top of page

කොන්දේ කැක්කුමත් සමඟ ඇතිවන අවදානම් රෝග ලක්ෂණ

කොන්දේ අමාරුවක් යනු කුමක්ද?

 

 

කොන්දේ අමාරුව පිළිබඳ කතාබහ කරන විට රෝගීන් බොහෝවිට මැසිවිලි නඟන්නේ කොන්දේ පහළ ප්‍රදේශය ආශි‍්‍රතව ඇතිවන වේදනාවන් පිළිබඳවය. ඊට අමතරව කොන්ද ආශි‍්‍රතව තිබෙන මාංශපේශිවල කැක්කුම්, කොන්ද නිර්මාණය වී තිබෙන අස්ථිවල කැක්කුම්ද කොඳු ඇටපෙළ හරහා ගමන් කරන ස්නායුවල තෙරපීම ද මේ සඳහා බොහෝදුරට හේතුවිය හැකි වේ. ඊට අමතරව කොන්දට හාත්පසින්ම වෙනත් පැත්තක තිබෙන ඉන්ද්‍රියයක යම් ගැටලු ද කොන්දේ අමාරුව සඳහා හේතුවිය හැකියි.

කොන්දේ කැක්කුමක තිබෙන ස්වරූපය අනුව ඒ පිළිබඳව අපි යම් ඉඟි ඇතිකර ගන්නවා නේද?


කොන්දේ අමාරුවේ ස්වරූපය හා එම රෝගී තත්ත්වයට මුහුණ දෙන තැනැත්තාගේ වයස අනුව ඒ සඳහා බලපාන හේතු විවිධාකාර වේ. එහිදී තරුණ වයස්වල පසුවන අයට හා තරමක් වයස්ගත අයට කොන්දේ කැක්කුම් ඇති වීම සඳහා බලපාන හේතු අතර යම් වෙනසක් දැකගත හැකි වේ.

එමෙන්ම වේදනාවේ ස්වභාවය අනුව හා කොන්දේ කැක්කුම ඇතිවන වේලාව (උදේට කොන්දේ කැක්කුම ඇති වනවා ද, දවල්ට කොන්දේ කැක්කුම ඇති වනවා ද නැත්නම් නිරන්තරයෙන් කොන්දේ කැක්කුමක් තිබෙනවාද) පිළිබඳව සලකා බැලිය යුතුවේ.

එසේත් නැත්නම් කොන්දේ කැක්කුමත් සමඟ කකුල දිගට දිවෙන වේදනාවක් පවතිනවා නම් එය බොහෝවිට සයිටිකා වැනි රෝග තත්ත්වයක් විය හැකියි. මීට අමතරව කොන්දේ කැක්කුමත් සමඟ මුත්‍රා පිටකර ගැනීමේ අපහසුවක් තිබෙනවා නම් එය වෙනත් බරපතළ රෝග හේතුවක් විය හැකියි.

රාත්‍රී නින්දේදී තදබල කොන්දේ වේදනාවක් ඇති වූවොත්?


තමාට හුරුනොවන ඉරියව්වකින් බොහෝ වේලාවක් සිටින විට මාංශ පේශී තද වීමෙන් කොන්දේ වේදනාවන් ඇතිවිය හැකියි. මෙම නුහුරු ඉරියව්ව ඇතැම්විට ඉඳගෙන සිටින විට, සිටගෙන සිටින විට ආදී ඕනෑම ඉරියව්වක වැරදි ආකාරයක සිටින විට මේ වේදනාවන් ඇති විය හැකියි.

කොන්දේ අමාරුවට බලපාන බරපතළ හා බහුල හේතු මොනවාද?


