top of page

සෙම්ප්‍රතිශ්‍යාව සුළුවෙන් තකන්නට නම් එපා! තත්ත්වය බරපතල වේවි . . .

මේ දිනවල පවතින වැසි සහිත කාලය නිසා සෙම්ප්‍රතිශ්‍යාව පැතිර යන්නේ ඉතාමත් සීඝ්‍රයෙන් ඒ බව සනාථ වන්නේ රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීමෙන්.

 

සෙම්ප්‍රතිශ්‍යාව හා බැඳුණු රෝග

උණ, උණ සන්නිපාතය, පීනස, හිසරදය වැනි රෝග සෙම්ප්‍රතිශ්‍යාවේදී පසුකාලීනව ඇතිවන රෝග වේ. ඊට අමතරව මොළේ උණ, සෙම්ගෙඩි, සයිනොසයිටීස්, කනේ අමාරුව, මිග්‍රේන් වැනි දරුණු තත්ත්වයන්ට ද පසුකාලීනව ඇතිවිය හැකියි.

 

සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු සැලකිය යුතුයි

කිවිසුම් යනවිට රෝගියෙකුගෙන් වෛරස් විෂබීජ පිට වී යා හැකියි. එවිට තව කෙනෙකුගේ දුර්වල ප්‍රතිශක්තිකරණයක් ශරීරයේ පවතින්නේ නම් ඔහුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳිය හැකියි. මේ සඳහා ඔබ කළ යුතුව ඇත්තේ ලේන්සුවක් ප්‍රයෝජනයට ගැනීමයි. නිතර ලේන්සුව භාවිතා කරමින් කිවිසුම පිට කිරීම හොඳ සිරිතක් නිසා ඒ ගැන සැලකීම වටී. ශීතාධික ප්‍රදේශවල ගොස් දිය ඇලි භාවිතා කරමින් ස්නානය කිරීම හා දිය උල්පත් වතුර සමඟනිතර ගැටීම නොකළ යුතුයි. විශේෂයෙන් ජල ක්‍රීඩාවෙහි යෙදීමෙන් වැළකීම රෝගය වර්ධනය නොවීමට රුකුලක් වෙයි. සකස් කළ බීම වර්ග එනම් කෘතිම බීම වර්ග පානය සුදුසු නැත. මේවා සිසිල් වීම නිසා සෙම්ප්‍රතිශ්‍යාවට අගුණ වෙයි. උණු ජලය බීමට ගැනීම යෝග්‍ය බව සලකන්න. උණුසුම් වූ ජලය පානය කිරීමට සෙම්ප්‍රතිශ්‍යාව අඩු වීමට උදව් වෙයි. එවිට ආමගතිය නැති වී යයි. ජලය සිරුරින් පිටවන නිසා නිතර නිතර පිපාසාව දැනේ. එවන් අවස්ථාවලදී කොත්තමල්ලි වතුර හා ඉඟුරු, කොත්තමල්ලි වතුර පානය සුදුසු වෙයි. ඊට අමතරව හීන් අරත්ත, තිප්පිලි එකට දමා තම්බා එහි වතුර පානයට හොඳයි. විශේෂයෙන් සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකු පාවිච්චි කරන වතුර බෝතලයකින් මුව තබා වතුර බීම තුළින් ද සෙම්ප්‍රතිශ්‍යාව බෝවීමේ ප්‍රවණතාව වැඩි නිසා ඉන් වැළකී සිටීම සුදුසුයි.

 

සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකුගේ ආහාර වර්ග

මේ රෝගී තත්ත්වයේදී කෑමට ඇති රුචිය අඩු නිසා පි‍්‍රය උපදවන ආකාරයේ කෑම සකසා ගත යුතුයි. සැහැල්ලු ආහාර වර්ග තෝරා ගන්න. වට්ටක්කා, බෝංචි, කැරට්, බීට්, පරිප්පු, අල, ආහාර ලෙස සුදුසුයි. හාල් මැස්සන්, කඩල පරිප්පු ආදිය ද ආහාරයට සුදුසුයි. කරවල ව්‍යංජනය ද මේ සඳහා යෝග්‍ය වෙයි.

 

එවැනි රෝගවලින් මිදීමට කළ යුත්තේ කුමක්ද?

 

සෙම්ප්‍රතිශ්‍යාව සුළුවෙන් තකන රෝගයක් නිසා සමහරුන් ඊට ප්‍රතිකාර ගැනීම අත්හරිනු ලබයි. මේ සඳහා වෙදකම් ලෙස කිරීමට කිසිම දෙයක් නොකර ශාරීරිකව ප්‍රතිකාර නොගෙන සිටියි. ප්‍රවේසම් නොවී පාලනයක් නැති ආහාරපාන හා ඇවතුම් පැවතුම් හේතුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වී උණ රෝගය දක්වා ගොස් පසුව සන්නිපාතය හෝ දරුණු රෝග තත්ත්වයන්ට ද පත්වීමට ද ඉඩ ඇත.

 

සෙම්ප්‍රතිශ්‍යාවයෙන් වැළකී සිටීමට මෙන්න මේ කරුණු පිළිපදින්න

 

1. නිවැරදි ආහාර රටාවක් සකසා ගන්න.

 

2. නිවැරදි ඇවතුම් පැවතුම් පිළිපැදීම.

 

3. රෝගී වූ අයෙක් හා සම්බන්ධවීමේදී බෝ වීමට ඇති ඉඩකඩ වැඩි නිසා ප්‍රවේසම් වීම.

 

4. වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව ක්‍රියාකිරීම.

 

නොගත යුතු ආහාර

සෙම්ප්‍රතිශ්‍යාවට ශීත අධික ආහාර සුදුසු නැති නිසා ඒවා ගැනීමෙන් වළකින්න. කංකුං, නිවිති, මෑ කරල්, වම්බටු, බණ්ඩක්කා, අන්නාසි, සෝස් වර්ග, බල මාළු අගුණ වෙයි. හරක් මස්, ඌරු මස්, කුකුල් මස් ද ආහාරයට නුසුදුසුයි. පලා වර්ග අතර මුකුණුවැන්න ද අගුණ කොටසට අයත් වෙයි. මුදවපු කිරි, යෝගට්, ජෙලි වර්ග අගුණ ආහාර වේ. අච්චාරු, තක්කාලි, විනාකිරි, සැමන් වැනි ආහාර වර්ග ද සෙම්ප්‍රතිශ්‍යා රෝගියෙකුට අගුණ වෙයි.

 

ක්ෂණික ආහාර අගුණයි

සකස් කරන ලද ආහාර වර්ග අද බොහෝවිට දකින්නට හැකියි. කොත්තු, සෝස් වර්ග සමඟ ගන්නා පේස්ට්‍රි වර්ග අගුණ වෙයි.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page