top of page

මහළු වියට - නිසි පෝෂණය 

 

     ජීවන ගමන් මඟේ අප පසුකරන සෑම තත්පරයක්ම ඉතිහාසයට එකතු වන්නා සේම, අප ජීවිතය ද කෙමෙන් කෙමෙන් වියපත් වීගෙන යයි. ගෙවූ ළමා කාලයේ සුන්දරත්වය ඒ අයුරින්ම විදගන්නට වෙනත් අවධියකට හැකියාවක් නැහැ. එහෙත් වියපත් වීම යනු නැවත අප ළමා ලෝකයට රැගෙන යාමක් ද? නැත. සිදුවී ඇත්තේ කායික වශයෙන් ක්‍රමයෙන් දුර්වල වීමක් පමණි. එහෙත් වියපත් වූ විට දූ දරුවන්ගේ රැකවරණයේ රැඳෙන්ට සිදුවී තිබේ. එහි දී මතුවන පෝෂණීය තත්ත්වයන් පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය දක්වන අදහස් විමසීමකට ලක් කරමු.

 

වියපත්වීම යනු කුමක් ද?

 

     ජීවන චක්‍රයේ එක් ක්‍රියාවලියක් ලෙස සියලු පද්ධතීන්වල වෙනස් වීමක් සිදු වෙනවා. මේ සියලු කාරණා පැහැදිලිව මහලු වියේ දී දැකගත හැකියි. ඒ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ ද වෙනස් වීම් සිදුවෙනවා. එහි දී මුඛයේ දත් හැලීයාම, ඛේට ග්‍රන්ථිවල ස්‍රාවයන් අඩුවීම, ආහාර බි¼දීමේ අපහසුතා මෙන්ම ගලනාලයේ, ආමාශයේ එන්සයිම ස්‍රාවය වීම අඩුවී යා හැකියි. ආමාශයේ මෙන්ම කුඩා අන්ත්‍රවල යම් යම් වෙනස් වීම් ද ඇතිවිය හැකියි. එසේම මානසික තත්ත්වයන් ද මේ සඳහා දැඩිව බලපා තිබෙන අයුරු දක්නට පුළුවන්.

 

වයස්ගත වීමත් සමඟ රෝග අවදානමක් තිබෙනවා ද?

 

     දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය, ආඝාතය, පිළිකා ඇතිවීම වැනි රෝග වැළ¼දීමේ අවදානමක් තිබෙනවා. සමහර විට වයස්ගත වූවන් මෙවැනි රෝගවලින් එකකට හෝ ගොදුරු වී සිටින්නට පුළුවන්. එසේම වැඩිහිටි ජනතාවගෙන් 50% කට පමණ පෝෂණ ඌනතා තිබෙනවා. ඒ අනුව උසට සරිලන බරක් නොමැති වීම මෙන්ම උසට සරිලන බර වැඩි වූ පිරිසක් ද මේ අතර සිටිනවා. ඊට අමතරව නීරක්තිය, අයඩින් ඌනතාවයන් ඇති පිරිසක් ද දක්නට ලැබෙනවා. ඇතැම් විට ස්නායු පද්ධතියට විජලනය වීම නොදැනී යන අවස්ථා තිබෙනවා. එනිසා පිපාසයේ දැනීමක් ද ඇතිවන්නේ නැහැ. සාමාන්‍යයෙන් 70%ක් පමණ ශරීරයේ ජලය අඩංගු වුවත් එය නොලැබී යාමෙන් ගැටලු රැසක් මතු විය හැකියි. එනිසා වියපත් වීම යනු ස්වභාවික ක්‍රියාවලියක් බවට ඔවුන් අවබෝධයක් ලබාගත යුතුයි. වියපත් වුවත් ප්‍රධාන ආහාර වේල් තුන අනිවාර්යයෙන් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි.

 

ආහාර ලබාගත යුත්තේ කෙසේ ද?

