top of page

ඔබ ජීවත්වන්නේ සිරුරේ ඔරලෝසුව කැරකෙන ආකාරයට නොවෙයි නේද?

හිරු පායන්නේ සඳ බැසයන්නේ මිනිසාට අපූරු, වටිනාකම් කියා දෙමිනි. ඒ සෑම දෙයකටම කාල වේලාවක් තිබේ යන පාඩමයි. ක්ෂුද්‍ර ජීවින්ගේ සිට මිනිස් වර්ගයා දක්වා සියල්ලන්ටම මේ කරුණ පොදුය. එහෙත් මිනිසා නම් මේ සියල්ල බිඳ දමා තම තමන් විසින්ම රෝගී පිරිසක් බවට පත් වෙයි. නිදාගැනීම, අවදිවීම අපට අපේ ජීව ඔරලෝසුව ගැන කතා කිරීමේදී මතකයට නැඟෙන ප්‍රධාන කරුණු දෙකයි. එහෙත් රුධිර පීඩනය, උෂ්ණත්වය, හෝර්මෝන මට්ටම ආදී බොහෝ දේ රිද්මානුකූලය.

 

සවස තුනට සිටින පුද්ගලයාට වඩා උදේ නවයට සිටින පුද්ගලයා වෙනස්ය. අවධානය, සංවේදීතාව, රසය, සුවඳ දැනීම මේ සියල්ල වෙනස්ය.

 

අප වැඩිදෙනෙකුගේ ඉහළම අවධානයක් පවතින්නේ මධ්‍යහනයට ආසන්නවයි. ඉන් පසු අවධානය අඩු වේ. සන්ධ්‍යා භාගය මැද දී නිදිමත දැනෙන්නට ගනී.

 

කෙනෙකුගේ කෙටිකාලීන මතකය ඉතා යහපත් තත්ත්වයක පවතින්නේ උදෑසනයි. ඒ නිසා විභාගයට පෙර කෙටි මතකය අවදිකර ගැනීමට උදෑසන වඩාත් සුදුසුයි.

 

දිගුකාලීන මතකයක් ඇති කර ගැනීමට වඩාත් ගැලපෙන වේලාව එළඹෙන්නේ සන්ධ්‍යා භාගයේදීයි. වාර අවසානයේ පැවැත්වෙන විභාගයට පාඩම් කිරීමට සන්ධ්‍යා භාගයේදී මුල පුරන්න. වඩාත් දුෂ්කර විෂයයන් ඉගෙනීමට යෙදා ගත යුත්තේ සැඳෑ භාගයයි. එහෙත් රාත්‍රිය සැඳෑව මෙන් සුදුසු නැත.

 

මනස හා දෑත අතර සබඳතාව වඩාත් දියුණු මට්ටමක පවතින්නේ සන්ධ්‍යා කාලයේයි. වඩු වැඩට, ටයිප් කිරීමට, මැසීමට මේ වේලාව කදිමයි.

 

ක්‍රීඩාවට දහවල් දොළහෙන් පසු එළඹෙන කාලය හා සැඳෑ භාගයේ ආරම්භය කදිමයි. වඩාත් උණුසුම් ක්‍රීඩා තරග මෙබඳු වෙලාවක නැරැඹිය හැකියි.

 

සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම නිසා කායික ක්‍රියාකාරීත්වය වඩාත් පහසු වේ. වෙහෙස දැනෙන්නේ අඩුවෙනි. අප වැඩි දෙනෙක් නොසිතුවත් වඩාත් වෙහෙස වී වැඩ කළ හැක්කේ සැන්දෑවේදීයි. පිහිනීම, දිවීම වැනි ක්‍රියාකාරකම්වලට වඩාත් සුදුසු සැඳෑවයි.

 

දිවා කාලයේ අවසන් භාගය සහ සැන්දෑවේ මුලදී මිනිසාගේ රස දැනීම, පෙනීම, ඇසීම, ස්පර්ශය සුවඳ දැනීම ඉතා ඉහළ තත්ත්වයක පවතී. උදෑසන ආහාරයට වඩා රාතී‍්‍ර ආහාරයට වැඩි කැමැත්තක් ඇතිවන්නේ මේ නිසයි. බොහෝදෙනෙකුගේ රාත්‍රී ආහාරය මඟහැරෙන්නේ නැත. එහෙත් මඟහැරිය යුතු නැත්තේම උදෑසන ආහාරයයි.

