
පිළිකා වලට ගුණ දෙන දේශීය වී වර්ග
අපේ ශරීරය ඇතුළේ මුක්ත ඛණ්ඩක හැදෙනවා. ඒවා තත්පරයකට මිලියන ගණනක් වෙනවා. මේ විදියට හැදෙන මුක්ත ඛණ්ඩක උදාසීන කරන තාක්‍ෂණික ක්‍රියාවලියකුත් අපේ ඇඟ ඇතුළේ ස්වභාවිකවම පිහිටලා තියෙනවා. ඒක එන්සයිමවලිනුත් වෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙන සෛල වලිනුත් වෙනවා. මේක ස්වභාවික ක්‍රියාවලියක්. මේවාට අමතරව අපිට මේ තත්ත්වය අපි ගන්නා ආහාර වලිනුත් ලැබෙනවා. මෙතැනදී සිදුවන්නෙ එක්තරා සමබර ක්‍රියාවලියක්.
ඒ වුණාට මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. අපි දන්නවා අපිට ලෙඩ රෝග වර්ග දෙකක් තියෙනවා කියලා. ඒ බෝවන රෝග සහ බෝ නොවන රෝග විදියට. නමුත් මෙතැනදී විශේෂයෙන් කිවයුතු වැදගත් දෙයක් තියෙනවා. එනම්, ස්වභාවිකව ශරීරය තුළ හැදෙන මේ ප්‍රතිඔක්සිකාරක ගුණයන් මූලිකවම බලපාන්නේ බෝවන රෝගවලට හිතකර විදියට. ඒකෙන් කියැවෙන්නෙ බෝ නොවන රෝග තත්ත්වයන් වලදී මේ අහිතකර තත්ත්වයන් උදාසීන කරන්නේ නෑ. මේ හින්දා මතුවෙන්නේ අහිතකර තත්ත්වයන්. මේවා ඔක්සිජන් වලින් වෙන්නත් පුළුවන්. නයිට්‍රජන්වලින් වෙන්නත් පුළුවන්. මෙන්න මේවා සියලුම බෝ නොවන රෝගවලට හේතුවෙනවා.
යම්කිසි ආහාරයක මේ තියෙන රැඩිකල් ගතිය අඩුකරන්න පුළුවන් නම් ඒ ආහාරයේ අඩංගු යම්කිසි කොටසක තියෙනවා ඖෂධීය ගුණයක්. මෙන්න මේ පිළිබඳව කාර්මික තාක්‍ෂණික ආයතනය කළ පර්යේෂණවලදී තහවුරු වුණා දේශීය පාරම්පරික රතු සහල්වල මේ ඖෂධය තියෙනවා කියලා. මේ සම්බන්ධව ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් කළ පර්යේෂණවලින් මේ තත්ත්වය විද්‍යානුකූලව මනාව තහවුරු වුණා.
මෙන්න මෙතැනදී තමයි මේ ඖෂධය පිළිකා කියන රෝගී තත්ත්වයට ඉතා වැදගත් වෙන්නේ. මේ ගැන මම මෙහෙම කියන්න කැමැතියි. පිළිකා සහ ඉදිමුම් රෝගවලට අදාළ පර්යේෂණවලදී පාකිස්තානයේ කරච්චියේ තියෙනවා ඉන්ටර්නැෂනල් ඇන්ඩ් කෙමිස්ට්‍රි බයොලොජිකල් කියලා ආයතනයක්. මේක ජාත්‍යන්තර ආයතනයක්. අපි මේ පර්යේෂණ කළේ එම ආයතනයේ. ඒ එහි මේකට අදාළ හැම පහසුකමක්ම තියෙන නිසයි.
මෙතැනදී මේ සම්බන්ධව හැම ආධාරයක්ම දුන්නේ ජාතික විද්‍යා පදනම. ඒ අනුග්‍රාහක දායකත්වය මත අපි පාරම්පරික දේශීය රතුහාල් වලින් ලබාගත්තු නිස්සාරණ ද්‍රව්‍යයන් ගෙනගියා. මේ සියල්ලෙන් අපි කළේ පිළිකා සම්බන්ධ පර්යේෂණ. දැනට ලෝකයේ වැඩිපුරම තියෙන පිළිකා වර්ගය වෙන්නෙ පෙණහලු පිළිකා. මේ පිළිකාවලින් තමයි ලෝකයේ වැඩිපුරම රෝගීන් ඉන්නේ, ඒ වගේම රෝගීන් මියයන්නේ. මේ ප්‍රමාණය අවුරුද්දකට මිලියනයක් විතර මියයනවා.