 

    සාමාන්‍යයෙන් මොවුන් ශක්තිය ලබා ගැනීමේ දී සාමාන්‍ය පිරිමි පුද්ගලයකු ලබා ගන්නා ප්‍රමාණයට වඩා 10 -11% ක තරම් අඩු ප්‍රමාණයකින් ආහාර ලබා ගත යුතුයි. එයට හේතුව වැඩිපුර ක්‍රියාශීලී ක්‍රියාකාරකම්වල ඔවුන් නොයෙදෙන නිසයි. මස්වර්ගවලට වඩා මාළු වර්ග, හාල්මැස්සන් වැනි දෑ ඔවුන්ට හිතකර ආහාර ලෙස ගත හැකි සේම බිත්තර වුව ගන්න පුළුවන්. නමුත් හෘදයාබාධ, රුධිරපීඩනය, කොලෙස්ටරෝල් වැනි රෝග තිබෙන අයට හැර අන් අය සතියකට බිත්තර 3ක් පමණ ලබාගැනීම ගැටලුවක් නැහැ. එවැනි රෝග තිබෙනවා නම් බිත්තර සුදු මදය දිනපතා වුව ආහාරයට ගැනීම සුදුසුයි. ඇට වර්ග ආහාරයට ලබාගෙන ශාකමය ප්‍රෝටීන් ලබාගත යුතුයි. එළවළු, පලතුරු, පළාවර්ග සාමාන්‍ය පුද්ගලයන් සේම එවැනි දෑ ලබා ගැනීම වැදගත්. එය මළ බද්ධය අඩු කිරීමට, ප්‍රතිශක්තිය ඇති කිරීමට, ශරීරයේ ආරක්ෂාවට වැදගත් වෙනවා. නිරක්තිය මෙන්ම උසට සරිලන බර නොමැතිවීම මෙන්ම අයඩින් ඌනතාවයන් ඇතිවීම වළක්වා ගැනීමට මෙවැනි ආහාර රටාවකට හුරු වීම රුකුලක් වෙනවා.

 

සැලකිලිමත්විය යුත්තේ කුමන කාරණා සඳහා ද?

 

     ජලය පානය පිළිබඳ ඔවුන් වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. තිබහ ඇතිවන තුරු නොසිට නිතර නිතර ජලය පානය කිරීම පුරුද්දක් කරගත යුතුයි. එසේම ඒකාකාරී ආහාර රටාවකින් තොරව වැඩිහිටියන්ට විශේෂත්වයක් දක්වා ආහාර සකසා පිළිගැන්විය යුතුයි. එවිට වැඩිහිටි පුද්ගලයන්ට ආහාර රුචියක් ඇතිවී මතුවන ගැටලු අවම වීමේ හැකියාව තිබෙනවා. විශේෂ කාරණයක් වන්නේ නිවස තුළ ඔවුන්ගේ කැමැත්ත පරිදි හැසිරීමට ඉඩකඩ සැලැසීමයි. ඒ තුළින් ආහාර පිළිබඳ මතුවන ගැටලු අවම කරගත හැකියි. එසේම වයස්ගත වීමේ දී නින්ද අසම්පූර්ණ විය හැකියි. එනිසා දහවල් කාලයේ නින්ද නොලබා වෙනත් ක්‍රියාකාරකම්වල යෙදී තම අවබෝධය මත එක් එක් කාර්යයන් යොදා ගැනීමෙන් එම ගැටලුව නිරාකරණය කරගත හැකියි. එසේ නොවුණහොත් ආහාර රුචිය සඳහා බලපෑ හැකියි. සාමාන්‍ය ව්‍යායාම් වෙත යොමු වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන් ද අවම කරගත හැකි සේම ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ද යහපත්ව තබා ගැනීමට හැකියි.

 

     ඒ නිසා රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් ඒවා පාලනය කරගෙන අනෙකුත් සාමාන්‍ය ක්‍රියාකාරකම්වල යෙදීම අවශ්‍යයි. එවිට තම රුචිකත්වය මත ආහාර ලබා ගැනීමේ හැකියාව ද තිබෙනවා.රෝගී යැයි සිතා මානසිකව බිඳ වැටීමට ඉඩ නොදී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ද වැඩිහිටියන්ගේ පෝෂණ ඌනතා වළක්වාගත හැකියි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ සම්බන්ධීකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page