top of page

ඩෙංගු  උවදුර  වලක්වා ගැනීමට කලයුතු උපදෙස්

 

මේ දිනවල වසංගතයක් ලෙස පැතිර යන ඩෙංගු මෝසම් වර්ෂාවත් සමඟ හිස ඔසවන ඩෙංගු මෙවර කරළියට පැමිණ සිටින්නේ වසංගතයක් ලෙසය. 

 

ඩෙංගු රෝගීන් වැඩිපුරම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එසේම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝගීන් බොහෝමයක් වාර්තා වී ඇත. එකවරම වසංගත තත්ත්වයක් බවට පත් වී ඇති “ඩෙංගු” වැළඳුන රෝගීන් සංඛ්‍යාව සහ මියගිය සංඛ්‍යාව පසුගිය වසරට වඩා වැඩි වී ඇති බව සංඛ්‍යා ලේඛන පවසයි.

 

ලෝකයේ කිසිම රටක මෙතෙක් ඩෙංගු සදහටම තුරන් කර නොමැති අතර දැඩි ලෙස පාලනය කිරීමෙන් රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට තිබෙන ඉඩකඩ බොහෝය. එසේම අස්සක් මුල්ලක් නෑර දැඩි පරීක්ෂාවට ලක් කොට ඩෙංගු මදුරුවා විනාශ කිරීමට සෞඛ්‍ය බලධාරින්ගේ ද නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක  මහත්වරුන්ගේ ද ඔබගේ ද දැඩි උත්සාහය මත ඩෙංගු තවාන් විනාශ කිරීමෙන් සාර්ථක ලෙස පාලනය කිරීමට හැකිවනු ඇත. රූපවාහිනී තිරයට, පුවත්පත්වලට, පා ගමන්වලට සීමා නොකොට මදුරුවා විනාශ කිරීමට පියවර ගැනීම යුගයේ අවශ්‍යතාවයකි.

 

සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා දෂ්ඨ කරන්නේ උදේ කාලයේ සහ ඉර අවරට යන සවස් යාමයේදීය. එබැවින් ඒ පිළිබඳව අවදියෙන් සිටිමින් මදුරු ආලේපන, මදුරු කොයිල්, මදුරු දැල්, මදුරු බැට් ආදිය පාවිච්චි කිරීමෙන් මදුරු දෂ්ඨනය වළක්වා ගත හැක.

 

එසේම නිවස ආශි‍්‍රත පරිසරය පිරිසිදුව තබා ගැනීමත් අපද්‍රව්‍ය වලලා දැමීමත්, ජලය රැදෙන ස්ථාන පස්වලින් වසා දැමීමත් සිදු කළහොත් ඩෙංගු මදුරුවාට බිත්තර දැමීමට සුදුසු පරිසරය ඔබ විසින් විනාශ කරන බැවින් ඩෙංගු මදුරු ව්‍යාප්තිය අවම කළ හැකිය.

 

ඩෙංගු මදුරු බිත්තර විනාශ නොවී කාලාන්තරයක් පවතින අතර දැඩි නියඟයට පවා ඔරොත්තු දෙන ලෙස සකස් වී ඇත. එබැවින් මදුරු බිත්තර මාස ගණන් නිරුපද්‍රිතව පවතී. සුළු වැස්සකදී පවා පුපුරා කීටයන් ඇති වේ.

 

Aedes aegypti නැමති මදුරුවා දෂ්ඨ කිරීමෙන් ඩෙංගු වෛරසය සිරුරට ඇතුල් වේ. මෙම වෛරසය වර්ග 4කින් යුක්තය. එක් වර්ගයක් වැළඳුණු කෙනෙකුට නැවත එම වර්ගය වැළඳෙන්නේ නැත. හේතුව එම වෛරස් වර්ගය හරහා ප්‍රතිශක්තිය සිරුර තුළ ගොඩ නැඟෙන බැවිණි. නමුත් වෙනත් ඩෙංගු වෛරස් වර්ගයක් වැළඳුණු විට තත්ත්වය බරපතළ වීමට ඉඩ ඇත.

 

ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණ

 

තදින් උණ ඇතිවීම (ෆැරන්හයිඩ් අංශක 102 ,103,104 මේ උණ ගැනීම ඇතිවන්නේ ක්ෂණිකවය. එය දින කිහිපයක් පවතී.

 

ඇතැම්විට දින කිහිපයක් තුළ උණ තදින් පවතින අතර පසුව සුව වී නැවත උණ මතු වීමට ඉඩ ඇත.