කොන්දේ අමාරුව සඳහා බහුල වශයෙන් බලපාන හේතු ගණනාවක් තිබේ. ඒ අතර කොන්ද නිර්මාණය වී ඇති කෂේරුකා අතර ඇති, අන්තර් කෂේරුක මණ්ඩලයේ ඇතිවන ප්‍රදාහයන් මෙන්ම වයසත් සමඟ ඇතිවන වෙනස්වීම් නිසා කොන්දේ අමාරු ඇතිවිය හැකියි. ඊට අමතරව කොඳු ඇටපෙළේ ඇති ඩිස්ක් එකක් පැනීම නිසා ඒ ආශි‍්‍රත ස්නායුව තෙරපීමෙන් කොන්ද කැක්කුම් ඇති විය හැකියි. ඒ වගේම ඉහත පැහැදිලි කළ තත්ත්වයන් බොහෝදුරට තරුණ වයස්වල සිටින අය අතර සුලබ වේ.

කොන්දේ අමරුවත් සමඟ වෙනත් රෝග ලක්ෂණ ඇති වුණොත්?


කොන්දේ අමාරුවත් සමඟ වෙනත් අවදානම් රෝග ලක්ෂණ ඇති වුණොත් ඒ පිළිබඳ විමසිලිමත්ව සිටිය යුතු වේ. මේ අතර කොන්දේ කැක්කුමක් සමඟ ඇතිවන තදබල කකුලේ අමාරු, නොදැනුවත්වම මුත්‍රා පිටවීම, මුත්‍රා පිටකිරීමේ අපහසුතා මෙන්ම ක්‍රම ක්‍රමයෙන් වැඩිවන කොන්දේ අමාරු වයස අවුරුදු 60 න් පසුව ඇතිවන කොන්දේ අමාරුකම්, පිළිකාවක් සෑදුණු අයෙකුට ඇතිවන කොන්දේ අමාරු මෙන්ම කකුල පණ නැති වීමක් සිදු වූවොත් එවැනි ලක්ෂණ අවදානම් තත්ත්ව ලෙස සැලකිය හැකි වේ. එවැනි තත්ත්ව වලින් පෙළෙන අය සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ. එහිදී ESR පරීක්ෂණයක් හෝ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කළොත් MRI වැනි පරීක්ෂණයක් පවා ඔබට සිදු කිරීමට සිදු වේවි.

CT ස්කෑන් සහ MRI ස්කෑන් අතුරින් වඩාත් හොඳ පරීක්ෂණය කුමක්ද?


මෙම පරීක්ෂණ අතුරින් MRI ස්කෑන් පරීක්ෂණයේදී මෘදු පටක දැකබලා ගැනීමේ හැකියාව වැඩි වේ. ඒ වගේම ඉතා කුඩා සන්ධිවල කෂේරුකා අතර තිබෙන සන්ධිවල සිදුවන වෙනස්වීම් ද මෙම පරීක්ෂණ ක්‍රමය හරහා සිදු කළ හැකි වේ. බොහෝ වේලාවට කොන්දේ අමාරුවකදී ප්‍රධාන වශයෙන් දැක බලාගත යුත්තේ සන්ධිවල ඇතිවන වෙනස්කම්ය.

ඒ නිසා කොන්දේ අමාරුවකදී ස්නායු හා ඉතා කුඩා සන්ධි පිළිබඳ පරීක්ෂා කිරීම වැදගත් නිසා MRI පරීක්ෂණය වඩාත් සුදුසු වේ. නමුත් ඇතැම් අවස්ථාවලදී CT ස්කෑන් පරීක්ෂණය ද ඉතා වැදගත් වේ. එම CT පරීක්ෂණයේදී විමසා බලන්නේ අස්ථිවල පවතින ව්‍යුහය පිළිබඳවයි. කෙසේ වෙතත් මේ සියල්ල රඳා පවතින්නේ රෝගියාගේ රෝග ලක්ෂණ, වෛද්‍යවරයා සොයා ගන්නා විවිධ කරුණු හා රෝග ඉතිහාසය අනුවයි. ක්ෂය රෝගය වැනි විසබීජයක් කොන්දට ගිය මුල් අවස්ථාවේදී ESR අගය ඉතා ඉහළ අගයට පත්විය හැකියි. බොහෝදුරට ක්ෂය රෝගය වැනි විසබීජයක් කොන්දට යාම නිසාත් කොන්දේ අමාරුව ඇතිවිය හැකි වේ.

