top of page

ශරීරය මහත් වීම හොඳ දෙයක් ද?

සමාජයේ බහුලව පවතින මතය වන්නේ මහත්වීම හොඳ දෙයක්. කෙට්ටු වීම නරක දෙයක් ලෙසයි. නමුත් එය වැරදි මතයකි. ස්ථුලතාව නිසා ශරිරයේ හැඩය ප්‍රධාන වශයෙන් යම් වෙනසට ලක් වේ. නමුත් ඉන් එහා ගිය වෛද්‍ය විද්‍යාත්මක බලපෑමක් මීට ඇති වේ.

 

මෙම ස්ථුලතාව ශරීරයේ සෑම ඉන්ද්‍රියයකටම පාහේ බලපෑම් ඇති කරවිය හැකිය. උදාහරණ ලෙස පෙනහලුවල හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ගෙරවීම නිසා ඇතිවන රෝගී තත්ත්ව හා අක්මාව තුළ තෙල් තැම්පත් වීමේ රෝගී තත්ත්ව පිළිබඳ පැහැදිලි කළ හැකියි.

 

ලංකාව තුළ කාන්තාවන්ගෙන් 90% කටම සිරෝසිස් ඇතිවීමට හේතුව අක්මාව තුළ තෙල් තැම්පත් වීමයි. මීට අමතරව ලිංගික අප්‍රාණිකත්වය, දරුවන් පිළිසිඳ නොගැනීම, සනධි ආශි‍්‍රත කාටිලේජ ගෙවී යාම ආදිය ඇතවිය හැකියි.

 

නමුත් මෙහි ප්‍රධාන ගැටලුව වන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය යන තත්ත්වයන්ය. දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ සථුලතාවයයි. දෙවැනි වර්ගයේ දියවැඩියාවට අමතරව අධික රුධිර පීඩනයට අමතරව කොලෙස්ටරෝල් අධිකවීමේ වැඩි ඉඩකඩක් තිබෙයි.

 

අක්මාවේ තෙල් තැම්පත් වීම පිළිබඳ පැහැදිලි කළොත්

අක්මාවේ සෛල තුළ තෙල් තැම්පත් වීමෙන් එම සෛල විනාශ වීමකට ලක් වේ. මේ තෙල් තැම්පත් වනවාත් සමඟ මත්පැන් පානය කළොත් ඒ තත්ත්වය තවත් දරුණු විය හැකියි. අක්මාව තුළ තෙල් තැම්පත් වී ඇති අයෙක් මත්පැන් පානය කළොත් ඒ තැනැත්තාට සිරෝසීස් සෑදීමේ ඉහළ සම්භාවිතාවක් ඇති වේ.

 

කාන්තාවන්ගේ තෙල් තැන්පත් වීම වැඩි නිසා හෝර්මෝන වෙනස්කම් ඇති විය හැකියි.

පෙර පැහැදිලි කළ ආකාරයට තරබාරුකම නිසා ශරීරයේ බොහෝ ඉන්ද්‍රියයන්ට බලපෑම් ඇතිවිය හැකියි. එසේ බලපෑම් ඇති කරන එක් කොටසක් වන්නේ ලිංගික ඉන්ද්‍රියයන්ය. විශේෂයෙන් කාන්තාවන්ගේ ලිංගික ඉන්ද්‍රියයන්වල තෙල් තැන්පත් වීම නිසා අවශ්‍ය හෝර්මෝන නිසිලෙස නොසෑදිය හැකියි. ඒ නිසා අක්‍රමවත් ආර්තවයක් ඇතිවී පිළිසිඳ ගැනීමේ හැකියාව තරමක් දුරට අඩුවිය හැකියි.

 

තරබාරු බව නිසා ඇතිවන සන්ධි ගෙවීයාම ගැන පැහැදිලි කළොත්?

මේ නිසා සන්ධි ආශි‍්‍රතව ඇතිවන ප්‍රධාන ගැටලුවන්නේ ඔස්ටියෝ ආතරයිටීස්ය. මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් බලපෑම් ඇති කරන්නේ දණහිස් සන්ධිවලටයි. කෙනෙකුගේ බර වැඩි වනවිට සන්ධිවල ඇතිවන වේදනාව වැඩි වේ.

 

නම, වයස වගේම වැදගත් ශරීර ස්කන්ධ දර්ශකය පිළිබඳ සොයා ගන්නේ කෙසේද?

සුදු ජාතිකයන්ට වඩා ආසියාතිකයින් වශයෙන් අපගේ ශරීර ස්කන්ධ දර්ශකයට නිශ්චිත අගයක් දීම තරමක් අපහසු කටයුත්තකි. මෙය ආසන්න වශයෙන් පමණක් ප්‍රකාශ කළ හැකි වේ. මීට එක් හේතුවක් වන්නේ සුදු ජාතිකයන්ට වඩා අපගේ උදර ප්‍රමාණය විශාල වීමයි.

 

ඒ නිසා අන් තැන්වලට වඩා උදරයේ විශාල මේද ප්‍රමාණයක් තැන්පත් විය හැකි වේ. ඒ වගේම අඩු ස්කන්ධ ධාරිතාවකදී හෘදයාබාධ අවධානමක් ඇතිවිය හැකි වේ. ඒ නිසා ස්කන්ධ ධාරිතාව සුදු ජාතිකයන්ට වඩා අඩු මට්ටමක් යටතේ ආසියාතිකයන් පිළිබඳ අපි කථාබහ කරනු ලැබේ.

