top of page

නරක කොලෙස්ටරෝල් කියන්නේ HDLද? LDLද?

 

     හෘදයාබාධයක් නම් ඒ හා සමඟම කියැවෙන්නේ කොලෙස්ටරෝල් පිළිබඳවයි. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය ගැන දැන ගැනීම වැදගත් වන්නේ හෘදයාබාධ අවදානමෙන් මිදීම සඳහායි. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය දැන ගැනීම සඳහා කෙරෙන Lipid Profile පරීක්ෂණය පිළිබඳව හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

     රුධිරයේ ඇති කොලෙස්ටරෝල් රුධිරවාහිනීවල බිත්තියේ අභ්‍යන්තර සෛල තට්ටුව ඇතුළතින් තැන්පත් වීමට පටන් ගන්නවා. මේ නිසා රුධිර වාහිනී අභ්‍යන්තර සිදුර ක්‍රම ක්‍රමයෙන් සිහින් වී අවහිර විය හැකියි. සාමාන්‍යයෙන් මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ධමනිවලදීය. එහිදී හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි සහ මොළයට රුධිරය ගෙන යන ධමනි විශේෂයි. එසේ වුවත් සිරුරේ ඕනෑම ඉන්ද්‍රියයකට රුධිරය ගෙනයන ධමනියක් මේ ආකාරයට කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා අවහිර විය හැකියි.

     මේ ආකාරයට රුධිරයේ තිබෙන කොලෙස්ටරෝල් අතර සිරුරට අහිතකර වූ කොලෙස්ටරෝල් මෙන්ම සිරුරට හිතකර වූ කොලෙස්ටරෝල් ද තිබෙනවා. සිරුරේ ඇති හොඳ හෝ නරක කොලෙස්ටරෝල් රුධිරයේ හෝ රුධිර ප්ලාස්මාවේ දියවන්නේ නැහැ. ඒ නිසා කොලෙස්ටරෝල් අණු රුධිරය සමඟ එකතු වී තැනින් තැනට ගමන් කිරීමට නම් තවත් අණුවක් සමඟ එකතු වී එය කළ යුතුයි.

    සාමාන්‍යයෙන් අප කොලෙස්ටරෝල් වාර්තාවක් දෙස බැලීමේදී LDL කොලෙස්ටරෝල්, HDL කොලෙස්ටරෝල් VLDL කොලෙස්ටරෝල් වශයෙන් දක්නට ලැබෙන්නේ එම අණු හා සම්බන්ධ වී ඇති කොලෙස්ටරෝල් සාන්ද්‍රණයන්ය. මෙහිදී LDL අණු සමඟ එකතුවන කොලෙස්ටරෝල් අක්මාවේ සිට ශරීරයේ සෙසු ඉන්ද්‍රියයන් වෙතට, කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරනු ලබන අතර HDL අණු සමඟ එකතු වන කොලෙස්ටරෝල් ශරීරයේ සෙසු ඉන්ද්‍රියයන්වල සිට අක්මාව දෙසට කොලෙස්ටරෝල් ප්‍රවාහනය කරනවා.

 

   මෙහිදී LDL කොලෙස්ටරෝල් අක්මාව දෙස සිට අනෙක් ඉන්ද්‍රියයන් වෙතට ප්‍රවාහනය කරන නිසා, එම කොලෙස්ටරෝල් අනෙකුත් ඉන්ද්‍රියයන්ට රුධිරය සපයන නාල අවහිර කිරීමට හේතු වෙනවා. මේ නිසා LDL සිරුරට අහිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනවා.

      නමුත් HDL කොලෙස්ටරෝල් අනෙක් ඉන්ද්‍රියයන්වල රුධිර නාලවල ඇති කොලෙස්ටරෝල් අක්මාව දෙසට ප්‍රවාහනය කරන නිසා ඒවා ශරීරයට හිතකර කොලෙස්ටරෝල් ලෙස හඳුන්වනවා. LDL කොලෙස්ටරෝල් හැකිතාක් අඩු මට්ටමක පවත්වා ගත යුතු වන්නේත් HDL කොලෙස්ටරෝල් වැඩි මට්ටමක පවත්වා ගත යුතු වන්නේත් මේ නිසයි.

   මීට අමතරව කොලෙස්ටරෝල් පරීක්ෂාවකදී මනිනු ලබන මේද අම්ල වන ට්‍රයිග්ලිසරයිඩ මඟිනුත් අක්මාවේදී කොලෙස්ටරෝල් නිපදවිය හැකි බැවින් ඒවා ශරීරයට අහිතකර මේද අම්ල වර්ගයක් ලෙස හැඳින්වෙනවා.

