
කොලෙස්ටරෝල් නසන ඖෂධයක් කුරුඳුවලින්
සියවස් ගණනාවක් පුරා ලාංකේය පුරවැසියා කුරුඳු බෝගය සමඟ දැඩි සමීප බවකින් කටයුතු කළේය. 1767 වර්ෂයේදී ලන්දේසීන් මෙරට කුරුඳු බෝගය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීමෙන් අනතුරුව ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි කුරුඳු බෝගය ප්‍රචලිත කෙරිණි. එවක පටන්ම මේ දක්වා අපට අත්‍යවශ්‍යම වැවිලි බෝගයක් වන කුරුඳු අද වන විට ප්‍රධාන අපනයන බෝගයක් බවටද පත්වී තිබේ.
අතීතයේ පටන්ම ගැමි ජනතාව කුරුඳු බෝගය සමඟ දැක්වූයේ දැඩි ළෙන්ගතු බවකි. විවිධ ආහාර රසවත් කිරීම සඳහා කුරුඳු පොතු භාවිත කිරීමට ගැමි කාන්තාවන් පෙලැඹුණු අතරම කුරුඳු පත්‍රවලින් ගන්නා තෙල් මඟින් ශරීයේ තැළුම්, හන්දිපත් රුදාවන් සඳහා විසඳුම් ලබා ගැනීමට ඔවුහු කටයුතු කළහ.
එයට අමතරව කොලෙස්ටරෝල්, අර්ශස්, අංශභාගය, කෑම අරුචිය, අධික ස්ථුලතාව ආදී රෝගාබාධවලට කුරුඳු හොඳ ඔෟෂධයක් බව මේ වන විට පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගෙන තිබේ. එවන් රෝග පීඩාවන්ගෙන් පසුවන ලාංකේය සමාජයේ දහස් සංඛ්‍යාත පුරවැසියන් වෙනුවෙන් නිරෝගී බව සලසන කුරුඳු තුළින් නිෂ්පාදිත ගුණ දෙන ඔෟෂධයක් පිළිබඳව ඔබට අනාවරණය කිරීමට 'මව්බිම' අපි අදහස් කළෙමු.
කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේයෂ්ඨ කථිකාචාර්ය එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මියගෙන් මෙම නවමු ආයුර්වේද කුරුඳු ඔෟෂධය පිළිබඳව විමැසීමට අපි අදහස් කළෙමු.
"සාමාන්‍ය පරිසරය තුළ කුරුඳු බෝගය අපි දකින්නේ වෙළෙඳ අපනයන බෝගයක් ලෙස පමණයි. ඊට අමතරව ආහාර පිසින අවස්ථාවලදී ආහාර රසවත් වීමට කුරුඳු පොතු කොටසක් භාවිත කිරීමට අපේ ගෘහණියන් පුරුදු වී සිටිනවා. අතීතයේ අපේ මුතුන් මිත්තන් පවා මෙම කුරුඳු බෝගය හරහා සුවකරගත හැකි රෝගාබාධ පිළිබඳව යම් දැනුමක් ඇතිව කටයුතු කර තිබෙනවා. හන්දිපත් රුදාවක්, ඉදිමුම් ගතියක් පැමිණි විටකදී එම වේදනාකාරී ස්ථානයේ කුරුඳු පත්වලින් සාදාගන්නා තෙල් ආලේප කිරීමට ඔවුන් පෙලැඹුණේ ඒ නිසයි.
