
උණ ඩෙංගු ද? වෛරස්ද? වෙන්වෙන්ව හඳුනාගන්න
ඩෙංගු රෝගය මේ දිනවල ඉතා සීඝ්‍රයෙන් පැතිර යන බව පසුගිය දිනවල ප්‍රවෘත්තියක් බවට පත්වුණා. ඇත්තෙන්ම ශ්‍රී ලාංකික ජනතාව දැන් ඩෙංගු රෝගය ගැන ඉතාම හොඳින් දන්නවා. එහෙත් ඉඳහිට හෝ ඩෙංගු රෝගයෙන් කෙනෙකු මිය යන බව වාර්තා වෙනවා. ඊට හේතුව බොහෝදෙනෙකු රෝග තත්ත්වය නොසලකා හැරීම විය හැකියි.
ඩෙංගු රෝගය පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු කරුණු ගැන කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා දැක්වූ අදහස් මෙසේයි.
ඩෙංගු වසංගත තත්ත්වයෙන් පැතිරීයන වෛරස් රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. නිරෝගී තරුණ අයෙක් වුවද සතියක් ඇතුළත ඩෙංගු රෝගය නිසා හදිසියේම මිය යා හැකියි.
ඩෙංගු නිසා මිය යන ප්‍රතිශතය මේ වනවිට අඩු වී තිබෙනවා. මීට වසර 05කට කලින් 01%ක් වූ ඩෙංගු මරණ ප්‍රතිශතය මේ වනවිට 0.3% දක්වා පහළ බැස තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ වෛද්‍ය විද්‍යාත්මක නිසි ප්‍රතිකාර ක්‍රම දියුණුවීම මෙන්ම ප්‍රජාව ඩෙංගු රෝගය සහ රෝග ලක්ෂණ, ගැනත් ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් හොඳ අවබෝධයකින් සිටීමයි.
ඩෙංගු රෝගයේ ප්‍රධානතම රෝග ලක්ෂණය උණ ඇතිවීමයි. නමුත් ඊට අමතරව ශරීරයේ ඇතුළත රෝගී වීමක් සිදුවෙනවා. උණ යන්න රෝගයක් නොවෙයි. එය ප්‍රධාන වෙනත් රෝගයක රෝග ලක්ෂණයක් පමණයි.
මේ නිසා උණ ඇති වූ වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. එවිට උණට හේතුව කුමන රෝගයක් ද යන්න හඳුනා ගැනීම පහසු කරවනවා. විශේෂයෙන් මේ දිනවල පවතින උණ ඩෙංගු රෝගයේ කොටසක් විය හැකියි.
ඩෙංගු රෝගයේදී ජීවිත හානි තත්ත්වයට පත්වන්නේ උණ බැසගිය පසුයි. බොහෝදෙනෙක් උණ බැසගිය පසු රෝගය සුව වූවා යැයි සිතා ප්‍රතිකාර නතර කරනවා. මෙය ඉතාම නරක හා භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් වෙනවා.
මීට දශක කිහිපයකට පෙර උණ වැළඳී ප්‍රතිකාර ගැනීමෙන් පසු උණ සුව වූයේ නම් රෝගය සුව වූ බව සිතුවා. නමුත් උණ යනු ප්‍රධාන රෝගයක එක් ලක්ෂණයක් පමණයි. මේ නිසා උණ ඇති වූ විට හොඳ අවධානයකින් සිටිය යුතුයි. උණ, ඩෙංගු රෝගයේ ලක්ෂණයක් වීම මීට ප්‍රධානතම හේතුවයි.
සාමාන්‍යයෙන් ආසාදන තත්ත්වයක් නිසා උණ ඇති වෙනවා. බැක්ටීරියා මෙන්ම වෛරස් ආසාදන ද උණ ඇතිවීමට බලපානවා. කුමන වර්ගයේ විෂබීජයක් නිසා උණ ඇති වූයේ ද යන්න සොයා බැලිය යුතුයි. මේ සඳහා උණ සෑදී දින තුනකට පසු සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් (Full Blood Count) කරවා ගත යුතුයි.
උණ සෑදී දින තුනක් ගත වනවිට උණ තත්ත්වය පහව ගියද මේ රුධිර පරීක්ෂාව කරවා ගත යුතුයි. මෙහිදී උණට හේතුව බැක්ටීරියා ආසාදනයක් ද වෛරස් ආසාදනයක් ද යන්න සොයා බලනවා. ඩෙංගු රෝගී තත්ත්වයයක් නම් කඩිනමින් ප්‍රතිකාර ආරම්භ කිරීමට මේ රුධිර පරීක්ෂාව වැදගත් වෙනවා.
ඩෙංගු මෙන්ම වෙනත් වෛරස් රෝගී තත්ත්වලටත් උණ ඇති වෙනවා. මේ නිසා ඩෙංගු ද නැද්ද යන්න සැකහැර දැනගත යුතුයි. ඩෙංගු උණ රෝගයෙන් පසු රෝගියාගේ තත්ත්වය බරපතළ තත්ත්වයට පත් වෙනවා. රුධිරයේ ඇති දියරමය කොටස් රුධිර නාල තුළින් පිටතට පැමිණීම නිසා රුධිරයේ උකු ස්වභාවය වැඩිවෙනවා. මේ නිසා රුධිර ගමන නිසියාකාරව සිදුවන්නේ නැහැ.
