top of page

දියවැඩියාව සුව කරන ඔෟෂධයක් බෙලිවලින් හදන හැටි

 

තිත්ත රස අඩංගු එළවළු වර්ගයක් මතක් කිරීමේදී අපට ක්‍ෂණයකින් මතක් වන්නේ කරවිලයි. ඒ තරමටම තිත්ත රස අඩංගු එළවළුවක් වන කරවිල ගෙඩියේ අන්තර්ගත තිත්ත රස නිසාම එය මිනිසාගේ ජීවිතයට පැණි රසක් එක්කරන එළවළුවක් වී තිබේ. ඒ තරමටම කරවිල සතුව ඉමහත් පෝෂණීය ගුණයක් පවතියි. මෙහි පවතින පෝෂණීය ගුණ නිසාම තිත්ත වුවද බොහෝ දෙනෙක් මේ ගුණදායක එළවළුව  නිරෝගී සුවය අපේක්‍ෂාවෙන් ආහාරය පිණිස ගනිති.

 

දේශීය වශයෙන් උෂ්ණ කලාපීය ප්‍රදේශවල බහුල වශයෙන් රෝපණය වන කරවිල, ගෝලීය වශයෙන් නිවර්තන කලාපයේ රටවල රෝපණය කරනු ලබයි. ලංකාව, පාකිස්තානය, ඉන්දියාව සහ චීනය ආදී රටවල ජනතාව සුවිශේෂී එළවළුවක් ලෙස භාවිත කරන කරවිල ප්‍රභේද ත්‍රිත්වයකින් සමන්විතය. තද කොළ වර්ණයෙන් යුත් සාමාන්‍ය කරවිල ‘කළු කරවිල’ ලෙසත් තරමක් සිහින් දිගු කරවිල ‘දිගු කරවිල’ ලෙසත් තරමක මහත සහ දිගින් අඩු කරවිල ‘කෙටි කරවිල’ ලෙසත් වර්ගීකරණය වෙයි.

 

ග්‍රාමීය මෙන්ම නාගරික ජනතාව අතරද ප්‍රචලිත ගුණාත්මක එළවළුවක් වන කරවිල අප දේශීය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ වටිනා ඔෟෂධයකි. විවිධාකාරයේ රෝග සමනය කිරීම සඳහා කරවිල මඟින් සාදාගත් දේශීය ඔෟෂධ අප පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය සතුව පවතී.

කරවිල මඟින් නිවෙසේදීම ඔෟෂධ නිපදවා ගන්නා අයුරුද ඔබට පැවැසීමට රාජගිරිය ආයුර්වේද වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්.කේ.එම්.කේ. හැරපත්දෙණිය මහත්මිය ඉදිරිපත් වූවාය.

 

"කරවිල කියන්නේ ඇඟේ ලේ වඩවන, සවි ශක්තිය වඩවන වටිනා එළවළුවක්. නමුත් මේ වටිනා එළවළුවේ පවතින ඔෟෂධීය ගුණය පිළිබඳ බොහෝ දෙනෙක් දන්නේ නෑ.

 

ආයුර්වේද ග්‍රන්ථවල කාරවිල්ල, කරවී පත්‍ර, පීත පුෂ්ප වැනි නම්වලින් මේ කරවිල ඔෟෂධය හඳුන්වනවා. කරවිල ගෙඩියේ පිට පොත්ත කටු වැනි ස්වභාවයක් ගන්නා නිසයි මෙයට කාරවිල්ල කියන නම භාවිත කරන්නේ. ඒ වගේම කරවිල ශාකයේ මල් කහ පැහැයෙන් සමන්විත නිසා පීත පුෂ්පය කියලා මේ ඔෟෂධය හඳුන්වනවා. ආයුර්වේදයට අනුව කරවිල කෝපාතකී කුලයට අයත් ශාකයක්. දිගු කරවිල, කෙටි කරවිල සහ කළු කරවිල ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කරවිල තිබෙනවා. ආයුර්වේදයට අනුව කරවිල වර්ග තුනක් පවතිනවා. ළා සුදු පැහැයෙන් සමන්විත කරවිල 'හෙළ කරවිල' ලෙසත්, කුඩා ගෙඩිවලින් සමන්විත කරවිල බටු කරවිල ලෙසත්, තරමක් තද කොළ පැහැති කරවිල 'තුඹ කරවිල' ලෙසත් ආයුර්වේදයට අනුව වර්ගීකරණය කරන්න පුළුවන්. මෙහිදී ඔෟෂධ පිණිස ගන්නවා නම් මේ අතරින් වඩාත්ම ගුණදායක වන්නේ 'බටු කරවිල' හෙවත් සාමාන්‍ය කරවිල. පොදුවේ කරවිල සියලුම වර්ග ගුණදායකයි. පෝෂණීය ගුණය ඔෟෂධීය ගුණය සමානයි. නමුත් ඔෟෂධ පිණිස 'බටු කරවිල' වඩාත් ගුණදායකයි."

