top of page

ෆෝලික් ඇසිඩ් ලබාගත යුත්තේ ගර්භණීත්වයට තෙමසකට පෙරාතුවයි

ශ්‍රී ලංකාවේ දරු උපත් වසරකට ලක්ෂ හතරක් පමණ සිදුවේ. එහිදී අප සැලකිලිමත් විය යුතු කරුණ නම් මෙලෙස අපට හිමිවන දරු සම්පත කෙතරම් දුරට නිරෝගී සම්පතක් ලෙස බිහි කිරීමට දායක වන්නේ ද යන කරුණයි.

නිරෝගී දරුවකු සඳහා මුල් අඩිතාලම වන නිරෝගී කලලයක් වර්ධනය වීම පිණිස අත්‍යවශ්‍ය වූ ෆෝලික් ඇසිඩ් ගැන බොහෝදෙනෙකු අසා තිබේ.

 

නමුත් ෆෝලික් ඇසිඩ් ඌනතාවය නිසා කලලයක ඇතිවිය හැකි අඩුපාඩුකම් ගැන බොහෝ අය නොදනී. ඒ නිසා ගර්භනීත්වයට ෆෝලික් ඇසිඩ් කෙතරම් වැදගත් ද යන්න දැන සිටීම අත්‍යවශ්‍ය කරුණකි.

 

කලලය විකසනය වීමත් සමඟ එහි ප්‍රධාන අවයව එනම්, මොළය ස්නායු පද්ධතිය හෘද වස්තුව ආදී කොටස් වර්ධනය වන්නේ මුල් සති 3 - 9 අතර කාලයේදීය. ඒ නිසා මේ කාලය ගර්භණී අවධියේ ඉතාම වැදගත් කාලයක් ලෙස සලකයි.

 

තවද මේ සඳහා මනාව වැදගත් වන සංඝටකයන් නම් ෆෝලික් අම්ලයයි. විශේෂයෙන්ම ගර්භනී කතකට මේ කාලයේ අවශ්‍ය ෆෝලික් අම්ල ප්‍රමාණය නොලැබී ගියහොත් එය කලල වර්ධනයේ බරපතළ ගැටලු ඇතිවීමට පවා බලපෑ හැකියි.

 

ස්නායු පද්ධතියේ ඇතිවිය හැකි සංකූලතාමෙහිදී හටගත හැකි රෝගී තත්ත්වයක් නම් Open Spina Bifida රෝගී තත්ත්වයි. මේ යටතේ හටගත හැකි රෝග තත්ත්ව කිහිපයකි.

 

ස්නායු පද්ධතිය නිර්මාණය වන්නේ සුසුම්නාව හා මොළය වටකර ගනිමිනි. නමුත් මේ අවස්ථාවේදී පටක නිසිලෙස වර්ධනය වූයේ නැතිනම් එය හිස් කබලේ වර්ධනයට බාධා කරයි. එවිට මොළය එළියට නිරාවරණය වීමේ හැකියාවක් පවතී.

 

(Acrania) තවද කලලයේ සුසුම්නාව වටකර ඇති පටක වර්ධනය වීමේ ගැටලුවක් ද ඇතිවිය හැකිය. මේ තත්ත්වය Meningomyelocele නම් වේ. මෙම තත්ත්වයන් කලලයේ වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකි තත්ත්ව වේ. මෙය ප්‍රධාන වශයෙන් ෆෝලික් ඇසිඩ් ඌනතාවය හේතුවෙන් හටගත හැකි තත්ත්ව වේ.

 

තවද වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කෙරුණු මව්වරුන් අතරින් හඳුනා ගැනුණු අන්දමට එම මව්වරුන්ගෙන් 95% ක් පිළිසිඳ ගැනීමට පෙර ෆෝලික් අම්ලය භාවිතා නොකළ අයයි.

 

එසේම සාමාන්‍ය මව්වරුන්ගෙන් 70%වැනි පිරිසක් ඒ හඳුනා ගැනීමට අනුව ප්‍රසූතියට පෙර ෆෝලික් අම්ලය භාවිතා නොකළ අයයි.

 

ඒ අනුව හොඳින් මතක තබාගත යුතු කරුණු නම් ප්‍රසුතියේදී ඇතිවන ගැටලු අවම කර ගත හැකි විශිෂ්ටතම මඟක් නම් ෆෝලික් ඇසිඩ් භාවිතය බවයි. එය අවම වශයෙන් පිළිසිඳ ගැනීමකට මාස තුනකටවත් පෙර සිට භාවිතා කළ යුතු වේ.

 

- සමුද්‍රිකා වර්ණකුල

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page