අප දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තුළ නිරන්තරයෙන්ම කුරුඳු බෝගය භාවිතයෙන් ඔෟෂධ නිෂ්පාදනය කරනවා. කුරුඳුවල රසායනික ගුණය අධිකයි. රසායනික ගුණ රාශියක් කුරුඳුවල පවතින නිසා බොහෝ දුරට කුරුඳු බෝගය ඔෟෂධ නිෂ්පාදනයේදී සම්පාදිත ඔෟෂධයක් ලෙස භාවිත කරනවා. සම්පාදිත ඔෟෂධයක් කියන්නේ වෙනත් ඔෟෂධ හා සම්මිශ්‍රණය කරමින් ඔෟෂධ නිෂ්පාදනය කිරීමට ගන්නා ඔෟෂධ කියන එක"
ආයුර්වේදයේදී කුරුඳු බෝගය හඳුන්වන්නේ "ත්වක්" යන නාමයෙන් බවත් කුරුඳු පොත්ත, කොළය සහ ගෙඩි භාවිත කොට ඔෟෂධ නිෂ්පාදනය කළ හැකි බවත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"පැඟිරි කුරුඳු, වල් කුරුඳු, සෙවෙල් කුරුඳු යනාදී වශයෙන් කුරුඳු වර්ග රාශියක් තිබෙනවා. ඒ අතර ලංකාවටම ආවේණික සුවිශේෂී කුරුඳු විශේෂයක් තමයි "Cinnamomum Zeyianicam" කුරුඳු විශේෂය. ඒ සෑම කුරුඳු බෝගයකම පොතු, කොළ සහ ඇට භාවිතයෙන් අපි ඔෟෂධ නිර්මාණය කරනවා. මෙහිදී අපි පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගත්තා ලංකාවේ ප්‍රචලිත දරුණු රෝගවලටත් මෙම කුරුඳු ඔෟෂධ භාවිතයෙන් යහපත් සුවයක් ලබාගන්න පුළුවන් කියල.
ඒ අතර අද සමාජයේ බොහෝ දෙනකු පීඩා විඳින ගැටලුවක් තමයි කොලෙස්ටරෝල් කියන්නේ. කොලෙස්ටරෝල් කියන්නේ අපි ගන්න ඇතැම් කෑම වර්ග නිසා ශරීරයේ රුධිර නාළවල අහිතකර ලෙස තෙල් හෙවත් මේදය තැන්පත් වීම. රුධිර නාළවල අහිතකර ලෙස තෙල් තට්ටු තැන්පත් වීම නිසා රුධිර නාළ පටු වෙලා රුධිර ගමනාගමනය අක්‍රමික වෙනවා.
රුධිර ගමනාගමනයට බාධා වන ලෙස තැන්පත්ව තිබෙන එම මේද හේතුවෙන් අස්වාභාවික ලෙස සිරුර මහත් වීමේ ඉඩකඩ වැඩියි. ඇතැම් අවස්ථාවල හදවත ආශ්‍රිතව මෙම තෙල් තැන්පත් වීම තුළින් ප්‍රෙෂර් සහ හාට් ඇටෑක් රෝග ඇතිවීමේ පසුබිමක් පවා තිබෙනවා. බොහෝ විට මෙම රෝග හේතුවෙන් ජීවිත හානි පවා සිදුවන අවස්ථා පවතිනවා. මේ කුරුඳු ඔෟෂධය හරහා කොලෙස්ටරෝල් රෝගයට විසඳුමක් ලබාදෙන්න අප ආයතනයට හැකි වුණා.
මේ වන විට අපි ඕ.පී.ඩී. මට්ටමින් පවා කුරුඳු ඔෟෂධ භාවිතයෙන් නිෂ්පාදනය කළ ඔෟෂධ හඳුන්වා දී තිබෙනවා. සීතෝ පලාදී චූර්ණය සහ තාලිසාදි චූර්ණය, ශරීර අභ්‍යන්තර රෝගයන්ට පිළියමක් ලෙස අප විසින් නිෂ්පාදිත හොඳ ඔෟෂධ ද්විත්වයක්. කුරුඳුවල අඩංගු රසායනික ද්‍රව්‍ය වන ශරීරයේ ඇති අහිතකර මේද විනාශ කොට කොලෙස්ටරෝල් දියකැ හරින බව අප තහවුරු කරගත්තා.
ඒ පමණක් නොවෙයි කුරුඳු බෝගය තුළ essential oil නමින් සුවඳින් සහ ගුණයෙන් සමන්විත තෙල් විශේෂයක් පවතිනවා. රුධිර පරීක්‍ෂාවකින් අනතුරුව හෝ ප්‍රෙෂර් අවස්ථාවකදී ඔබට කොලෙස්ටරෝල් රෝගයක් ඇතැයි හැඟුණොත් ඕ.පී.ඩී. හරහා අප නිකුත් කරන කුරුඳු නිෂ්පාදිත බෙහෙත් ගැනීමට අමතරව නිවෙසේ සිටම ප්‍රතිකාර නිර්මාණය කරගැනීමේ අවස්ථාව තිබෙනවා. එවන් අවස්ථාවකදී ඔබ කළ යුත්තේ කුරුඳු පොත්තක් ගෙන සියුම් ලෙස කුඩු බවට පත්කර සිසිල් දිය බඳුනක දමා පැය කිහිපයක් වසා තැබීමෙන් අනතුරුව පානය කිරීමක් පමණයි. ශරීරගත වන essential oil හරහා ඉන් අනතුරුව අයහපත් මේද විනාශ කිරීමක් සිදුවෙනවා."
