top of page

අතරයිටීස් වැළඳීමට වයස් සීමාවක් නැහැ

නූතන මිනිසාට ඇති ප්‍රධානතම අභියෝගවලින් එකක් නම්, මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීමේ ගැටලුවයි.  තවද අද බොහෝ

දෙනෙකු මුහුණ දෙන සෞඛ්‍ය ගැටලු අතර සන්ධි රෝග ද ප්‍රධානයි. ආතරයිටීස් රෝග එහිදී බහුලව කතාබහට ලක්වන මාතෘකාවකි.

 

ආතරයිටීස් යනු සන්ධි, ප්‍රදාහයට පත් වීමයි. එනම් සන්ධි ඉදිමුමට ලක් වීමයි. අස්ථි දෙකක් හෝ වැඩි ප්‍රමාණයක් එකතු වන ස්ථානය සන්ධියක් ලෙස හැඳින්වෙන අතර, සන්ධියක ප්‍රධානතම කාර්යය වන්නේ චලනයයි. සන්ධියක් ඇතුළත මෙන්ම, සන්ධිය වටා ඇති සියුම් පටකවල ඉදිමුම ආතරයිටීස් ලෙස හැඳින්වේ.

 

ආතරයිටීස් වර්ග රැසක් පවතින අතර, වැඩිපුර කතාබට ලක්වන වැඩි වැදගත්කමක් සහිත ආතරයිටීස් වර්ගයක් වනුයේ රුමටොයිඩ් ආතරයිටීස්ය.

 

රුමටොයිඩ් ආතරයිටීස් දිගුකල් පවතින රෝගයකි. එනම් එය, අවුරුදු ගණන් හෝ මුළු ජීවිත කාලය පුරා වුවද පැවතිය හැකි රෝගයකි.

 

මේ රෝගී තත්ත්වය නිසා සන්ධි ඇදවීමකට ලක් වීමේ හැකියාව ඇත. එමඟින් පුද්ගලයකුට එදිනෙදා කාර්යයන් කර ගැනීමේ බරපතළ ගැටලු පවා ඇතිවිය හැක.

 

උදාහරණයක් ලෙස දණහිස් සන්ධිය නරක් වීමෙන්, අදාළ ක්‍රියාකාරීත්වයන් සිදු නොවීම නිසා පුද්ගලයකුට ඇවිදීමට අපහසු විය හැක. එමෙන්ම මෙය සන්ධි වැඩි ප්‍රමාණයකට ද බලපෑ හැකි තත්ත්වයකි.

 

ඔස්ටියෝ ආතරයිටීස් සන්ධි රෝග අතර බහුලම සන්ධි රෝගය ඔස්ටියෝ ආතරයිටීස් රෝගයයි. වැඩිහිටියන් අතර වඩාත් සුලබ රෝගයක් වන ඔස්ටියෝ ආතරයිටීස් සන්ධි ගෙවී යාම නිසා හටගන්නා රෝගී තත්ත්වයකි. විශේෂයෙන්ම අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටියන් කෙරෙන් මේ තත්ත්වය බහුලව දැකගත හැක.

 

රුමටික් ආතරයිටීස්

රුමටික් ආතරයිටීස් රෝගය බොහෝදුරට ළමයින්ට ඇතිවන රෝගී තත්ත්වයකි. මෙම රෝගයට ගොදුරු වීමෙන් සන්ධිවලට අමතරව හෘද වස්තුවේ කපාටවලට ද මින් බලපෑමක් ඇතිවිය හැක.

 

රියැක්ටිව් ආතරයිටීස්

මෙම රෝගී තත්ත්වය හටගන්නේ විසබීජයක් නිසා ඇති වූ ආසාදනයකට ඇති වන්නා වූ ප්‍රතික්‍රියාවක් ලෙසය. එනම් සිරුරේ කුමන ස්ථානයකට හෝ විසබීජයක් ඇතුළු වීමෙන් ආසාදනයක් ඇති වූ විට ඊට ප්‍රතික්‍රියාවක් ලෙස සන්ධිවල ඉදිමුමක් ඇතිවිය හැක.

 

ආතරයිටීස් රෝගවල බලපෑම ඇත්තේ වැඩිහිටියන්ට පමණක්ද?

නැත. ඕනෑම වයසකදී පුද්ගයකුට වැළඳීමේ හැකියාව තිබේ. නමුත් වයස අනුව රෝග තත්ත්වයන් ද එකිනෙකට වෙනස් වෙයි. උදාහරණයක් ලෙස රුමටික් ආතරයිටීස් කුඩා දරුවන්ට වැළඳෙන ආතරයිටීස් රෝගයක් වූ අතර, ඔස්ටියෝ ආතරයිටීස් වැඩිහිටියන්ට ඇතිවන රෝගී තත්ත්වයකි.

 

ආතරයිටීස් රෝග වළක්වා ගත හැකිද?

ආතරයිටීස් රෝග මුළුමනින්ම වළකාගත නොහැක. නමුත් රුමටික් ආතරයිටීස් රෝග තත්ත්ව නැවත ඇති වීම වළක්වා ගත හැක.

 

යම් අවස්ථාවල දරුවන්ට වැළඳෙන රුමටික් ආතරයිටීස් රෝගය දරුවන්ගේ උගුරේ ඇතිවන ආසාදනයක් හේතුවෙන් ඇතිවිය හැකි තත්ත්වයකි.

 

එහිදී වරක් වැළදුණ රෝගය තව වරක් ඇතිවීම වැළැක්වීමට හැකි වනුයේ උගුරේ ආසාදනය නැවත වරක් ඇති වීම වැළැක්වීමෙන්ය පෙන්සිලින් නැමැති ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් උගුරේ ඇතිවන ආසාදනය වැළැක්විය හැක.

 

එමඟින් රුමටික් ආතරයිටීස් රෝගය ද නැවත ඇති වීම වළක්වා ගැනීමේ හැකියාව පවතී.

 

ගවුට් ආතරයිටීස්

සිරුරේ නිපදවෙන යූරික් ඇසිඩ් නැමැති රසායන ද්‍රව්‍යයේ වැඩිවීමක් නිසා මෙම රෝගී තත්ත්වය හට ගනී. එවැනි අවස්ථාවකදී යූරික් ඇසිඩ් රසායනය අඩු කරන ඖෂධ ලබා දීම මඟින් මෙම රෝගය වැළැක්වීමේ හැකියාව පවතී. කෙසේ වෙතත් උදාහරණ මඟින් දැක්වූ මෙවැනි තත්ත්ව කීපයක් හැරුණු විට සෙසු ආතරයිටීස් රෝග වළක්වා ගැනීමේ හැකියාව තරමක් අඩුය.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page