 

වැඩිහිටියන්ට වඩාත් තදින් නින්ද යන්නේ පාන්දර දෙක සහ හතර අතර කාලයේදීය. සැන්දෑවේ නම් පස්වරු එකත් තුනත් අතරය.

අප වඩාත් උදෑසනට ක්‍රියාකාරී, ආතති හෝර්මෝන වන ඇඩ්‍රිනලීන් හා කෝටිසෝල් උදෑසනට රුධිරයට වැඩිපුර නිදහස් වෙන නිසයි.

 

රාත්‍රියට සිඟන්නකු සේ සුළු ආහාරයක් ගන්නා ලෙසට පැවසීමට එක් හේතුවක් වන්නේ ආහාර ජීර්ණ එන්සයිම රාත්‍රියට අඩුවෙන් ස්‍රාවය වීමයි. ජීර්ණ එන්සයිම වැඩිපුර ස්‍රාවය වන්නේ දවල් කාලයේදීය. මහා බඩවැල වඩාත් ක්‍රියාකාරී උදෑසනටයි. උදෑසනට මළ පිටකිරීමට පුරුද්දක් ඇති කරගැනීම වඩාත් සුදුසු මේ නිසයි. ස්වභාවික ආලෝකය යටතේ සතුට ගෙනෙන සෙරොටොනින් හෝර්මෝනය සිරුරින් නිපදවෙයි. හිරු පායා ඇති සෑම මොහොතකම සතුටින් සිටීමට උත්සාහ කරන්න. සරත් ඍතුව ආදරය උතුරා යන ඍතුවයි. ආදරය වසන්තයක් ලෙස සැලකුව ද සැබෑ වසන්තය ජිව ඔරලෝසුවට අනුව එළඹෙන්නේ සරත් කාලයේදීයි.

 

පොදුවේ ගත් කළ ජීව කාලසටහන මෙසේ ලියවී තිබුණ ද එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. හිරු සඳු දවසේ වේලාව තීරණය කළත් සිරුරේ ඔරලෝසු කටු කරකැවෙන ආකාරය ගැන තීරණය කළ හැක්කේ තමන්ටමය. ඒ සඳහා ඔබ සිරුර පවසන දේ ගැන දැඩි අවධානයකින් සිටිය යුතුය.

 

ව්‍යායාම කිරීමට වඩා සුදුසු වේලාවල් තිබුණ ද ඊට නම් යෙදෙන සෑම කාල වේලාවක්ම උපරිමයෙන් යොදා ගැනීම නුවණට හුරුය. නවීන කාලයේ මිනිසුන් තමන්ගේම ජීව ඔරලෝසුව වෙනස් කිරීමට නොගන්නා උත්සාහයක් නැත. මිනිසා ඉපදී සිටින්නේ රාත්‍රී සේවය කිරීමට සුදුසු අයුරින් නොවෙයි.

 

ආලෝකය විෂාද රෝගීන්ට සහ රාත්‍රී වැඩමුරයෙහි යෙදෙන්නන්ට ප්‍රතිකාර වශයෙන් යොදා ගනී.

 

වෛද්‍යවරයා ප්‍රතිකාර කරන වේලාවට ඖෂධ ගන්නා වේලාවට ජීව ඔරලෝසුවට දක්වන ප්‍රතිචාර වෙනස්ය. ඒ වාගේම සංකූලතා ද වෙනස්ය.

 

තවමත් මේ ගැන පර්යේෂණ සිදු කෙරෙමින් පවතී. අනාගතයේදී පුද්ගලයන්ගේ ජිව ඔරලෝසුවට අනුව ප්‍රතිකාර කිරිමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට රෝගීන්ට ඉඩ ලැබෙනු ඇත.

 

-චම්පිකා දීපානි රණසිංහ

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page