
යොවුන් - දූ පුතුන් හා දෙමාපියන් අතර ඇයි මේ තරම් ගැටුම්?
යොවුන් දූ පුතුන් හා දෙමාපියන් අතර ගැටුම් - සිත් නොහොඳකම් ඇති වීම් අද ඉතා සුලබය. මේවා බොහොමයක් කාලයත් සමඟ විසඳී යන නමුත් අවාසනාවන්ත සිද්ධීන් දෙසට යොමුවන අවස්ථා ද විරල නොවේ. දෙමාපියන් හා ගෙවල් දොරවල් අත් හැරදමා පළායාම මෙන්ම තම ජීවිතවලට හානි කර ගැනීමට යෞවන යෞවනියන් පෙළඹීම දැකිය හැකිය.
යෞවනය වනාහි දඟකාර, හිතුවක්කාර, ආවේගශීලී හා කලබලකාරී ගති ලක්ෂණ මෙන්ම ඉක්මනින් චංචල වන සිතකින්ද යුක්ත වන සමයක් බව අමතක නොකළ යුතු වන්නේ දෙමාපියන්, පමණක් නොව ගුරුවරුන් හා වැඩිහිටියන් ඇතුළු යෞවන - යෞවනියන් පිළිබඳ උනන්දුවක් දක්වන සියළු දෙනාටය.
යෞවන - යෞවනියන් හා ගැටුම් ඇති කර ගැනීමට නොව ඔවුන් සමඟ සුහදව ගැටලු බේරා ගැනීමට ක්‍රියාකිරීම යහපත්ය. මෙහිදී දෙමාපියන් මනා අවබෝධයකින් මෙන්ම ඉවසීමෙන් ද කටයුතු කළ යුත්තේ පහත සඳහන් කරුණු පදනම් කරගෙනය.
ඔබ යොවුන් දුවක හෝ පුතෙකු හෝ සිටින මවක් හෝ පියෙක් නම් පහත දැක්වෙන කරුණු ගැන සිහියෙන් කටයුතු කරන්න.
යොවුන් දූ පුතුන් අතර ගැටලු සිත් රිදීම්, ප්‍රශ්න, අපේක්ෂාවෙන් සිටින්න. මෙය ඔබට පමණක් නොව, එම වයසේ දූ පුතුන් සිටින බොහෝ දෙමවුපියන් ද ඔබ මෙන්ම මෙවැනි තත්ත්වයන්ට මැදිව සිටින බව ඔවුන් සමඟ කතාබහ කළහොත් දැන ගැනීමට ලැබේවි. මෙවැනි කතාබහ තුළින් ඔබට ගැටලු සමනය කර ගැනීම සඳහා වන නව මං පෙත් විවර වීමට ද පුළුවන. සමහරවිට සාමූහිික පියවර සාර්ථක කර ගැනීමේ අවස්ථා ද ඔබට උදාවිය හැකිය.
යෞවන - යෞවනියන්ගේ ලෝකය තුළට ඔබද ඇතුළුවන්න. ඔවුන් කියවීමට කැමති පත පොත ඔබ ද කියවන්න. රූපවාහිනී වැඩසටහන් ඔබ ද නරඹන්න. ඔවුන් සමඟ ගුවන් විදුලි සේවාවන්ට විශේෂයෙන් එෆ්.එම්. සේවාවන්ට සවන් දෙන්න.
ආහාර පිසීමේදී හෝ පිටතින් ලබා ගැනීමේදී හෝ ඔවුන් කැමති ආහාර ලබා ගැනීමට යොමුවන්න. සෞඛ්‍ය හේතුන් මත හෝ වෙනත් හේතු මත හෝ එවැනි ආහාර ගැනීමට ඔබ අසතුටු නම් දරුවන්ට ඔවුන් කැමති ආහාර සපයා, ඔබට වෙනත් ආහාර ගැනීමට කළ හැකිය.
යෞවන - යෞවනියන් හා කටයුතු කිරීමේදී ආධිපත්‍යය පැතිරවීමට, ඔවුන්ව අතේ දුරින් තැබීමට කටයුතු නොකරන්න. ඔවුන් ඔබගේ ළමයින් වුවද මේ වනවිට එම ඇසුර, “මිතුරු” ඇසුරක් බවට පත්ව තිබිය යුතුය. ඕනෑම සිද්ධියක්, කරුණක් සම්බන්ධව ඔබගේ මතය පළ කරන විට ඔවුන්ගේ මතය ද විමසන්න. එයට සවන් දෙන්න. අනතුරක් කරදරයක් නැතිනම් ඔබගේ අදහස, මතය පසෙකලා ළමයින්ගේ අදහස තෝරා ගන්න.