ඒ වගේම MRI වැනි පරික්ෂණයක ප්‍රතිඵල කුමන ආකාර වුවත් වෛද්‍ය උපදෙස් වලින් තොරව රෝගීන් විවිධාකාර නිගමන කරා නොයා යුතු වේ. ඒ නිසා රෝගියාට ස්නායු තෙරපුම් රාශියක් තිබූ පමණින් ශල්‍යකර්මයක් නොකළ යුතු බව ඔබ හොඳින් අවබෝධ කරගත යුතු කරුණකි.

ඩිස්ක් එකක් පැනීම (අන්තර් කෂේරුක මඬල පිටපැනීම) ගැන තව දුරටත් පැහැදිලි කළොත්?

මේ රෝග තත්ත්වය තරුණ අය අතර සුලබ වේ. මේවා ඇතිවන්නේ ඔවුන්ගේ චර්යාවේ, ජීවන රටාවේ වෙනස්වීම් අනුවයි. යම් බරක් එසවීම වැනි ක්‍රියා මීට බොහෝදුරට හේතුවිය හැකියි. මෙහිදී රෝගියාට තදබල වේදනාවක් හා කකුලේ කැක්කුමක් ඇති වේ. ඊට අමතරව කකුලේ හිරිගතිය හෝ පණ නැති ගතියක් ඇතිවිය හැකියි. මේ තත්ත්වය බොහෝදුරට මහපට ඇඟිල්ල හා වළලුකර ආශි‍්‍රතව ඇතිවිය හැකි වේ. මේ තත්ත්වය සයිටිකා යන නමින් ද හැඳින්වේ.

මේ අවස්ථාවේදී වෛද්‍යවරුන්ගේ කාර්යභාර්යය කුමන ආකාරද?

මෙහිදී ප්‍රධාන වශයෙන් රෝගියාට අවදානම් රෝග ලක්ෂණ තිබේදැයි විමසා බැලෙයි. එහිදී රෝගියාට නොදැනුවත්ම මුත්‍රා පිට වේ නම් එහිදි MRI පරික්ෂණයකින් අනතුරුව වහාම රෝගියා ශල්‍යකර්මයක් කරා යොමුකරවිය යුතු වේ. මෙවැනි අවදානම් රෝග ලක්ෂණ බහුතරයකට නොමැති අතර ඔවුන්ට ඖෂධ හා විවේකය මඟින් ප්‍රතිකාර කර වේදනාවන් අඩු කරනු ලැබේ.

වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මෙවැනි රෝග සඳහා සිදු කරනු ලබන්නේ ඉතා කුඩා කැපුමක් යෙදීමයි. එම ශල්‍යකර්ම සාර්ථකව සිදු කරනු ලැබේ. මෙම සාර්ථක ශල්‍යකර්මයේදී ඇතිවන අතුරු ආබාධ ප්‍රමාණය ඉතා අඩු නිසා මෙම සැත්කම් සිදු කරවා ගැනීමට ඔබ එතරම් බියක් ඇති කර ගත යුතු නොවේ.

මෙවැනි ශල්‍යකර්මයකින් අනතුරුව නැවත ඩිස්ක් එකක් පැනීමේ හැකියාවක් තිබේද?


එසේ වීමේ හැකියාව ඉතාම අඩු වේ.

වයස්ගත වීමත් සමඟ කොන්දේ අමාරුව ඇතිවේද?

