top of page

කූඩැල්ලන් ප්‍රතිකාරය මඟින් වෙරිකෝස් වේන් සුව කළ හැකියි

 

අද සමාජය තුළ පීඩා විඳින රෝග අතර අධික රුධිර පීඩනය, දියවැඩියාව හා අධික කොලෙස්ටරෝල් බහුලව පැවතුණත් ඇතැම් පිරිසක් එතරම් තැකීමක් නොකරන රෝග ද පවති. එවැනි රෝගයක් ලෙස වෙරිකෝස් වේන් නම් රෝග තත්ත්වය හඳුන්වා දිය හැකියි. ආයුර්වේදයේ ශිරා ග්‍රන්ථි හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ නහර ගැට ගැසීම නමින් මෙය හැඳින්වීමට පුළුවන. මෙම රෝගී තත්ත්වයේ දරුණු ස්වභාවයන් මිනිසුන් හඳුනාගන්නේ පාදවල ඇතිවන තදබල වේදනාවක් ඇති වීමත් සමඟයි. මෙහි පැවතෙන මූලික අවස්ථාව එතරම් කරදරකාරී නොවන අතර මේ රෝග තත්ත්වය වැඩි දියුණු වුවහොත් අවසානයේ ශල්‍යකර්මයකට වුවද ලක්විය හැකියි. නමුත් එසේ කිරීමෙන් පවා සුවයක් ලද නොහැකි තත්ත්වයට පත්වීම අවාසනාවට කරුණක් වනු ඇත.

 

රෝගය ගැන අවධානය

 

ශිරා ග්‍රන්ථි රෝගය ගැන යම් අවබෝධයක් ලබා ගැනීම වඩාත් උත්සුක විය යුත්තේ අවසානයේදී ලබන දරුණු රෝගී තත්ත්වය නිසායි.

 

සරලව ගතහොත් අපට රෝගියෙකු තුළින් මෙම රෝගී තත්ත්වය දැකගත හැකිවන්නේ මඳක් ඉහළට එසවුණු එසේත් නැත්නම් මඳක් ඉලිප්පී එන නහර ලෙස හෝ ඉලිප්පී එන ග්‍රන්ථි ස්වරූපයකිනි. මෙම නිසා මෙය ව්‍යවහාරයේ නහර ගැටගැසීම නමින් ඔබ අප දැනුවත් වී ඇත. බාහිරව මෙය සරලව පෙන්නුම් කළ ද මෙහි අභ්‍යන්තර තත්ත්වය තරමක් සංකීර්ණ ස්වරූපයක් ගනී.

 

වෙරිකෝස් වේන් හැදෙන්නේ

 

සාමාන්‍යයෙයන් මෙය හැදෙන්නේ මිනිස් සිරුරේ රුධිර සංසරණයේදී අපර මහා ශිරාව වෙත එන රුධිරය (අපිරිසිදු රුධිරය) සැපයීමේ කාර්යය භාර්ය පවතින්නේ පර්යන්ත ශිරා ඔස්සේ ගැඹුරු ශිරාවලටයි. මේ කාර්යය සිදු කිරීමේදී මාංශ පේශිවලින් ඇතිවන සංකෝචනය හා ප්‍රසාරණය බලය හමුවේ රුධිරය මෙම ශිරා ඔස්සේ ගමන් කිරීමක් සිදු වේ. මෙහිදී මෙම ශිරාවල පවත්නා දොරටු හෙවත් කපාටවල උපයෝගීතාවය ඉතා වැදගත් වේ. මෙම රෝග තත්ත්වයේදී මෙම ශිරාවල පවතින කපාටයන්හි දුර්වලතාවයන් නිසා එම ශිරා ආශි‍්‍රත රුධිරය සම්පූර්ණයෙන්ම අපර මහා ශිරාවට නොගොස් පෙර කී ශිරා ආශි‍්‍රතව ඉතිරි වේ. එසේ වූ රුධිරය එක් රැස්වීම් ග්‍රන්ථි හෙවත් ගැටිති ලෙස අපට දිස් වේ.