 

කුෂ්ඨ රෝගීන්ගේ කුෂ්ඨ ක්‍ෂණිකව සුවපත් කිරීමටත්, ශරීරගත විවිධ විස වර්ග සුව කිරීමටත්, දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදී විවිධ රෝග සුවපත් කිරීමටත් කරවිල අගනා ඔෟෂධයක් බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව කරවිල ගෙඩි, කොළ, නටු සහ මුල් යන අංග සියල්ලම උපයෝගී කොටගනිමින් ඔෟෂධ නිපදවිය හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. එමෙන්ම මෙම අද්විතීය ඔෟෂධය උපයෝගී කොට ගනිමින් විවිධ රෝග සඳහා නිවෙසේ සිටම ඔෟෂධ නිපදවා ගත හැකි ආකාරයද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවේ මෙලෙසිනි.

 

"කරවිල කියන්නේ එක් රෝගයක් සඳහා පමණක් සීමා කරන්න පුළුවන් ඔෟෂධයක් නොවෙයි. දියවැඩියාව, කුෂ්ඨ රෝග, ශරීර අභ්‍යන්තරයේ හටගත් විස හරණය කරන්න, පිළිකා රෝගය සුව කරගන්න, අක්මාව ආශි්‍රත රෝග සුව කරන්න වගේ රෝග සඳහාත් පොතු කබර, ස්නායු ආබාධ සුව කරන්නත් කරවිල ආශ්‍රයෙන් ඔෟෂධ සාදාගන්න පුළුවන්. ඒ වගේම තවත් රෝග රාශියක් සඳහා මේ අගනා ඔෟෂධීය ආහාරය ඉතාමත්ම ගුණදායකයි.

 

කරවිල මඟින් ඔෟෂධ වර්ග සාදාගන්නා ආකාරය සහ ඒවා භාවිත කරන ආකාරය පිළිබඳ පැවැසීමට කලින් එක් විශේෂ දෙයක් කිව යුතුයි. කරවිල ආශි්‍රත සම්බල්, වෑංජන සහ ඔෟෂධ රෑට ආහාරයට ගන්න එපා. එයට හේතුවක් තිබෙනවා. කරවිල කියන්නේ විස වර්ග නසන ඔෟෂධයක්. ඉතින් රාත්‍රියේදී කෙනකුගේ ශරීරයේ සර්ප දෂ්ටනයක් වගේ විෂක් ඇතුළු වුණොත් පසුදින උදෑසන ඒ විෂනැසීමට කොච්චර බෙහෙත් භාවිත කළත් රාත්‍රියේ කරවිල ආහාරයට ගත් නිසා ඒ ඔෟෂධවල ගුණ නැසෙනවා. ඒ නිසා රාත්‍රියට කරවිල ආහාරයට ගැනීම අහිතකරයි.

 

කරවිල තුළ පවතින සුවිශේෂී රසායනික ගුණය නිසා සර්ප විෂත් නැසෙනවා. නමුත් සර්ප විෂ සඳහා භාවිත කරන ඔෟෂධයේ විෂත් මැරෙන නිසයි රාත්‍රියට කරවිල යෝග්‍ය නැත්තේ. තවත් කරුණක් තමයි ආයුර්වේදයේ ඇතැම් විෂ ද්‍රව්‍ය යොදා (රස ඔෟෂධ) නිපදවන ඔෟෂධ භාවිත කිරීමේදීත් කරවිල කෑම නුසුදුසුයි. මම ඒ සඳහන් කළ අවස්ථා දෙකෙන් තොරව වෙනත් ඕනෑම අවස්ථාවක කරවිල ආහාරයක් ලෙස හෝ ඔෟෂධයක් ලෙස භාවිත කිරීම සුදුසුයි.

