top of page

නාසය දුගඳ කරවන පීනස

 

"පීනසය" යන වචනයක් හිතට මහ වදයක්. මාරාන්තික රෝගයක් නොවුවද අසහනකාරී රෝග අතර "පීනස" ප්‍රමුඛ තැනක් ගනියි.

 

සොටු දියර ගැලීම, හිසරදය නාසයෙන් හමන දුගඳ නිසා පීනස් රෝගීන් සමාජය ඉදිරියට යෑමටත් මැළිකමක් දක්වනවා. ආයුර්වේදී ඔසුවල සුව සහනය පීනසට සෞඛ්‍ය වූ ප්‍රතිකාරයකි. විවිධාකාර වූ පීනස් රෝග කිහිපයකුත් එයට අවශ්‍ය ප්‍රතිකාරත් ගැන ලියැවෙන ලිපි පෙළක පළමු පියවරයි මේ.

 

ළය පීනස

 

පපුවේ සෙම වැඩිවේ. පැසවූ සෙම නැඟ එන අතර කටින් දුගඳක් හමයි. හතිය, ගැස්ම සමඟ හුස්ම ගැනීමේ අපහසුව වැඩිවේ. ළය බරවී ළය පැත්තෙහි ඇට පෑදෙන ගතියක් පෙන්නුම් කරයි.

 

ප්‍රතිකාර

 

වැල්මී, අරළු, බුළු, නෙල්ලි සුදු ලූනු කළං 2ක් සහ මංචාඩි දෙක බැගින් ගෙන වතුර පත 8 - 1ට සිඳුවා ගන්න. පසුව දින 7ක් කසාය 7ක් පානය කිරීම මැනවි. ලුණු ඇඹුල් ආහාරයට එක්කර නොගැනීම මැනවි.

ළය පීනස සඳහා දේවරාජ තෛලයද සුදුසුය.

 

දේවරාජ තෛලය සාදන ආකාරයයි

 

ගඳපාන කොළ, යකි නාරං කොළ, නික කොළ, මඟුල් කරඳ කොළ, දුම්මැල්ල කොළ, තොටිල පොතු, ‍ෙදාඩම් පනා පොතු, ලුණුවරණ පොතු යන දෑ සමව ගෙන පොල් සමඟ කොටා මිරිකා ළිප තබා දවස් එකහමාරක් කකාරා එයට තල තෙල් සහ කොහොඹ තෙල් වත්කර ගන්න.

පසුව සුදුදුරු, කළුදුරු, සුදුලූනු, අසමෝදගම්, තිප්පිලි, කරාබුනැටි, වසාවාසි, සාදික්කා මඳ, හිරියල්, සාදිලිංගම්, රීදි තුත්තං, මනෝසීල, අරළු, ඉඟුරු, ගම්මිරිස්, අබ මේ සියල්ල එකට ගෙන (සම සමව) අඹරා ඉහත කී තෙලට දමා කකාරා පදමට බා පෙරා ගන්න.

අනතුරුව බෝතලයක බහා තබා ස්නානය කරන මොහොතට හිස ගල්වා ස්නානය කිරීම මැනවි. (ඔෟෂධවල ප්‍රමාණයන් ඔබට ඇවැසි පමණට ගන්න.)

 

මොළ කඩ පීනස

 

මොළය වණවෙයි. සැරව ගැලීම නිතර පවතී. නාසයෙන් දුගඳක් හමයි.

 

1. සඳුන්, සැවැන්දන, කලාඳුරු, හිරියල් සමව ගෙන ඇල් දියෙන් අඹරා ගන්න.

 

ස්නානය කරන වේලාවට එය හිස ගල්වා අනතුරුව ස්නානය කිරීම මැනවි.

 

කරාබු නැටි, සාදික්කා. වසාවාසි වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, සහිඳ ලුණු, අමු කපුරු සමවගෙන චූර්ණ කර උදේ, දහවල, සවස නාස්පුඬු මඟින් ඉරීම හෝ දුම් ඇල්ලීම සුදුසුය.

කණ්ඩමාල පීනසයෙහි ස්වභාවය නම් ඇස් රතුවීමය. සෙම ගතිය නිසා මුහුණද බරය.