 

ඇතිවීමට හේතු

 

ශරීරය අධික ලෙස ස්ථුල අයට මෙය බලපායි. එසේම ගර්භනී භාවය ද බලපානු ඇත. ගර්භණීත්වයෙන් පසුව ද මේ රෝගී තත්ත්ව පවතී. කිහිපවිටක් දරුවන් බිහි කර ඇති අයට විශේෂයි. එනම් ගර්භනී වනවිට ඇතිවන බර වැඩිවීම නිසයි. අධිකව වෙහෙසී බර වැඩ කරන කම්කරුවන්ට මේ වෙරිකෝස් වේන් රෝගී තත්ත්වය ඇතිවිය හැකියි. දෛනිකව සිටගෙන සිටින්නන්ට මේ රෝගය වැළඳේ. ඒ අනුව තම රැකියාව සිටගෙන සිට කරන රැකියාවක් වීම ද හේතුවිය හැකියි. උදා. මුරකරු, බස් කොන්දස්තරවරු වැනි අය තුළ මෙම රෝගය දැකිය හැකියි.

 

වැළකීමට

 

ඉහත සඳහන් හේතු කාරකවලින් වැළකී සිටීම තුළින් මෙම රෝගී තත්ත්වයෙන් මිදිය හැකියි. වෙහෙසී බර වැඩ කිරීම හා තමාගේ බර වැඩි වීමට බලපායි. බර අඩු කර ලීමට ආහාර පාලනය කිරීම කළ හැකියි. ඒ සඳහා පිටි අධික ආහාර හා පැණි රස ආහාර අඩු කිරීම වඩා වැදගත් වේ.

 

ප්‍රතිකාර සඳහා

 

නහර ගැට ගසන රෝගයට විශේෂයෙන් නිර්විෂ විශේෂිත කූඩැල්ලන් ලවා ශිරා ග්‍රන්ථි පවතින ප්‍රදේශයට යෙදීම හා ඒ තුළින් එහි ඇති අපිරිසිදු රුධිරය කූඩැල්ලන් මඟින් ඉවත් කිරීම සිදු කළ හැකියි.

 

ශිරා වේදනය - කූඩැල්ලන් ප්‍රතිකාරයට සමහරු බියක් දක්වයි. එවන් අවස්ථාවකදී මෙම ශිරාවේදන ප්‍රතිකාරය කළ හැකියි. මේ ක්‍රමය තුළින් ශිරා විඳීම සිදු කෙරේ. එවිට රුධිරය ඉවත් වේ. පසුව රෝගයේ ස්වභාවය අඩු කරයි. පාදයේ වේදනාව හා ගැටිති බවද දුරු කරයි.

 

බාහිර ආලේපනයක් මඟින් ශිරා ග්‍රන්ථි පවතින ප්‍රදේශයට ආලේපනය කිරීම සිදු කළ හැකියි. මීට අමතරව උදේ ඇඳෙන් නැඟිට පය බිම තැබීමට පෙර ක්‍රේප් බැන්ඩේජ් එකකින් පාදය ඔතන්න. ඔබට මේ සඳහා දාස්පෙතිය මල් ඇල් වතුරින් අඹරා ගෑම හා ඉන් අනතුරුව බැන්ඩේජ් කළ හැකියි. පාදයේ පහළ සිට ඉහළ දක්වා හොඳින් ඔතන්න. මේ සඳහා veri cose vein stocking socks  භාවිතා කළ හැකියි.

 

අනිසි ප්‍රතිඵල

 

මේ රෝගයේදී ඇතිවන උපද්‍රව ලෙස වේරිකෝස් වේන් අල්සර් (තුවාල) සුව කිරීම ඉතාමත් අපහසුයි. ඒ වගේම වේදනාකාරයි.

 

ඇතිවන තුවාල සේදීමට

 

(පංච වල් කල) නුග, ගංසූරිය, බෝ, අත්තික්කා, නික යන මේවායේ පොතු තම්බා සේදීම කළ හැකියි.

 

ස්වර්ණා ආරියවංශ

 

උපුටනය: ආරෝග්‍යා 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page