
රුධිරය දන්දෙන ඔබ මේ ගැන අවධානය යොමු කරන්න
රුධිරය යනු ඕනෑම ජීවියෙකුගේ ජීවය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍යම සාධකයකි. විවිධ හේතූන් නිසා මිනිසුන්ට රුධිරය ලබාදීමට සිදුවෙයි. එසේ පිටතින් රුධිරය ලබා දෙන්නට නම් තවත් කෙනෙකුගෙන් රුධිරය ලබා ගත යුතුය. මේ ලබා ගන්නා රුධිරය රුධිර පරිත්‍යාග කරන්නාටද හානියක් නොවන අයුරින් ලබාගත යුතුය. එමෙන්ම එම රුධිරය ලබාගන්නා අයට ද ඉන් හානියක් නොවිය යුතුය.
දෙපාර්ශවයටම හානියක් නොවන අයුරින් ඉතාම සුරක්ෂිත රුධිරය ගණුදෙනුවක් අප රටේ බොහෝ කලක සිට සිදුවෙයි. එය සිදුවන්නේ ජාතික රුධිර පාරවිලයන සේවය මුල් කර ගනිමිනි.
කිසිදු මුදලක් අය නොකර කෙරෙන මේ ගණුදෙනුව සිදුවන ආකාරයත් එහි ස්වභාවයත් පිළිබඳව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍ය පි‍්‍රයාල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ මෙසේයි.
යම් කෙනෙකුගෙන් අප ලබා ගන්නා රුධිරය සියයට සීයක්ම පිරිසුදු බවට තහවුරු කරගත යුතුයි. එමෙන්ම රුධිර පරිත්‍යාගශීලී තැනැත්තා ඉතාම නිරෝගී අයෙකු ද විය යුතුයි.
රුධිරය ලබා ගැනීමට කෙනෙකු තෝරා ගැනීමේදී වයස් සීමාව බලපානවා. එහිදී වයස අවුරුදු 18ත් 55ත් අතර වීම විශේෂයි. නමුත් රුධිරය දන් දී පළපුරුදු නිරෝගී අයෙකු නම් අවුරුදු 60ක් දක්වා රුධිරය ලබා ගැනීමේ වයස ලෙස සැලකෙනවා.
විශේෂයෙන් රුධිර පරිත්‍යාගශීලියෙකුගේ අවම බර 50kg ක් විය යුතුයි. එමෙන්ම රුධිරයේ බර මෙන්ම හිමොග්ලොබින් ප්‍රමාණය ද සොයා බැලිය යුතුයි. එහිදී රුධිර පරිත්‍යාගශීලී අයගේ ඇඟිල්ලක් සියුම් ලෙස සිදුරු කොට රුධිරය ස්වල්පයක් ගෙන රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය, රුධිරය පරිත්‍යාග කිරීමට නියමිත මට්ටම වන 12g/l පවතිනවාද යන්න සොයා බැලෙනවා.
රුධිරය පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන ගැහැණු පිරිමි දෙපාර්ශවයේම මේ තත්ත්වය නිසි පරිදි පැවතිය යුතුයි.
එමෙන්ම ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන රුධිර පරිත්‍යාගශීලියා නිරෝගී අයෙක් විය යුතුයි. ප්‍රෙෂර්, දියවැඩියාව, කහ උණ වැනි රෝගවලින් තොර අයෙකු වීම ඉතාම වැදගත් වෙනවා. ලබා ගන්නා සෑම රුධිරයක්ම වෛද්‍ය අධීක්ෂණයකට ලක් වෙනවා.
සෑම රුධිර පරිත්යාගශීලියෙක්ම රුධිර පරිත්‍යාගයට පෙර අයදුම්පතක් පිරවිය යුතුයි. එම අයදුම්පතේ අසා ඇති තොරතුරු හිතට එකඟව තනිවම පුරවා බාරදීම වැදගත් වෙනවා. විශේෂයෙන් එහි අසා ඇති ප්‍රශ්නවලට නිවැරදිම පිළිතුරු සපයා නිරෝගී රුධිරය ලබා ගැනීමට දායකවීම සෑම කෙනෙකුගේම යුතුකමක් වෙනවා.
මෙම අයදුම්පත පිරවීමෙන් පසු අදාළ තැනැත්තාව වෛද්‍යවරයකුගේ පරීක්ෂාවකට යොමු කොට නිරෝගී බව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය උපදෙස් ලබා දී රුධිරය ලබා ගැනීමට එම පුද්ගලයා සුදුසු ද යන්න තීරණය කරනවා.
විශේෂයෙන්ම රුධිරය ලබාදෙන අයගේ වයස අනුව, උස, බර, මහත අනුව රුධිරයේ ගුණාත්මක බවේ වෙනසක් ඇතිවන්නේ නැහැ.
එක් වරක් රුධිරය පරිත්‍යාග කළ අයෙකුට නැවත මාස 04ක් ඉක්ම ගිය පසු රුධිරය පරිත්‍යාග කළ හැකියි. නමුත් රුධිර පට්ටිකා පමණක් පරිත්‍යාග කරන අයෙකුට සති දෙකකට වරක් රුධිර පට්ටිකා ලබාදීම කළ හැකියි.
රුධිර පරිත්‍යාග කිරීමෙන් රුධිර පරිත්‍යාගශීලියාට කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. රුධිර පරිත්‍යාග කිරීම නිසා ශරීර වර්ධනයට හෝ ශරීර ශක්තියට බලපෑමක් වන්නේ නැහැ. ඕනෑම රුධිර පරිත්‍යාගශීලියෙකුගෙන් ලබා ගන්නා උපරිම මෙන්ම අවම රුධිර ප්‍රමාණය වන්නේ 450ml ක් පමණයි. මේ ලබාගන්නා රුධිර ප්‍රමාණය නැවත කෙනෙකුගේ ශරිරයේ මාස 02ක පමණ කාලයක් තුළ නිෂ්පාදනය වෙනවා.
රුධිර පරිත්‍යාගශීලී අයෙකුට කලාතුරකින් අතුරු ආබාධ ලෙස තාවකාලික ක්ලාන්තයක් ඇතිවිය හැකියි. එයට බොහෝවිට හේතුවන්නේ පළමුවරට රුධිරය ලබා දෙන්නෙකු රුධිරය දැකීම, රුධිරය දෙනවිට ඇතිවන හිතේ ගැස්ම, තවත් කෙනෙකු ක්ලාන්ත වී සිටීම දැකීම වැනි කරුණුයි.
එමෙන්ම ඉතාම කලාතුරකින් කෙනෙක්ගේ රුධිරය ලබා ගැනීම සඳහා අතෙහි විදිනු ලබන ස්ථානයේ කුඩා නිල් පැහැ පැල්ලමක් දැකිය හැකියි. මෙය ලේ විසිරීයාම නිසා සිදුවන්නක්. කල් යනවිට එය අඳුරු පැහැයට හැරීමක් සිදු වෙනවා. මේ සඳහා බියවිය යුතු නැහැ. ස්වේච්ඡා රුධිර දායකත්වය 100%ක්ම සපුරාගත් රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව ඇගයීමකට ලක්කර තිබෙනවා.
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෛද්‍ය
පි‍්‍රයාල් පෙරේරා
දුමින්ද සම්පත්
උපුටා ගැනීම: ආරෝග්‍යා