ඔබ සිතන සාධාරණ මතය කරුණු සහිතව ඉදිරිපත් කරන්න. එහෙත් එය පිළිගැනීමට හෝ ඒ අනුව කටයුතු කිරීමට හෝ බල නොකරන්න.
වයසින් මුහුකුරා යමින් සිටින යෞවනයන් තුළ නව්‍ය අදහස් පැවතිය හැකිය. ඔබගේ යල්පීනූ අදහස්වලට වඩා ඔවුන්ගේ මත ප්‍රායෝගික හා සාර්ථක බව ඔබටම හැඟෙනු ඇත. එසේම හේතු යුක්ති සහගත බව පදනම්ව ඉක්මනින් සාර්ථක පිළිතුරක් දීමට ඔවූහු සමත් විය හැකිය.
යෞවන - යෞනියන් හා ඔබ අතර විශ්වාසය ජනිත වෙත්ම ඔවූහු ද තම අදහස් මත හා යෝජනා පිළිබඳව ඔබගේ ද අදහස් විමසනු ඇත. ඔබගේ උපදෙස් පැතීමට ද ඉදිරිපත් වනු ඇත.
වරදක් හෝ ඔබ අසතුටු දෙයක් හෝ කළ පළියටම යෞවන යෞවනියන්ට කෑකෝ ගසන්නට, බැන වදින්නට, තරවටු කරන්නට හෝ දඬුවම් කරන්නට හෝ නොයන්න. විශේෂයෙන්ම ඔවුන්ව ලැජ්ජාවට පත්වන සේ කටයුතු නොකරන්න. දරුවන් කළ වරද අන්‍යයන් ඉදිරියේ නොපැවසීම ඉතා වැදගත්ය.
නිවිසැනසිල්ලේ හා සාවධාන ලෙස ඔවුන් කළ වරද ඔවුන්ට පහදා දෙන්න. ඔවුන්ගෙන් ඔබ අපේක්ෂා කරන දෙය පැහැදිලිව ඔවුනට පවසන්න. ඔවුන් නඟන ප්‍රශ්නවලට, ඔවුන් එකඟ නොවන අවස්ථාවන්ට ඉවසීමෙන් යුතුව මුහුණ දෙන්න.
ඔබ ගත කළ යොවුන් විය ගැනත් සිතන්න. බොහෝ වරද ඔබද සිදුකළ බව සිහිපත් කරන්න. ඕනෑම සිද්ධියකදී ගත හැකි සුදුසුම පියවර සවන් දීමය. යෞවන යෞවනියන් උද්වේගකාරී ලෙස හැසිරුන ද ඔබ ඉවසීමෙන් සවන් දීම තුළින් ඔවුන්ගේ ආවේගය මැඩලිය හැකි බව සිතට ගන්න.
යෞවන - යෞවනියන් තම සිත තුළ ඇති සියළු දේ එකවරම එකදිගට වමාරනු ඇතැයි නොසිතන්න. සමහරවිට කිසියම් දෙයක් තවදුරටත් වසන් කර තම සිත තුළ රඳවා ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය හැකිය.
යෞවන-යෞවනියන්ගේ පෞද්ගලිකතාවයට ගෞරව කරන්න. ඔවුන්ගේ විද්‍යුත් තැපැල් කෙටි පණිවුඩ, හසුන්පත් ඔවුන්ගේ මුදල් පසුම්බිය, අත් බෑගය, ලාච්චුව හාර අවුස්සා වැරදි සෙවීමට නොයන්න.
එසේ කිරීමෙන් ඔබ තුළ ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොමැති බවට හැඟීමක් ඇතිවිය හැකිය. එහෙත් බරපතලම වරදක් කරදරයක් ඇති වූ විටකදී මෙවැනි පියවර ගැනීම වදරක් ලෙස නොසැලකිය හැකි බවත් මතක තබා ගන්න.
දෙමාපියන් රහස් පරීක්ෂකයන් නොවිය යුතුය. නිවෙස තුළ පැවතිය යුත්තේ විවෘත හා අවෘත වාතාවරණයකි.
දෙමාපියන් දරුවන් කුඩා කාලයේ සිටම ළමයින් සමඟ සුහද මිතුරු අවශ්‍යතා මෙන්ම විවෘත සංවාද පවත්වන්නේ නම් යෞවන වයසේදී ඇතිවන බොහෝ සිත් රිදීම වැළැක්විය හැකිය. එසේම දෙමාපියන් දුශ්චරිතයෙන් තොර, සාමකාමී ආදර්ශමත් ජිවිත ගත කිරීම තරම් යෞවන ජීවිතයට මඟ පෙන්වන වෙනත් යමක් නොමැති බව වටහා ගන්න.
තුසිත මලලසේකර
උපුටනය: ආරෝග්‍යා