top of page

නිතරම සෙම්ප්‍රතිශ්‍යාව සෑදී නාසයෙන් සොටු දියර ගලනවා ද?

 

වෛද්‍යතුමනි, මගේ වයස අවුරුදු 32ක් වන දරු දෙදෙනෙකුගේ මවකි. නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව සෑදිම නිසා සොටු දියර නාසයෙන් ගැලීම සිදු වේ. ඕනෑම ශීත දේශගුණ පවතින තත්ත්වයකදී වුවද මෙය සිදු වේ. පොඩි පිනිබෑමකදී වුවත් නාසයෙන් සොටු දියර ගලයි.

සමහර අවස්ථාවලදී ප්‍රතිකාරවලටත් සුවයක් නොලැබෙන අතර සෙම්ප්‍රතිශ්‍යාව නිසා දෛනික වැඩකටයුතු වලට අතිශයින්ම බාධාවකි. සමහර අවස්ථාවලදී ඔළුව බර ගතියක් ද දැනේ. මේ සඳහා මට ප්‍රතිකාරයක් කියන්න. නිට්ටාවට සුවකළ හැකිද?

ඔබට වැළඳී ඇති සෙම්ප්‍රතිශ්‍යාව සෙම් රෝගයක් නිසා ඇවතුම් පැවතුම්වලින් ප්‍රවේසම් වීමට සිදු වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ වෛරස් එකක් මඟින් නිසා ඊට වළක්වන ප්‍රතිකර්ම ගැන ඔබ සැලකිලිමත් විම වඩා වැදගත්. නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හේතු කොටගෙන ඔබගේ ප්‍රතිශක්තිකරනය අඩු බව පැහැදිලි වෙනවා.

නැවත නැවත හැදීම එතරම් සුදුසු නැහැ. ඔබ ගන්නා ආහාර රටාව වගේ ඔබගේ මේ තත්ත්වය ගැන දැන් ඔබට අවබෝධයක් පවතින බැවින් එදිනෙදා වැඩකටයුතු කලට වේලාවට ප්‍රවේසමින් කළ යුතුයි. උදා වශයෙන් දිය නෑම පවා කළ යුත්තේ ආයුර්වේදයට අනුව තද අව්ව තිබෙන උදේ වරුවේදීය. රාත්‍රියට දිය නෑම සෙම් රෝගීන්ට අගුණ වන්නේ ඔබ සෙම් දෝෂ සහිත රෝගියෙකු බැවිණි. මේ සඳහා පහත දී ඇති කසාය පානය කිරීමෙන් ඔබගේ ඔය තත්ත්වයෙන් මිදීමට උදව් වෙයි.

නිතරම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන අයට

ඉඟුරු, කොත්තමල්ලි සමව ගෙන කුඩු කර තබාගෙන තේ හැඳි 1ක් පමණ නටන උණු වතුරට දමා තේ මෙන් වත්කර බොන්න දෙන්න. මෙය කෑමට පසුව ගන්නේ නම් හොඳයි. නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන ඔබගේ සිරුරට එම රෝගී තත්ත්වය නැති අවස්ථාවකදී වුවද මේ පානය සුදුසුයි.

වියළි ඉඟුරු, දේවධාර කොත්තමල්ලි, කටුවැල්බටු කලං 2 මදට 8ක් ගෙන පත අට එකට සිඳුවා පෙර අඬු කෝප්ප 1/2 බැගින් උදේ සවස බොන්න.

ප්‍රවේසම් විය යුතු ආහාර වර්ග

තක්කාලි, එළකිරි, බණ්ඩක්කා, වම්බටු, පිපිඤ්ඤා, අයිස්ක්‍රීම්, මුදවපු කිරි, යෝගට්, බටර්, කිරිපිටි, මෑ කරල්

නාසයේ දැවිල්ලත් සමඟ නම්

එළබටු, කටුවැල් බටු, පාවට්ටා මුල්, කොත්තමල්ලි, පත්පාඩගම් කලං 2 මදට 8 ක් ගෙන පත 8 1ට සිඳුවා පෙරා පත 1/2 බැගින් උදේ සවස බොන්න.

උදේට කිවිසුම් යාමත් සමඟ සෙම්ප්‍රතිශ්‍යාව

ගොටුකොළ දඬු, වලඟසහල්, රතුළූනු සමව ගෙන තම්බා බොන්න. උදේ සවස පමණක් සෑහේ.

වරින් වර නොනවත්වා එනවා නම්

සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

වෛද්‍ය උපදෙස් මත කසාය වර්ග නිසි මාත්‍රාවට ගැනීම අත්‍යවශ්‍ය බව මතක තබා ගන්න.

ප්‍රවේසම් වීමට නම් කළ යුත්තේ

නිතර හැදෙන ඔබේ සෙම්ප්‍රතිශ්‍යාව පිළිබඳව ඔබ දැන් දැනුවත් වී සිටී නම් ශීත අධික ආහාරවලින් වැළකී සිටින්න. රාත්‍රියට නෑම සුදුසු නැත. එය උදේ 10, 11 පමණ වනවිට සිදු කිරීම යහපත් සෞඛ්‍ය ක්‍රියාවලියකි. උදේ නැඟිට උණු පානයක් ගැනීම සුදුසුයි.

සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී නැති නම් පමණක් කැඳ බීම කළ යුතු වන්නේ හිමිදිරි පාන්දරම නොව ටිකක් දහවල් වන්නටය. කෙතරම් සුව වුණත් නිතර සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම සිදුවන අයෙක් බැවින් ඒ බව තේරුම් ගෙන දියනෑම, ආහාර ගැනීම වැනි පැවතුම් නිසි පරිදි ප්‍රවේසම්කාරීව සිදු කළ යුතුයි.

ඔබ පෙළෙන යම්කිසි රෝගයක් වෙතොත් අපට ලියන්න. ලංකාවේ සිටින දක්ෂ ආයුර්වේද වෛද්‍යවරුන් වෙතයොමු කර ප්‍රතිකාර ලබා දීමට අපි සූදානම්.

 

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page