top of page

මුඛයේ දුර්ගන්ධයට පිළියම්

“හොඳට නරකට දෙකට කටමය” කියලා කිව්වට ඇතැම් අයගේ කට ගඳ ගහන වෙලාවට නම් හොඳ නරක කොහොම වුණත් හිතට ඇතිවන අප්‍රසන්න බව නම් කියලා වැඩක් නෑ නේද? ඒත් ඉතිං මොනවා කරන්නද? සමහර වෙලාවට මේ ගැටලුවලට කොතරම් ප්‍රතිකාර කළත් තමන්ගේ මුඛයේ දුර්ගන්ධයට හේතුව මොකක්ද කියලා කටේ ගඳ තියෙන කෙනාවත් නොදන්නවා විය හැකියි. ඇත්තෙන්ම මෙහෙම වෙන්නේ ඇයි?

 

යම් අයෙකුගේ මුඛ සෞඛ්‍යය යහපත් නැත්නම් ඒ තැනැත්තාගේ කටින් ගඳක් ඇති වීම පුදුමයට කාරණායක් නෙමේ. අඩුම තරමින් දවසට දෙපාරක් දත් මදින්න කිව්වට දත් විතරක් මැදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි හරියටම දත් මදින්නේ.

 

දත් මදින කොට දත් විතරක් නෙමේ දිවත් හොඳින් මදින්න අමතක කරන්න එපා. මේ සඳහා අවම වශයෙන් තත්පර 30ක් වත් ගත කරනවා නම් තමයි වඩාත් හොඳ. දිව තරමක් රළු නිසා එය නිසිආකාරව පිරිසුදු නොකිරීමෙන් ඒ මත බැක්ටීරියා තැම්පත් වී පසුව ඒවා මඟින් නිකුත් කරන වායු වර්ග මඟින් කට තුළ ගන්ධයක් ඇති කරනු ලැබේ.

 

ඒ විතරක් නෙමේ, දිව මදින විට විශේෂයෙන් උගුර දෙසට වන්නට හොඳින් පිරිසුදු කළ යුතුයි. දිව මැදීමටම විශේෂිත දත් බුරුසු වර්ග තිබෙනවා වුණත් ඔබ එදිනෙදා භාවිතා කරන දත් බුරුසුව වුණත් ඊට ගැටලුවක් නැතිව යොදා ගන්න පුළුවන්. මීට අමතරව දත්වල පවතින මැලියම්, විදුරුමස් රෝග නිසාත් කටින් ගඳක් ඇති වෙන්න පුළුවන්.

 

මෙවැනි ගැටලු පවතින අයට හොඳින් දත් සුද්ද කිරීම විතරක් නෙමේ වෛද්‍ය උපදෙස් මත හොඳ මවුත් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. කුඩා දරුවන්ගේ මුඛයත් ඇතැම් වෙලාවට දුගඳක් ඇති කරවන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ගේ දත්වල මැලියම් බැඳීමට ඇත්තේ අඩු හැකියාවක්. එහෙම වුණත් පෙර පැහැදිලි කළ ලෙසින් දිව නොමැදීම විතරක් නොවේ දත් නරක් වීමද ඔවුන්ගේ කට ගඳ ගැසීමට බලපෑ හැකියි. මෙය වැඩිහිටියන්ටත් එක ලෙස අදාළ කරුණකි. නරක් වූ දත් මත බැක්ටීරියා ඇති කරන වායු මඟින් ලොකු කුඩා කාගේත් මුඛය දුඟද කරවිය හැකියි.

 

මත්ද්‍රව්‍ය, දුම්වැටි පානය පමණක් නොව ළූණු, සුදුළූණු වැනි ආහාර නිසාද කට තුළ ගඳක් ඇති වීමට හේතුවිය හැකියි. මීට අමතරව මුඛයේ වියළි ස්වභාවය නිසාත් මෙසේ විය හැකි නිසා එවැනි අය හැකිතරම් ජලය පානය කිරීම මඟින් මෙම ගැටලුව මඟහරවා ගත හැකි වේ.

 

දියවැඩියාව, සිරෝසීස් වැනි රෝග අවස්ථා උත්සන්න වූ විටත් කටින් ගඳක් නිකුත් විය හැකි අතර බොහෝ වේලාවක් කුසගින්නේ සිටීම ද මීට යම්බලපෑමක් ඇති කරන්න පුළුවන්. සයිනසයිටිස් කියන්නේ මේ වෙනකොට ඔබ හොඳින්ම දන්න දෙයක්. මේ ලෙඩේට හේතුව මුඛය සහ නාසය අතර ඇති කුහර තුළ සෙම එකතු වී ආසාදනය වීමයි. එම සෙම මත බැක්ටීරියා ඇති වී ඒවා මඟින් නිකුත් කරන වායු මඟින් කට තුළින් දුර්ගන්ධයක් ඇති කරවයි.

 

මේ කරුණු කාරණා කොහොම වුණත් ඔබටත් මෙම ගැටලු සහගත බව තිබෙනවා නම් හිතුමතේට මවුත් වොෂ් පාවිච්චි කරන්න නම් එපා. ඒකට හේතුව අපගේ මුඛය තුළ ඇති අහිතකර වගේම හිතකර බැක්ටීරියා මේ නිසා විනාශ වෙන්න පුළුවන්.

 

එමඟින් වෙනත් විවිධ ආකාරයේ ගැටලු ඇති කරවන්න පුළුවන්. ඉහත සඳහන් ආකාරයේ වෙනත් ගැටලු නොමැති නම් ඔබගේ වයස කුමක් වුවත් වඩාත් නුවණට හුරු නිවැරදිව දත් වගේම දිවත් මදින්න පුරුදු වීමයි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page