 

මෙය ප්‍රධාන කොටස් දෙකකි. එනම් ශරීර ස්කන්ධ ධාරිතාව හා බඩ වටේ තිබෙන මේද ප්‍රමාණයයි. බඩ තුළ තෙල් තැම්පත් වීම පිළිබඳ අවධානය යොමු කළ යුත්තේ හෘදයාබාධ වැළඳීමට එක් හේතුවක් වන නිසායි.

 

ඒනිසා ඔබ කාන්තාවක් නම් ඉනේ වට ප්‍රමාණය 80 ට වඩා වැඩි නම් හෝ ඔබ පුරුෂයෙක් නම් ඉනේ වට ප්‍රමාණය 90ට වැඩි නම් දැන් තිබෙන දත්ත අනුව එය තෙල් තැම්පත් වීමේ ලක්ෂණයක් වේ.

 

දෙවැනි කරුණ වන්නේ ශරීර ස්කන්ධ දේහ දර්ශකය 18.5 - 23.5ට අඩු නම් එය හොඳ ශරීර දේහ ස්කන්ධයකි. එම අගය 18.5 ට අඩු නම් හා 23.5 හෝ 23.9 ට වැඩි නම් එම පුද්ගලයා අධි බර තැනැත්තෙක් වෙයි. 27 ට වැඩි නම් ඒ පුද්ගලයා තරබාරු අයෙක් වේ.

 

ශරීර දේහ ස්කන්ධ සොයාගත යුත්තේ බර කිලෝග්රූම් වලින් ගෙන උස මීටර් වලින් ලබාගෙන බර උසේ වර්ගයෙන් බෙදීමෙනි. මෙමඟින් ඔබේ දේහ ස්කන්ධය සොයාගත හැකියි. මෙම අගය හා ඉන වට ප්‍රමාණයද පෙර අගයන්වල පැවතිය යුතු වේ. මෙම දේහ ස්කන්ධය 27 ඉක්ම වූ විට ගැටලු ඉතා විශාල ප්‍රමාණයක් ඇතිවිය හැකියි.

 

මේ අගයන් සුදු ජාතිකයින් සම්බන්ධ හෝ වෙනස් ප්‍රමාණයන් විය හැකි නිසා අන්තර්ජාලය, පොත්පත් මඟින් ලැබෙන තොරතුරු පිළිබඳ ඔබ ආසියාතිකයෙක් නම් තරමක් කල්පනාකාරී විය යුතුයි.

 

මේ ක්‍රමයට අමතරව ඔබේ උස 175 නම් ඉන් 100ක් අඩු කළ විට ලැබෙන අගයට වඩා ඔබේ බර අඩුවිය යුතු වේ. මෙය ස්කන්ධය මැනීමේ ඉතා සරලම ක්‍රමයකි.

 

ශරීර ස්කන්ධ දර්ශකය පවත්වාගෙන යන්නේ කෙසේද?

තමන්ගේ බර ප්‍රමාණය ගැන සැලකිල්ලක් නැතිව තමාගේ රුචිකත්වයට මුල්තැන දෙමින් සිටීම මෙම තරබාරු බවට ප්‍රධාන හේතුවක් වේ. කෑම ගැනීමට අමතරව ව්‍යායාම කිරීම, තරබාරු බව දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන නිසා කෑම පාලනය හා ව්‍යායාම සතියක් දෙකක් කළ පමණින් එය ඉවත් නොවේ.

 

ඒ නිසා, ඔබ තරබාරු නම් ප්‍රධාන වශයෙන් ආහාර පාලනය කළ යුතුමයි. තෙල් සහ පිෂ්ඨය අධික ආහාර අඩු කළ යුතුයි. ඒ අතර ක්ෂණික ආහාර අඩු කර සාම්ප්‍රදායික ආහාරවලට යොමු වී තමාගේ බර අඩුකර ගත හැකි වේ.

 

ස්ථුලබවට හේතු හා අවම කරගන්නා පියවර මොනවාද?

විද්‍යාවේ දියුණුව නිසා අපේ ක්‍රියාකාරී බව අඩු වෙමින් පවතින අතර ආහාරපාන පවා ක්ෂණිකව ලබා ගන්නා මට්ටමට පැමිණ තිබේ. ඒ වගේම ලුණු, පිටි, සීනි ගතිය වැඩි හා තන්තු බහුල ආහාර ලබා ගන්නා නිසා ස්ථුලතාවයට පත් වේ.

 

ව්‍යායාම හා කෑම පාලනය මඟින් මේ තත්ත්වය අවම කර ගත හැකි වේ. ක්ෂණික ආහාර වලින් වැළකී සුදුසු නුසුදුසු ආහාර තෝරා බේරා ගත යුතුයි. පලා වර්ග, එළවළු වැඩිපුර ආහාරයට ගත යුතු අතර මේදය සහ පිෂ්ඨය අධික ආහාර අවම කළ යුතු වේ. දරුවන් තරබාරුවීම විශාල ගැටලුවක් ඉදිරියේදී ඔවුන්ට විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දීමට සිදු වේ. ඒ නිසා කෑම රටාව වෙනස්කර ක්‍රියාකාරකම්, ක්‍රීඩාවන් ආදියට යොමු කළ යුතු වේ.

 

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එච්.එම්.එම්. හේරත්

- නුවන්ති කුලරත්න

උපුටා ගැනීම - දිනමිණ

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page