කථිකාචාර්යවරිය පවසන අන්දමට කුරුඳුවල අඩංගු මෙම සුවිශේෂී තෙල් විශේෂය ශරීරගත කර ගැනීම තුළින් රෝගාබාධ රාශියකට විසඳුමක් ලැබේ. එමඟින් අධික තරබාරු බව වියැකී සැහැල්ලු ශරීරයකට උරුමකම් කීමේ හැකියාවක්ද පවතී. එයට අමතරව අර්ශස් රෝගය සඳහාද මෙසේ කුරුඳු සියුම් ලෙස කුඩුකර සිසිල් දියේ දමා හෝරා කිහිපයක් තැබීමෙන් අනතුරුව පානය කිරීම තුළින් විසඳුම් ලබාගත හැකි බව හැරන්පත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ඒ සෑම දෙයකටම අමතරව තවත් විශේෂ දෙයක් මෙම කුරුඳු ඔෟෂධය හරහා සිදු කෙරෙනවා. එනම් essential oil අන්තර්ගත කුරුඳු කැබැල්ලක් හෝ දියරයක් භාවිතයෙන් ආහාර අතෘප්තිය නැති කරලා හොඳ කෑම රුචියක් ඇති කිරීමේ හැකියාවක් කුරුඳු ඔෟෂධය තුළ තිබෙනවා. කුරුඳු කැබැල්ලක් භාවිත කළ අවස්ථාවක කටට කෙළ උනන බව ඔබ අප කවුරුත් දන්නවා. එම රසායනික තෙලෙහි පවතින ඔෟෂධීය ගුණය නිසයි එවන් ක්‍රියාදාමයක් සිදුවන්නේ. ඒ හරහා ආහාර පිළිබඳව දැඩි අප්‍රසාදයක් පළ කරන රෝගීන්ට පවා ආහාර රුචිය වැඩිවීමේ හැකියාවක් පවතිනවා.
තවත් කරුණක් තමයි කුරුඳු ඔෟෂධය මඟින් ශරීරයේ අභ්‍යන්තරික රෝග රාශියකට විසඳුම් ලබා දෙනවා. ශරීරයේ පවතින සීනි මට්ටම යථා තත්ත්වයට පත්කොට දියවැඩියා රෝගය දුරලීමේ හැකියාවක්ද මෙය සතුව පවතිනවා. එයට අමතරව ලේ පිරිසුදු කිරීම, ආහාර මාර්ග පද්ධතිය තුළ ක්‍රියාකාරීත්වය ප්‍රාණවත් කිරීම, ආමාශය ආශ්‍රිතව හටගත් රෝගාබාධ සුව කිරීම, වමනය ගතිය පහකොට ශරීරය ප්‍රාණවත් කිරීම යනාදී යහපත් ක්‍රියාදාම රාශියක් කුරුඳු භාවිතය තුළින් අත්විඳිය හැකියි.
මෙහිදී වැදගත්ම කරුණක් තමයි ඉහත රෝග සුවකර ගැනීමට කුරුඳු ඔෟෂධ භාවිත කළ යුත්තේ කොහොමද කියලා අධ්‍යයනය කිරීම. කුරුඳු කියන්නේ රසායනික ද්‍රව්‍යයක් නිසා එකවර මසක් පමණ දෛනිකව කුරුඳු විශාල ලෙස භාවිතා කිරීම අයෝග්‍යයි. දිනකට වරක් මිලිග්‍රෑම් 15ක් වන ආකාරයට සිසිල් දියට කුරුඳු කැබැල්ලක් කුඩුකර දමා පානය කිරීම ප්‍රමාණවත් වෙනවා. අපි සඳහන් කළ සෑම රෝගයකටම ඒ හරහා ප්‍රතිකාරයක් ලබාගැනීමේ මහා ඔෟෂධමය ගුණයක් කුරුඳු ඔෟෂධය සතුව පවතිනවා."