 

දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගීන්ගේ සීනි තත්ත්වය අවම කරගත හැකි හොඳ ඔෟෂධයක් තමයි කරවිල කියන්නේ. කරවිලවල පවතින ජඩචපචදබඪද රසායනික සංයෝගය මඟින් රුධිරයේ පවතින සීනි මට්ටම අඩු කරගන්න පුළුවන් කියලා අපි පර්යේෂණ මඟින් තහවුරු කරගෙන තිබෙනවා. ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙනවා නම් දෛනිකව උදෑසන කරවිල කොළ හෝ ගෙඩි යුෂ මේස හැන්දක් වතුර කෝප්ප භාගයකට මිශ්‍ර කරලා හිස් බඩට බොන්න. දිනපතා ඒ ආකාරයට කරවිල යුෂ ඔෟෂධය භාවිත කරනව නම් මම පැවැසූ රසායනිකය හරහා ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරිත්වය යහපත් කරනවා. සීනි තත්ත්වය අවම කරලා දියවැඩියා රෝගය හොඳටම සුව කරගැනීමට ඔබට පුළුවන් දිනපතා උදෑසන මේ ක්‍රියාව කරනවා නම්. දිනපතා කරවිල යුෂ තේ හැන්දක් වතුර කෝප්ප භාගයකට මිශ්‍ර කරලා බොන්න කීවේ කරවිල යුෂ වැඩි වුණොත් ඔබට වමනය තත්ත්වයක් හටගැනීම ඇති විය හැකි නිසයි. නැත්නම් කරවිල කොතෙක් භාවිත කළත් අහිතකර නෑ.

 

දියවැඩියා රෝගීන්ම පමණක් නෙවෙයි දියවැඩියා රෝගය වැලඳීමට' ඇති අවදානම නැති කිරීමට ඕනෑම අයකුට දිනපතා මේ ඔෟෂධ පානය භාවිත කරන්නත් පුළුවන්.

දියවැඩියා රෝගයෙන් අධික ලෙස පීඩා විඳින අයට කරවිල භාවිතයෙන් සාදාගත හැකි තවත් සුවිශේෂී ඔෟෂධයක් මම කියන්නම්. කරවිල ගෙඩි ඉස්ම තේ හැඳි 2ක්, නෙල්ලි යුෂ තේ හැඳි 2ක්, කහ කුඩු ස්වල්පයක් සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන බොන්න. දියවැඩියා රෝගීන් සඳහා එයත් ඉතාමත්ම ගුණදායකයි."

 

කරවිලවල විටමින්, කැල්සියම්, පොස්පරස් ආදී විවිධ පෝෂණ ගුණයන් මෙන්ම ඛනිජ ලවණද පවතී. එබැවින් කරවිල සතුව ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම පවතින බවත් එබැවින් සිරුරේ ඇතිවන මුක්ත ඛණ්ඩ ඉවත් කිරීමේ සුවිශේෂී හැකියාවක් මෙම ඔෟෂධය තුළ පවතින බැවින් පිළිකා රෝගීන්ගේ පිළිකා සුව කිරීමටද කරවිල ආශි්‍රත ආහාර ගැනීමෙන් හැකිවන බවත් ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය.

 

"අද වන විට අපේ ජනතාව අධික කාර්යබහුල බව නිසාම ගුණාත්මක ආහාර ක්‍රමවේදයෙන් මිදිලා ක්‍ෂණික කෘත්‍රිම ආහාරවලට යොමුවෙලා. එහි භයානකම දෙයක් තමයි අද වනවිට පිළිකා රෝගය ශීඝ්‍රයෙන් සමාජගත වෙලා. ස්වභාවික ආහාර නොගැනීම නිසා පිළිකා රෝගයෙන් වැළකී සිටීමත් පිළිකා රෝගය වැලඳුණු රෝගීන්ට නිසි සුවය ලබාදීමටත් කරවිල ඔෟෂධයට පුළුවන් බව අපි පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත්තා. විශේෂයෙන්ම ලියුකේමියා සහ බඩවැල් ආශි්‍රත පිළිකා රෝගීන්ට සුවය ලබාදීමට කරවිල භාවිත කිරීම හරහා පුළුවන්. ඔබ කළ යුත්තේ ඔබේ දෛනික ආහාරයේ එක් වේලක් සඳහා කරවිල ගෙඩි සම්බලයක් හෝ වෑංජනයක් ලෙස ආහාරයට ගැනීම පමණයි. පිළිකා රෝගය වැලඳුණු අය සුව කිරීමට වගේම පිළිකා රෝගයෙන් වැළැකී සිටීමටත් එය වටිනා ඔෟෂධීය ආහාරයක් වේවි.