 

උණ සමඟ දැඩි ලෙස හිසරදය, ඇස් යට වේදනාව, මස්පිඬු හන්දිපත්, ඇටකටුවල තදබල වේදනාව, සම රතු පැහැ ගැන්වීම, Rash (පලු) හට ගැනීම.

 

සිරුරේ තැනින් තැන ලේ ගැලීමට ලක්වීම. මේ සමඟ වමනය දිවට රස නොදැනීම, ආහාර අරුචිය, ඩෙංගු රෝග ලක්ෂණ බොහෝවිට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. (වමනය සමඟ ලේ යෑම, දත්මුල් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, මුත්‍රා සහ මලපහ සමඟ ලේ පිටවීම.)

 

මීට අමතරව උගුරේ ආසාදන , තදබල කැස්ස, පාචනය ආදී රෝග නිසා තද උණ ඇතිවිය හැකියි. මෙවැනි ආසාදන තත්ත්වයේ දී ඩෙංගු උණ ඇති නොවන බව බොහෝ දෙනා සිතති. නමුත් මෙවැනි ආසාදන වලින් පෙළෙන අයට ද ඩෙංගු තිබිය හැකිය. එබැවින් මෙම රෝග ලක්ෂණ තිබේ නම් මෙම වකවානුවේ ඩෙංගු බහුලව පවතින බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගෙන ඩෙංගු සඳහා රුධිර පරීක්ෂණ අනිවාර්යෙන්ම කළ යුතුය.

 

ඩෙංගු රෝගය ප්‍රධාන වශයෙන් ආකාර තුනකින් යුක්ත වේ.

 

සාමාන්‍ය ඩෙංගු උණ DF තත්ත්වය

 

ඇතැම්විට තමාට හට ගත්තේ ඩෙංගු උණ දැයි රෝගියා නොදන්නා තරමින් රෝග ලක්ෂණ නොමැතිව රෝගය සුව වී යයි.

 

ඩෙංගු රක්තපාත DHF තත්ත්වය

 

ඩෙංගු රෝගීන්ගෙන් ඇතැමෙකු “ඩෙංගු” රක්තපාත තත්ත්වයට පත් වේ. ඩෙංගු රක්තපාත තත්ත්වය හරිහැටි ප්‍රතිකාර නොලැබීමෙන් ඩෙංගු කම්පන තත්ත්වය දක්වා රෝගය උත්සන්න වේ.

 

ඩෙංගු කම්පන DSS තත්ත්වය

 

රෝගීයාගේ රුධිරයේ ඇති රුධිර ප්ලාස්මාව රුධිර කේශ නාළිකා ඔස්සේ උරස් කුහරයට සහ උදර කුහරයට තාවකාලීකව කාන්දුවන අවස්ථාවයි. මෙය කම්පන තත්ත්වය ලෙස හැඳින්වේ.

 

මේ තත්ත්වය හරිහැටි පාලනය නොකිරීමෙන් සහ හරියාකාර ප්‍රතිකාර නොකිරීමෙන් රෝගය උත්සන්න වී රෝගියා ඇතැම්විට මරණයට පවා පත්විය හැකියි. එබැවින් මෙම තත්ත්වයේ රෝගීන් දැඩිව නිරීක්ෂණය කරමින් ප්‍රතිකාර කිරීම අතිශයින්ම වැදගත්ය.

 

ඩෙංගු වැළඳුන මුල් සමයේ DF තත්ත්වය සහ DHF තත්ත්වය වෙන්කර හඳුනාගැනීම අපහසු වුවත්. හඳුනා ගැනීමෙන් පසු ප්‍රතිකාර කිරීම පහසු වේ. ඕනෑම පුද්ගලයෙකුට උණ වැළඳී දින 3කට පසු රුධිර පරීක්ෂණය කර ගැනීම අත්‍යවශ්‍යය. මෙම පරික්ෂණය හඳුන්වන්නෙ FBC ලෙසය.

 

ඩෙංගු රෝගීන්ගේ රුධිරය වෙනස් වීමට ආරම්භ වන්නේ දින 3කට පසුව බැවින් FBC පරීක්ෂණයෙන් ලැබෙන දත්තයන් රෝගය නීරීක්ෂණයට අතිශයින් වැදගත් වේ. මෙම රුධිර පරීක්ෂණයෙන් රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු සහ රුධිරයේ ඝනත්වය PCV පිළිබඳ නිසි වාර්තාවක් ලැබේ.