ශරීර අභ්‍යන්තරික රෝගාබාධවලට සේම මුඛාශ්‍රිතව හටගන්නා ඕනෑම රෝගයකට මෙම කුරුඳු ඔෟෂධය පිළියමක් බව ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරිය පැවැසුවාය. සරලවම පැවැසුවහොත් මුඛය ආශ්‍රිත රෝග වන දත් කැක්කුම්, විදුරුමස් දියවීම්, මුඛාශ්‍රිතව දුර්ගන්ධය හැමීම්, දත් දිරීම් ආදී රෝගයන්ගෙන් ආරක්‍ෂා වීමට ඔබට නිවෙසේදීම කුරුඳු බෝගයද සම්පාදිතව සාදාගත හැකි ඔෟෂධයක් පවතී.
ඒ මඟින් මුඛ ආශ්‍රිත රෝගයන්ගෙන් ආරක්‍ෂා වීමටත් මුඛාශ්‍රිත රෝගයක් වැලැඳී ඇත්නම් එය සුවකර ගැනීමටත් හැකියාව පවතී. එහිදී කළ යුත්තේ කුරුඳු පොත්තක්, කලාඳුරු අලයක් සහ කොත්තමල්ලි ස්වල්පයක් ගෙන සියුම්ව කුඩු වන සේ තළා සිසිල් දිය බඳුනකට දමා රැයක් තැබීමෙන් අනතුරුව උදෑසන එම දියරින් මුඛය සේදීම පමණි. අඛණ්ඩව දින කිහිපයක් එම ක්‍රියාව සිදුකිරීම තුළින් මුඛයේ නිරෝගී බවක් ලබාගැනීමට ඔබට හැකියාව පවතී. ඒ මතු නොව අධික වෙහෙසකාරී ලෙස හිසරදයක් හටගත් අවස්ථාවක කුරුඳු කොළ සහ සීනි ස්වල්පයක් ගෙන සහල් සේදූ වතුර ස්වල්පයක් සමඟ මිශ්‍ර කොට අඹරා එම ද්‍රාවණය නළලෙහි ආලේප කිරීමෙන් හිසරදය දුරලීමේ හැකියාවක්ද පවතින බව ජේයෂ්ඨ කථිකාචාර්ය හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ශරීරයේ අභ්‍යන්තරයේ රෝගයන්ට පමණක් නෙවෙයි, කුරුඳු කියන්නේ සිරුරින් බාහිරව හටගත් රෝගයන්ටත් ප්‍රතිකාර සලසන වටිනා ඔෟෂධයක්. ඇතැම් පුද්ගලයන්ගේ කකුල්වල ඇඟිලි කරු වනවීමකට ලක්වන අවස්ථා තිබෙනවා. වැඩි වේලාවක් සපත්තු දැමීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා එවන් රෝගයක් හටගන්න පුළුවන්. එවන් අවස්ථාවකදී කුරුඳු පොතුත්, ඇත්තෝර දලුත්, අමු කහත් එකට අඹරා එම මිශ්‍රණය වනවූ තුවාලයේ අලේප කිරීම තුළින් නිත්‍ය සුවයක් ලැබිය හැකියි."
විවිධ රෝග පීඩාවන්ට ප්‍රතිකාර සලසන ඔෟෂධීය ශාකයක් වන කුරුඳු, භාවිතයෙන් මේ වන විට රෝග රැසකට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය ඔෟෂධ සකස් කොට පවතී. දැනට ඕ.පී.ඩී. මට්ටමෙන් පවා රෝගීන්ට ලබාදෙන සිතෝපලාදි චූර්ණය සහ තාලිසාදි චූර්ණය උගුර ආශ්‍රිත රෝගයන්ට නිසි සුවයක් ලබාදෙන ඔෟෂධයක් වන අතර එම ඔෟෂධයන් සඳහා කුරුඳු ඔෟෂධයද සම්පාදිතය. හන්දිපත් රුදාවටද පිළියමක් ලෙස "යෝගරාජ ගුග්ගුලු" නමින් නව ඔෟෂධ නිෂ්පාදනයක් හඳුන්වා දීමට දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය ඉදිරිපත් වී තිබේ.
උපුටා ගැනීම: ආරෝග්‍යා