 

තවත් කරුණක් තමයි ආයුර්වේදයේ සඳහන් වෙනවා තිත්ත රස දේ අක්මාව ආශි්‍රතව හටගන්නා රෝග සඳහා ගුණයි කියලා. ඒ තිත්ත රස ඔෟෂධ අතර කරවිලවලට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්. අද වනවිට මත්පැන් පානය කිරීම නිසා අක්මාගත රෝගීන් සංඛ්‍යාව බහුල වශයෙන් වැඩිවෙලා. මත්පැන් භාවිත කිරීම නිසා හෝ වෙනත් හේතුන් නිසා අක්මාව ආශි්‍රතව රෝග හටගත් අය සඳහා දිනපතා උදෑසන කරවිල කොළ යුෂ තේ හැඳි දෙක බැගින් බොන්න දෙන්න.

නමුත් අක්මාගත රෝග නැති කරන්න කරවිල පත්‍ර යුෂ පානය කරන අතරතුරේදිත් මත්පැන් බොනවා නම් එය කනගාටුවට කරුණක්. එය කරන්න එපා.”

එමෙන්ම කුෂ්ඨ රෝග, සැරව ගලන ගෙඩි, තුවාල, පොතුකබර ආදී සමේ හටගන්නා විවිධ රෝග සුව කිරීම සඳහාද කරවිල ඉතාමත් යෝග්‍ය බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

 

‘කරවිල කියන්නේ බාහිර සමේ හටගත් විවිධ ආසාදනවලටත් සුවය සලසන දේශීය ඔෟෂධයක්. විශේෂයෙන්ම කුෂ්ඨ රෝගීන් සඳහා යෝග්‍යතම ඔෟෂධයක්. කුෂ්ඨ රෝගය වැලඳුණු අයකුට කරවිල කොළ කොටා ඒ යුෂ දිනපතා කුෂ්ටවල ආලේප කරනව නම් දින කිහිපයකින් සුවයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම සැරව ගලන තුවාල තත්ත්වයක් ආ විටදී කරවිල කොළ කොටා ඉස්ම බොන්න. තමාට හැකි පමණින් දෛනිකව එය පානය කරන්න. ඉක්මනින් තුවාල සුව වී ඒවා වියැළීමට කරවිල හොඳ ඔෟෂධයක්.

 

ඒ වගේම තමයි පොතුකබර කියන්නේ බහුතරයක් දෙනෙක් පීඩාවට පත්කරන තවත් සමේ බාහිර රෝගයක්. පොතු කබර රෝගියෙක් සඳහා ආලේප කළ හැකි වටිනා බෙහෙතක් නිවෙසේදීම සාදාගන්නා හැටි ඔබට මම කියන්නම්. කරවිල කොළ ටිකක් අරගෙන හොඳින් කොටා එහි යුෂ අරගන්න. ඉන්පසු ශෝධනය කළ ගෙන්දගම් ස්වල්පයක් (ආයුර්වේදානුකූලව ශෝධනය කළ යුතුයි) එයට මිශ්‍ර කරලා එයට කොහොඹ තෙල් ස්වල්පයකුත් මිශ්‍ර කරලා හොඳින් කකාරවන්න. ඉන්පසුව එය තෙලක් ලෙස සිඳුණු පසුව පොතු කබර රෝගීන්ගේ තුවාලවල දිනපතා ආලේප කරන්න. දින කිහිපයකින් එය සුව වේවි.”

 

කරවිල යනු ගර්භණී මවුවරුන්ටද ඉතාමත් ගුණදායක ආහාරයක් බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පවසන්නීය. කරවිල තුළ පවතින ඛනිජ ලවණ හරහා පිළිසිඳගත් බිලිඳාට ස්නායු ආබාධ ඇතිවීමේ අවදානම දුරු කරන බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. ගර්භණී බවින් මිදී දරුවා ප්‍රසූත කළ පසුවද කිරි වර්ධනය පිණිසද කරවිල ආහාරයට ගැනීම තුළින් හැකිවන බවද ඇය පැවැසුවාය.

