top of page

කාර්ය බහුලත්වය හා මානසික ආතතිය
ඇස්වලට පමණක් නොවේ ශරීරයේ විවිධාකාර ගැටලුවලටත් හේතුවක්

හිස කැක්කුම සාමාන්‍යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්. එය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපෑම් ඇතිකර විය හැකි රෝග අවස්ථාවක් වනවා වගේම බරපතළ මට්ටමේ රෝග තත්ත්වවල පූර්ව ලක්ෂණයක් ලෙසින් ද මුහුණ දීමට සිදුවිය හැකියි.

මෙවැනි සුළු සුළු අසනීප සඳහා ඒ මොහොතට පමණක් පිළියමක් ලෙස වේදනා නාශක භාවිතා කළ ද එහි රෝග මූලය පිළිබඳව සොයන්නට බොහෝදෙනෙක් උත්සාහ නොකරයි. එසේ නිශ්චිත රෝග හේතුවක් සොයා නොගැනීම නිසා සුළු වශයෙන් පටන්ගන්නා රෝග අවස්ථා බරපතළ තත්ත්වයට පත්විය හැකියි.

කෙසේ වෙතත් වර්තමානය වනවිට මේ සඳහා බලපාන හේතු ගණනාවක් සොයාගෙන තිබෙයි. ඒ අතරින් දිගුකාලීනව සිදුවන පරිගණක භාවිතය ප්‍රධාන තැනක් හිමිකර ගනු ලැබේ. මෙසේ කාලයක් තිස්සේ සිදුවන පරිගණක භාවිතය නිසා ඔබගේ හිසෙහි යම් වේදනාවක් ඇති වී තිබෙනවා නම් එය පෙර අවස්ථාවලදී අප විසින් කතාබහට ලක් කළ පරිගණක සහ දෘෂ්‍ය ලක්ෂණයේ එසේත් නැත්නම් C.V.S (Computer Vision Syndrome) හි එක් රෝග ලක්ෂණයක් ද විය හැකියි.

ඇත්තෙන්ම මෙවැනි විවිධ ආකාරයේ ගැටලු සඳහා අපට මුහුණ දීමට සිදුව ඇත්තේ වර්තමාන ජිවන රටාවත් සමඟ කාර්යබහුල දිවියකට හුරුවීම නිසයි. කෙසේවෙතත් පෙර පැහැදිලි කළ රෝග අවස්ථාවට අමතරව කඳුළු ග්‍රන්ථි ආශි‍්‍රතව ද ඇතිවිය හැකි ඇතැම් ගැටලුකාරී අවස්ථා නිසා ඔබ අපහසුතාවට පත්විය හැකියි.

මෙම තත්ත්වය බොහෝදුරට Dry Eye  ලෙසින් ද හඳුන්වනු ලැබේ. මෙසේ Dry Eye  තත්ත්වයට පත්වීමට හේතුව පෙර සඳහන් කළ ඇසේ පිහිටා ඇති කඳුළු ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය හීන වී යාමයි.

මීට අමතරව මානසික වශයෙන් මෙන්ම දැඩි වෙහෙස නිසා ඇස හා සම්බන්ධ විවිධ ගැටලු ඇතිවිය හැකි අතර වර්ණ ග්‍රහණය කරගැනීමේ ද විවිධ දුෂ්කරතා ඇතිවිය හැකියි. සාමාන්‍ය ඇසකට වර්ණ හඳුනාගැනීම ගැටලුකාරී නොවුණ ද මෙම ගැටලුකාරී අවස්ථා යටතේ විවිධාකාර අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.

සිවිකාච භාවිතා කිරීම මේ වනවිට බහුලව සිදුවන නමුත් ඒවා භාවිතා කිරිම ද ඉහත හේතු නිසා තරමක් දුරට හෝ අපහසුවිය හැකියි.

අපගේ ඇසට යම් වස්තුවක් පෙනෙන්නට එම වස්තුව මත පතිත වන ආලෝකය ඇස මත නාභිගත විය යුතුයි. නමුත් ඉහත තත්ත්වයේදී යම් වස්තුවක ඇස නාභිගත වීමට වැඩි කාලයක් ගත වේ.

වියළි බවින් යුතු ඇස් ඇතිවීම මෙන්ම කඳුළු වැඩියෙන් ඉනීම ද ඉහත රෝග අවස්ථාවේ තවත් ලක්ෂණයකි. මානසික ආතතිය මෙන්ම කාර්යබහුල බව නිසා මාංශ පේශීවල වේදනාව ද ඇතිවිය හැකියි. ගෙල, උරහිස හා කොන්දේ අමාරුව මෙසේ මාංශ පේශිවල ඇතිවන අපහසුතා අතර ප්‍රධාන තැනක් හිමි කර ගනියි.

තවද විශේෂයෙන් පරිගණක දෘශ්‍ය සහ ලක්ෂණ ද සම්බන්ධ රෝග ලක්ෂණ ද මීට සමානකමක් දක්වන බවද පැවසිය යුතුයි.

- නුවන්ති කුලරත්න

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page