      කොලෙස්ටරෝල් යනු සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විවිධ රසායනික ද්‍රව්‍ය නිපදවීමට උපයෝගී කර ගන්නා සංඝටකයකි. එය අක්මාවේදී කැඩී බිඳී විවිධ හෝමෝන වර්ග මෙන්ම පිත නිපදවීමටද උපයෝගී කර ගන්නවා. ඒ වගේම කොලෙස්ටරෝල් සෛල බිත්ති සෑදීමටද උපයෝගී වෙනවා.

     කොලෙස්ටරෝල් වැඩි වීමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රතිකාර ගැනීමේදී වඩා වැදගත් වන්නේ රුධිරයේ මුළු කොලෙස්ටරෝල් ප්‍රමාණය මනිනවාට වඩා ලිපිඩ් ප්‍රොෆයිල් (Lipid Profile) පරීක්ෂාවක් මඟින් ශරීරයට හිතකර HDL කොලෙස්ටරෝල්, ශරීරයට අහිතකර LDL කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ සාන්ද්‍රණයන් වෙන වෙනම මැන බැලීමයි.

    විශේෂයෙන් හෘදයාබාධ වැළදුණු, බයිපාස් සැත්කමට ලක් වූ අයට මෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි හෘදයාබාධ වැළඳීමට තුඩුදෙන අවදානම් සාධක සහිත අයගේ LDL කොලෙස්ටරෝල් සාන්ද්‍රණය අවම මට්ටමක (80mg/dlතවලට වඩා අඩුවෙන්) පවත්වා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. මෙවැනි රෝග තත්ත්වයක් ඇති බොහෝ අයට මුල් කොලෙස්ටරෝල් පරීක්ෂාවේදී සාන්ද්‍රණයට එතරම් වැඩි වීමක් නොමැති වුවත් ප්‍රතිකාර ලබාදෙන්නේ මේ නිසයි.

     කොලෙස්ටරෝල් පරීක්ෂාවක් කිරීමට පෙර පැය 12ක් 14ක් පමණ කාලයක් නිරාහාරව සිටිය යුතුයි. නමුත් මේ කාලය තුළදී වතුර පානය කළ හැකියි.

     තවද කොලෙස්ටරෝල් පාලනය සඳහා ඖෂධ ලබාගන්නා අයෙක් නම් මෙසේ නිරාහාරව සිටින කාලයේදී නිසි පරිදි ඖෂධ ලබා ගැනීම කළ යුතුය. මෙසේ කිරීම වැදගත් වන්නේ එවැනි අයෙකුගේ කොලෙස්ටරෝල් පරීක්ෂාවකින් බලාපොරොත්තු වන්නේ කොලෙස්ටරෝල් පාලනය වී ඇත්ද නැද්ද යනවගයි.

     මේ සඳහා ඔවුන් නිතිපතා ඖෂධ ගත යුතුය. මීට අමතරව දිනපතා ව්‍යායාම කිරීමත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වීමත් වැදගත්. එක් එක් පුද්ගලයාගේ LDL කොලෙස්ටරෝල් මට්ටම කොයිතරම් දුරට පාලනය කළ යුතුදැයි වෛද්‍යවරුන් විසින් නිගමනය කරනු ලබන්නේ ඔවුන්ට ඇති අනෙකුත් අවදානම් සාධක ගණනාවක් පිළිබඳ ද අවධානය යොමු කිරීමෙන් පසුවයි.

    අදාල පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳී තිබීම, බයිපාස් සැත්කමකට හෝ ඇන්ජියෝ ප්ලාස්ටි (Angioplasty) ප්‍රතිකාරයට ලක් වී තිබීම, දියවැඩියාව, අධික රුධිර පීඩනය, දුම්පානය, පවුලේ ළඟම ඥාතීන්ට අඩු වයසින් හෘදයාබාධ වැළඳී තිබීම වැනි සාධක සලකා බැලේ.

     HDL කොලෙස්ටරෝල් ශරීරයට හිතකර බැවින් අප සැමවිටම උත්සාහ කරන්නේ රෝගී නිරෝගී සියලුම කෙනාගේ HDL මට්ටම හැකිතාක් දුරට වැඩි කර පවත්වා ගැනීමටයි. මෙම පරීක්ෂණය ඉතා සරල රුධිර පරීක්ෂණයක්. මෙහිදී අදාළ තැනැත්තාගේ අතේ ශිරාවකින් රුධිරය මිලි ලීටර් ප්‍රමාණයක් ලබාගෙන අදාළ පරීක්ෂාව කෙරෙනවා.

දුමින්ද සම්පත්

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page