ලංකාව ගත්තාම වැඩිපුරම හමුවන පිළිකාවක් තමයි ළය පිළිකාව. අනෙක් එක වෙන්නේ ගර්භාෂ පිළිකාව. ලෝකයේ ගත්තාම හත්වැනි ස්ථානය. අපි මෙතැනදී හොයලා බැලුවා පිළිකා සම්බන්ධයෙන් මේ සහල්වලින් ලැබෙන ගුණය මොනවගේද කියලා. එතැනදී අපි මානව පිළිකාවක් සෙල් ලයින්ස් විද්‍යාගාරය ඇතුළෙ මැව්වා. නිර්මාණය කළා. එතැනදී අපි මේ ලබාගත් නිස්සාරණ යොදලා බැලුවා මේ පිළිකාව අඩු කරගන්න පුළුවන්ද කියලා. මේකෙ ප්‍රතිඵලය ලෙස ළය පිළිකාවලට ලැබුණු ප්‍රතිචාර ඉතා ඉහළ වුණා. ඒ වගේම පිළිකා සම්බන්ධව ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක පර්යේෂණ කළා. මෙතැනදී අපි සහල් නිවුඩ්ඩෙන් ලබාගත්තු නිස්සාරණවල ප්‍රෝටීන් එක එන්සයිම වලින් ඩයිජෙස්ට් කරලා ශරීර ඇතුළෙ තියෙන ප්‍රෝටීන් එන්සයිමවලින් ඩයිජෙස්ට් කළා. මෙතැනදී අපි හොයලා බැලුවා තව ක්‍රම කිහිපයකින් මේ පිළිකා තත්ත්වයත් මර්දනය කරන්න පුළුවන්ද කියලා.
මෙතැනදි බැලුවා පියයුරු පිළිකා, ආමාශ පිළිකා, ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා වලට යම් ගුණයක් ලැබෙනවද කියලා. එතැනදී අපිට ලැබුණු ප්‍රතිඵලය තමයි මේ වර්ගයේ පිළිකාවලටත් මේ හාල් වර්ග ඉතා ගුණදායක බව. ලෝකයේ තියෙනවා හාල් සම්බන්ධව කරපු පර්යේෂණ වලට ලබාගත්තු පේටන්ට් බලපත්‍ර එතැනදී ඒ අය කරන්න හාල් වලින් ගත්තු පවුඩර් ටිකක් හඳුන්වා දෙන එක. නමුත් ඒ ප්‍රතිඵලවලට වැඩිය අපේ පරම්පාරික දේශීය රතුහාල් වලින් ලැබෙන ආහාරමය ඔෟෂධීය ගුණය ඉතා වැඩියි කියලා අපිට සනාථ වුණා. මේ විදියට බැලුවාම මේ පර්යේෂණවලට ගත්තු සුදු හීනටි, ගොඩ හීනටි දික් වී හා මසුරන් කියන හාල් වර්ගය කුරුට්ට සහිතව ගැනීමෙන් පිළිකා රෝගී තත්ත්වයක් පාලනය කරන්නට ඉතා ගුණ හා හොඳ බව ඔප්පු වුණා.
මම පැහැදිලිව මේ දේ කියන්න ඕන. මේ හාල්වල මේ කියපු රෝග තත්ත්වයන් පාලනය කරන, ගුණ දෙන ඖෂධීය ගුණය තියෙන්නේ නිවුඩ්ඩේ. මේ හාල්වල නිවුඩ්ඩ අයින් කරලා ඉතුරු වෙන හාල්ටික කෑවට මේ කියන ගුණය ලැබෙන්නේ නෑ. අපි හැමදාම කරන්නේ නිවුඩ්ඩ ඉවත් කරලා ඒක සත්ත්ව ආහාර වලට දෙනවා. ඉතුරුවෙන රොඩ්ඩ කනවා.
මෙතැනදී අපි තවත් පර්යේෂණයක් කළා. ඒ තමයි මේ හාල් නිවුඩ්ඩ හාල් ඇටයෙන් ඉවත් කරලා වෙන ක්‍රමයකින් මනුෂ්‍යයාට භාවිත කරන්න පුළුවන්ද කියලා. ඒ තවත් ආහාරයක් විදියට සහ ඖෂධයක් විදියට. අපේ අරමුණු මේකයි. දැන් කරන පර්යේෂණවලදී කරන්නේ ඒ ක්‍රියාකාරී සංඝටක වෙන් කිරීම. අපි දැනටමත් දන්නවා ඇක්ටිවිට් තියෙනවා කියලා ඒ නිවුඩ්ඩේ. නිවුඩ්ඩත් එක්කම බත් කෑවොත් ලැබෙන ගුණයම හාල් ඇටෙන් නිවුඩ්ඩ ඉවත් කරලත් ලබා ගන්න පුළුවන්.
මෙතැනදී අපි කරන්නේ මේ සියලුම ගුණ තනි සංයෝගල වලට වෙන් කිරීම. මෙතැනදී අපේ බලාපොරොත්තුව මේකෙන් බෙහෙතක් නිෂ්පාදනය කරන්න පුළුවන් තත්ත්වයට මේ තත්ත්වය වැඩිදියුණු කිරීම. ඒ වගේම බෙහෙත් හා ආහාර කියන දෙක අතරමැද තියෙන තත්ත්වයක් නිර්මාණය කරන්න. එතකොට ඒකට කියන්නෙ බෙහෙතක්මත් නෙවෙයි. ආහාරයක්මත් නෙවෙයි. නමුත් ගුණ දෙකම තියෙන තත්ත්වයක්.
අරුණඩේල් විජේරත්න
ඡායාරූප - ජේ. වීරසේකර
උපුටා ගැනීම: මව්බිම