 

ප්‍රතිකාර

 

මුං ඇට පියලි, කැකුළු හාල් යන දෑ සමව ගෙන අඹරා ඇල්දියෙන් ඉස ගල්වනු. දින තුනක් හිස ගල්වා තෙදිනම ස්නානය කිරීම මැනවි.

එළ නිටුල්, කරල් හැබ ඇට, සහිඳ ලුණු, හිඹුටු මුල් කොටා මිරිකා ළිප තබා හෝ මුත්‍ර, තල තෙල්, මී තෙල්, එරඬු තෙල්, ගිතෙල්, කොහොඹ තෙල්, පොල් සම ප්‍රමාණයට එයට දමා දවස් 2 1/2ක් කල්ගෙන කකාරා ගන්න.

පසුව ඊටම සුදු දුරු, කළු දුරු, සුදු ලූනු, තිප්පිලි, කරාබු, වසාවාසි, සාදික්කා, රසදිය, අරළු, බුළු, නෙල්ලි, අබ, මිරිස්, වියළි ඉඟුරු, වදකහ සමව ගෙන අඹරා තෙලට යොදා කකාරා පදමට (කල්ක ඉටි පදම) පෙරා ගන්න. ස්නානයට පෙර හිස ගැල්වීම සුදුසුය.

 

අරමණ පීනස

 

අරමණ පීනසයට නාසය වණ වෙයි. කම්මුල වණවෙයි.සෙමෙහි අඩුවක් නැත. නළල ඇහිබැමි කකියයි.

 

ප්‍රතිකාර

 

වේලාකොළ, කොහොඹ කොළ, තලතෙල් යන දෑ සමව ගෙන කොටා තලතෙලෙන්ම අනා හිස ගල්වන්න.

දෙමට දලු, නික දලු, තිබ්බටු දලු, ඇද්දෙමට දලු, තුඹ දලු සමව ගෙන හොඳින් අඹරා උණු දියෙහි දමා හුමාලය ඇල්ලීම යහපත්ය.

ග්‍රහණි පීනස

නාසය තුළ ඇණයක් තිබෙන්නා සේ දැනෙයි. එසේ දැනෙන්නේ මස්දල්ල නිසාය. නාසයෙන් ලේ සැරව ඒම, හිස රුදාව මෙහි ස්වභාවයයි.

ප්‍රතිකාර එරඬු ඇට, තෝරා ඇට, දැත්ත මුල්, හාතවාරිය මුල්, වැල්මී, දිවුල්, ලාටු, මී අරටු, වියළි ඉඟුරු, සහිඳ ලුණු, වළඟ සාල් චූර්ණ කර තලතෙලට දමා කකාරා නස්‍ය කරනු.

 

දුෂ්ට පීනසට මේ අත් බෙහෙත් අගනේය

 

වතු සුද්ද මුල් තුන් කළඳක් ගෙන තලතෙල් දමා අඹරා පසුව එළකිරි පතක් සහ තලතෙල් පතක් දමා කකාරා පදමට සිඳුවා පෙරා නස්‍ය කරන්න.

මඟුල් කරඳ කොළ, කතුරු මුරුංගා කොළ යුෂ ගෙන එයට තල තෙල් දමා සහිඳ ලුණුද එහි ළා කල්කය ඉටි පදමට සිඳ පෙරා තබා නස්‍ය කරනු.

ගම්මිරිස්, වියළි, ඉඟුරු, තිප්පිලි, අරළු, සමව ගෙන චූර්ණකර තල තෙලෙන් අනා තුන් කළඳක් වළඳනු.

වියළි ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි වදකහ, සපුමල්, හිරියල්, පෙරුම්කායං, අබ සමව ගෙන චූර්ණකර පොල් කටු අඟුරු මත දමා හිල් පොල් කටුවකින් වසා නාසයට දුම් උරනු. සතියක් දුම් උරනු. ස්නානය කරනු.

 

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය විද්‍යාව

ගැන සඳහන් පොත පත ඇසුරෙනි.

උපුටනය: ආරෝග්‍යා 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page