 

සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 න් පසුව මෙම රෝග තත්ත්වය සුලබව ඇති වේ. එවැනි අයට මඳ දුරක් ඇවිද යනවිට කකුල්වල තද ගතිය, හිරි ගතියක් කැක්කුමක් ඇතිවිය හැකි වේ. නමුත් ඇවිදීම නැවතීම හෝ වාඩි වීමේදී නැවත වේදනාව යටපත් වන බවද ඔවුන් පවසයි. මෙහිදී සිදුවන්නේ වයසත් සමඟ සුසුම්නාවේ විශ්කම්භය අඩු වීමයි. අන්තර් කෂේරුක මණ්ඩල තිබෙන තැන් කිහිපයක් තදවීම හා විස්තාරණය වීම නිසා සුසුම්නාවේ තිබෙන ස්නායුවලට ගමන් කිරීමට තිබෙන ඉඩකඩ අඩු වේ. මේ නිසා සුසුම්නාව වටේ තිබෙන රුධිර සැපයුමේ යම් තදවීමක් ඇති වී අදාළ පුද්ගලයා බරපතළ ලෙස වේදනාවට ලක් කරයි.

මෙවැනි තත්ත්වයකදී ශල්‍යකර්මයක් සිදු කිරීම අනිවාර්ය වන අතර ඖෂධ, ව්‍යායාම මඟින් පමණක් සුව කළ නොහැකි වේ. මෙහිදී සිදු කරන ශල්‍යකර්මය එතරම් සංකීර්ණ නොවේ. මෙය වයස අවුරුදු 60 -65 පසු කර ඇති අයට විශේෂිත වේ. නමුත් උපතින්ම සුසුම්නා සිදුර කුඩා අයට ද මේ රෝගී තත්ත්වය තරුණ වයසේදී ඇතිවිය හැකි වේ.

අවුරුදු 60ට පසුව කොන්දේ කැක්කුම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ ඇයි?


වයස අවුරුදු 60ට පසු පුද්ගලයන්ට කොන්දේ කැක්කුම සඳහා බලපාන හේතු තරමක් වෙනස්විය හැකියි. එහිදී ප්‍රධාන වශයෙන් අපට දැකගත හැක්කේ පිළිකාමය තත්ත්වයන්ය. වෙනත් තැනක ඇති පිළිකාවක කොටසක් කොන්ද දක්වා පැතිර වේදනා ඇති කරවිය හැකි නිසා එවැනි අය ප්‍රමාද නොකර ප්‍රතිකාර කරා යොමු විය යුතු වේ. නමුත් මේ තත්ත්ව ඉතාමත් කලාතුරකින් ඇති වූවත් අවදානම් තත්ත්ව තිබේ නම් ඒ පිළිබඳ කල්පනාකාරී විය යුතු වේ.

වයසත් සමඟ කොඳු ඇට පෙළ ආශි‍්‍රතව ඇතිවන ගැටලුකාරී තත්ත්ව මොනවාද?

කොඳු ඇට එකක් මත එකක් පැනීමට හැකි වේ. එවැනි රෝගීන්ගේ වේදනාව හා පීඩාකාරී බව මත ශල්‍යකර්මයක් කරා යනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණය කළ හැකි වේ. ඒ සඳහා ශල්‍යකර්මයක් සිදු කරනවා නම් ඇණ යොදා එම කොඳු ඇට දෙක රඳවා තබා ගැනීමක් සිදු කරනු ලැබේ. මෙම රෝගී තත්ත්වය එක් කොඳු ඇටයක් මත තව ඇටයක් ලිස්සායාමක් ලෙසින් ද හැඳින්විය හැකියි.

මේ සඳහා හේතු වන්නේ මොනවාද?

පුද්ගලයාගේ ශරීරයේ බර කොන්දට ඔරොත්තු නොදීම, අස්ථිවල ශක්තිමත් බව අඩුවීම, වයස්ගත වීමත් සමඟ ඇතිවන ඇට දිරාපත් වීම මත මේ තත්ත්වය ඇති වේ. තවද දුම්පානය හා එහි කාබනික රසායන සංයෝගය මීට බලපාන ප්‍රධාන හේතුවකි.