රුධිර ගමන නිසි අයුරින් සිදු නොවීම නිසා ශරීරයේ වැදගත් අවයවලට රුධිර සැපයුම අඩු වී එම අවයව අක්‍රිය වීම සිදුවෙනවා.මේ තත්ත්වය නිසා රෝගියාගෙන් පිටවන දියර කොටස පිළිබඳ වෛද්‍යවරු හොඳ අවදානයකින් සිටිය යුතුයි.
රෝගියාගේ මුත්‍රා පිටවන ප්‍රමාණය ද මැනගත යුතු වෙනවා. රෝගියාගේ රුධිර නහරවලින් පිටවන දියර කොටසට සරිලන ලෙස දියර රෝගියාට ලබාදිය යුතුයි. සේලයින් වැනි දියරයක් ශිරා ගත කිරීම මඟින් හා දියර වර්ග රෝගියාට බීමට සැලැස්වීමෙන් රෝගියාගේ ශරීරයේ රුධිර නාල තුළ ඇති දියර ප්‍රතිශතය නියමාකාරව පවත්වා ගැනීමට කටයුතු කරනවා.
ඩෙංගු වෛරසය විනාශ කිරීමට මේ තාක් ඖෂධයක් සොයාගෙන නැහැ. සංකූලතාවලට ප්‍රතිකාර කිරීමක් පමණයි සිදුවන්නේ.
ප්ලේට්ලට් අඩුවීමෙන් රෝගියාගේ ඩෙංගු රෝග තත්ත්වය සංකීර්ණ බවක් කියවෙනවා. ප්ලේට්ලට් යනු රෝගයේ බරපතල බව කියවෙන එක් දර්ශකයක් පමණයි. මේ නිසා විවිධ ක්‍රම මඟින් ප්ලේට්ලට් වැඩි කලාට ඩෙංගු රෝගය සුව වන්නේ නැහැ. සංකූලතා අඩුවන්නේද නැහැ. මේ නිසා ප්ලේට්ලට් වැඩි කිරීමට වෙනත් ක්‍රම භාවිතය අවධානම් සහිත ක්‍රියාවක් වෙනවා.
ඩෙංගු රෝගයේදී ජීවිත අවදානම නැති කිරීම සඳහා සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුගේ නිසි ප්‍රතිකාර ක්‍රමානුකූලව ලබා ගැනීම ඉතාම වැදගත් බව පැවසිය යුතුයි.
උණ ඇතිවිට සිදු කරන ප්‍රතිකාරවලදී පැරසිටමෝල් පළමු දින තුනේදීත් ඉන් පසුවත් නිසි මාත්‍රාවෙන් පමණක් ගැනීම කළ යුතුයි. එය මාත්‍රාව ඉක්මවා තමන්ට රිසි සේ නොගත යුතුයි. එමෙන්ම පැරසිටමෝල් හැර උණට ලබාදෙන වෙනත් ඖෂධ කිසිවක් නොගත යුතුයි.
ඩෙංගු උණ වැළදී ඇතිවිට 103F ට 104F ට පවතින ශරීර උෂ්ණත්වය 98.4F ට අඩු කිරීම කළ නොහැකියි. එය 100F ක මට්ටමේ පවත්වා ගැනීම ප්‍රමාණවත් වෙනවා. නමුත් සමහර රෝගීන් උණ අඩු කිරීමට පැරසිටමෝල් අධි මාත්‍රාවක් ගන්නවා. එය ඉතාම වැරදි ක්‍රියාවක් වෙනවා.
පැරසිටමෝල් අධි මාත්‍රාවක් ශරීර ගතවීම වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරයා විසින් ලබාදුන් ඖෂධ වට්ටෝරුවේ පැරසිටමෝල් ඇත්දැයි යන්න වෛද්‍යවරයාගෙන් විමසීම රෝගියා හෝ ඔහුගේ භාරකරුවා විසින් සිදු කළ යුතුයි.
බොහෝවිට වෛද්‍යවරයා පැරසිටමෝල් ලබාදී තිබියදීත් රෝගියා විසින් පැරසිටමෝල් ලබා ගැනීම දක්නට ලැබෙනවා. මෙය ඩෙංගු රෝගී තත්ත්වයේදී භයානක ප්‍රතිඵලගෙන දෙන්නක් විය හැකියි.
ඉහත කරුණු නිසිලෙස ක්‍රියාත්මක කිරීම ඩෙංගු මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතුවක් වෙනවා.
ඩෙංගු රෝගය නිසා ඇතිවන සංකූලතාවලට ප්‍රතිකාර කිරීමේ නවීන ක්‍රම අනුගමනය කිරීමෙන් ඩෙංගු මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ලැබෙනවා.