ අලි මිනිස් ගැටුම් ප්‍රබලව තිබුණේ නැහැ. දැන් කැලෑ එළිවෙලා. අලි ගම වදින්න පටන් අරන්. මේ නිසා අලිත් විනාශ වෙනවා. මිනිස්සුන්ගේ ජීවිත වලටත් හානිවෙනවා. අලි ඒම වලක්වන්න විදුලි වැටවල් හදන්න විශාල මුදලක් වැයවෙනවා. මේක මහා අපරාදයක්. මේ අපරාදය අපට ගජ මදාරා ගස් නිසා වළක්වාගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාව පිලිබඳ හසළ දැනුමක් ඇති මහාචාර්ය එච්.එම්.ඩී. හේරත් මහත්තයා එක්ක මං සාකච්ඡා කළා. අපේ මුතුන් මිත්තන්ට සතුන් පිලිබඳ ජන විඥානයක් තිබුණු බවත්, එය වර්තමානය සඳහාද යොදාගත හැකි බවත් මහාචාර්ය තුමා පැවැසුවා. ඇත්තටම අලි ඉන්න පළාත් වල ජනතාවට මේ පිලිබඳව නැවතත් මතක් කරලා, ඔවුන් ගජ මදාරා වවන්න උනන්දු කරන්න පුළුවන්නම්...
වියළි කලාපයේ මේ පැලය වඩාත් හොඳට වැවෙනවා දකින්න ලැබෙනවා. මේ වගේ ව්‍යාපෘතියක් හඳුන්වලා දෙනවා නම් මේ අලි මිනිස් ගැටුමට පිළියමක් කියලා මට හිතෙනවා. ඇත්තටම වගකීමක් ඇති පිරිස් හා සංවිධානත් මේ පිළිබඳ උනන්දු වෙනවා නම් ලොකු සේවයක්.
- ආචාර්ය ගාමිණී කාරියවසම්