ඉහත හේතූන්ට අමතරව කොන්දේ අමාරුවට බලපාන වෙනත් හේතු මොනවාද?

කොන්දට ආරක්ෂාව සපයන මාශපේෂිවල තදවීමක් නිසා කැක්කුමක් ලෙසින් මතුවිය හැකි වේ. මෙය තරණ වයස්වල සිටින්නන්ගෙන් අතර සුලබව දැකගත හැකි වේ. මෙහිදී බරක් ඉසිලීම සඳහා නුහුරු ඉරියව් භාවිතය මීට හේතුවිය හැකි වේ.

වාඩි වීමේදී නිවැරදි ඉරියව් අනුගමනයෙන් කොඳු ඇට පෙළේ ස්වභාවික වක්‍රතාවන් ආරක්ෂා කරගත හැකි වේ.

එම වක්‍රතාවන්ට බලපෑම් ඇති වූවොත් එය කොන්දේ කැක්කුම් සඳහා හේතුවිය හැකි වේ.

පාසැල් දරුවන් ගෙන යන පාසැල් බෑග්, නිසාද කොඳු ඇට පෙළට බලපෑම් ඇතිවිය හැකි වේ. මීට අමතරව දුම්පානය, ඉතා අඩි උස පාවහන් පැළඳීම ද කොඳු ඇට පෙළට අහිතකර බලපෑම් ඇති කරවිය හැකියි. බෑග් රැගෙන යාම, දුම්පානය, වාඩිවීම හා අඩි උස පාවහන් භාවිතය ආදිය තරුණ වයසේ අයට කොඳු ඇට පෙළේ වේදනාවට හේතු වේ.

ඒ වගේම බරක් එසවීමේදී කොන්ද ඍජුව තබාගෙන දණහිස්වලින් නැවී බර එසවිය යුතු වේ. ඔබට දරන්නට නොහැකි බරක් නම් ඒ දේවලින් වැළකී සිටීම වඩාත් සුදුසුයි.

කොන්දේ අමාරුවට විවේක ගැනීම සුදුසුද?

මාංශ පේශි ඇදීම හෝ තදවීම නිසා කොන්දේ කැක්කුමක් ඇති වී තිබේ නම් එහිදී එම පුද්ගලයාට විවේක ගන්නා ලෙස පවසන අතර එය පැය 48ක් දක්වා සීමා කළ යුතු වේ.

ඊට වඩා විවේකයක් ලබා දුන්නොත් එය අනවශ්‍ය ලෙසට පුද්ගලයාට බලපෑම් ඇති විය හැකියි. එහිදී දිගින් දිගටම පුද්ගලයා විවේක ගැනීමට යාමෙන් සිදුවන්නේ යහපතක් නොවේ. ඒ වගේම වේදනාව නොමැති විට ව්‍යායාම මඟින් කොන්ද හා ඒ ආශි‍්‍රත මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාමවල නිරතවිය යුතුයි. නමුත් කැක්කුම තිබෙන වෙලාවට ව්‍යායාම් කිරීම සුදුසු නොවේ.

කොඳුඇට පෙළ ඇද වීම පිළිබඳ පැවසුවොත්?

කොඳු ඇටපෙළ ඇදවීම කෝලියෝසිස් නම් වේ. මෙම ඇදවීම පැත්තට ඇදවීම හෝ දෙපසට ඇදවීමක් විය හැකියි. ඒ තත්ත්වය වේලාසනින් හඳුනා ගැනීම හා ඊට අදාළ පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ. ඇතැම්විට මොළය ගෙල අතර ප්‍රදේශය ඇදවීමක් ද දැකගත හැකියි.

- නුවන්ති කුලරත්න

උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page