 

DF සහ DHF තත්ත්ව දෙකෙහිම සුදු රුධිරාණු අඩුවීම සහ රුධිර පට්ටිකා අඩුවීම බොහෝවිට සිදු වේ. මෙම තත්ත්ව දෙකේ වෙනස වන්නේ ඩෙංගු රක්තපාත තත්ත්වයෙදී (DHF) PCV අගය අනිවාර්යෙන්ම වැඩි වීමයි. ඩෙංගු උණ අනෙකුත් උණ රෝගවලින් වෙන්කර හඳුනාගැනීමට ඩෙංගු Ns 1 antigen  පරීක්ෂණය සිදු කළ යුතුය.

 

මෙය සිදු කළ යුත්තේ උණ ඇති වී දින 2 -3 ඇතුළතය. දින 3කට පසුව මෙම පරීක්ෂණය කිරීමෙන් පළක් නොවන්නේ නියම දත්තයන් ලබාගත නොහැකි බැවිණි. උණ හටගත් මුල් දින දෙක තුන තුළ ඩෙංගු Ns 1 antigen  පරීක්ෂණය සිදුකර ප්‍රතිඵල ලෙස ඩෙංගු නොවේ යන්න ලැබුණ ද එම දත්තයන් මත රැඳී නොසිට උණ පහවී යනතුරු රෝගියා පිළිබඳ සැලකිලිමත් වන්න.

 

ඩෙංගු රෝගය නිසා රුධිර පට්ටිකා අවම වේ. ඇතැමුන් විසින් රුධිර පට්ටිකා වැඩි කර ගැනීමට පැපොල් දඬු යුෂ ආදිය ලබා දේ. මේ පානයන් නිසා ඇතැම් විට රුධිර පට්ටිකා වැඩි වූවද රෝගයේ බරපතලකම එයින් අඩු නොවේ. කෘතිම ලෙස මෙවැනි දේ ලබා දීමෙන් රෝගය සුව වී ඇතැයි වැරදි වැටහීමක් ලබා දී අවසානයේදී භයානක ප්‍රතිඵල ගෙන ඒමට ද මේවා හේතු සාධක විය හැකිය.

 

දින 2කට වඩා උණ පවතී නම් ළඟම ඇති රෝහලකින් ප්‍රතිකාර ගැනීම අතිශයින් වැදගත්ය. උණ වැඩි වූ විට පැරසිටමෝල් නිසි මාත්‍රාව ලබා දිය යුතු අතර කිසිවිටක අධෝමුඛයෙන් ඇතුල් කරන සපෝසිටරීස් යොදා උණ බැස්සවීමට උත්සාහ නොකරන්න.

 

Ibuprofen - Diclofenac වැනි ඖෂධ ලබාදී උණ අඩු කිරීමට යාම කිසිසේත් සුදුසු නැත. ඒවා භාවිතයෙන් උණ අඩු වූවද ඇතැම්විට රෝගියාට ඩෙංගු රක්තපාත තත්ත්වය ඇති වුවහොත් එය දරුණු කම්පන තත්ත්වය දක්වා වර්ධනය වීමට ඉඩ ඇත.

 

එබැවින් උණ වැඩි වූ විට උණු ජලය තුවායකින් තෙමා රස්නය පිටින් ශරීරය පිස දමන්න. එවිට ශරීරයේ ඇති රුධිර නාල ප්‍රසාරණය වී ශරීරයෙන් හොඳින් තාපය පිට වේ. හැකිතාක් රෝගියාගේ උණ පහව යාමට මෙලෙස කටයුතු කරන්න.

 

කිහිලි ඉකිලි වැනි ප්‍රදේශ ජලයෙන් පිස දමන්න. රෝගියාගේ ඇඳුම් හැකිතාක් නිරාවරණය කර රෝගියා විදුලි පංකා යට තැබීමද වඩාත් යෝග්‍යය. සමහර විට පැරසිටමෝල් මාත්‍රාවට උණ අඩු නොවුණ ද වෙන කිසිම ඖෂධයක් ලබාදීම කිසිවිටක නොකළ යුතුයි.

 

මේ දිනවල ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඕනෑම පුද්ගලයෙකුට උණ වැළඳුණු විට වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යය වන අතර රුධිර පරීක්ෂණය කිරීම ද අත්‍යවශ්‍යය වේ.

 

සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ පැවති දේශනයක් ඇසුරිනි

දීප්ති ෆොන්සේකා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page