එමෙන්ම අර්ශස් රෝගයෙන් පීඩා විඳින රෝගීන් සඳහාද කරවිල වැලේ මුල් භාවිත කොට වටිනා ඔෟෂධීය ගුණ සපිරි කල්කයක් සාදාගැනීමට හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

 

“ඇත්තටම අර්ශස් ගෙඩි වේදනාවෙන් පීඩා විඳින බොහෝ පිරිසක් අප සමාජයේ සිටිනවා. එවන් රෝගීන් සඳහා කරවිල මුල් භාවිත කරලා කල්කයක් සාදාගන්න පුළුවන්. ඔබ කළ යුත්තේ කරවිල මුල් කිහිපයක් අරගෙන හොඳින් පිරිසුදු කරලා සිහින්ව අඹරාගෙන අර්ශස් ගෙඩිවල ගෑම. අර්ශස් වේදනාව දුරුකරන්න එය වටිනා අත්බෙහෙතක්. ඒ වගේම කරවිල ගෙඩි කිහිපයක් කොටා ඉස්ම අරගෙන එයට සීනි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදේ හවසට දිනකට දෙවරක් බොන්න. අර්ශස් රෝගීන්ට එයත් ඉතා ගුණදායකයි.

අර්ශස් රෝගය සඳහාම පමණක් නෙවෙයි කරවිල නිතර නිතර ආහාරයක් ලෙස හෝ ඔෟෂධීය පානයක් ලෙස ඔබ භාවිත කරනව නම් මලබද්ධය ඇතිවන්නේ නෑ.”

 

වයස් භේදයකින් තොරව කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිත කළ හැකි කරවිල කුඩා දරුවන්ගේ ශරීරයේ හිසේ ඇතිවන සැරව බිබිළි සුව කිරීමටද අගනා ඔෟෂධයකි. දරුවන්ගේ හිසේ සැරව බිබිළි හටගත් අවස්ථාවකදී දිනපතා උදෑසන කරවිල කොළ යුෂ ස්වල්පයක් දරුවාගේ හිසේ ගා හිස පිරිමැදීම දිනපතා කිරීම මඟින් සැරව බිබිළිවල විස හරණය වී තුවාල වියැළී යන බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය කීවාය.

 

එපමණක් නොව කුඩා දරුවන්ට පණු අමාරුව රෝග තත්ත්වයක් වැලඳුණු අවස්ථාවකදී කරවිල කොළ යුෂ ස්වල්පයක් පානය කිරීමට දීම මඟින් පණු අමාරුවේ ක්‍ෂණික සුවයක් අත්විඳිය හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පවසන්නීය. මෙය වසර සිය ගණනක අතීතයේ විසූ මිනිසුන් පණු අමාරුව සඳහා භාවිත කළ සුවිශේෂී වූ ඔෟෂධයක් බවද හැරපත්දෙණිය මහත්මියගේ අදහසයි.

කරවිල ඔෟෂධය, ශරීරයේ හටගන්නා බාහිර සහ අභ්‍යන්තර රෝග රැසකට අද්විතීය ගුණ සපිරි ඔෟෂධයකි. අධික තිත්ත ගුණයකින් සපිරි ශාකයක් බැවින් සමෙහි රෝග සඳහා කරවිල භාවිත කිරීම මඟින් ඉක්මන් සුවයක් ළඟාකර ගත හැකි බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය. එබැවින් බහුල වශයෙන් හටගත් කුෂ්ට රෝගයක් සඳහා වුවද කරවිල අගනා ඔෟෂධයක් බවත් කුෂ්ඨ රෝගීන්ගේ කුෂ්ඨ සුව කර ගැනීම සඳහා සාදා දිය හැකි විශේෂ ඔෟෂධීය ආහාරයක් සාදාගන්නා ආකාරය පිළිබඳත් හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙලෙසිනි.

 

“සම්පූර්ණ කරවිල වැලක් අරගෙන මඳක් වියළා ග්‍රෑම් 60ක ප්‍රමාණයක් වන පරිදි කුඩා කැබැලිවලට කපාගන්න. ඉන් පසු එය මුට්ටියකට දමා වතුර පත 8ක් මිශ්‍ර කර පත එකක් වන තුරු සිඳවා ගන්න. සිඳවා ගත් කරවිල දඬු යුෂ පත එක ප්‍රමාණය වගේ කාලක ප්‍රමාණයක් එයට එළඟිතෙල් මිශ්‍ර කරගන්න. ඉන්පසු කරවිල වැලේ දඬු වියළා කුඩුකරගත් සිහින් කුඩු තේ හැඳි දෙකකුත් එයට මිශ්‍ර කරන්න. ඉන් පසුව ඒ සියල්ලම හොඳින් මිශ්‍රකරලා එළඟිතෙල් හිදෙන තුරු ළිපේ රත් කරලා ගන්න. ඒ උකු ද්‍රාවණය හොඳ ඇසුරුමකට දමා තබාගෙන දිනකට මේස හැඳි එක බැගින් දිනපතාම කුෂ්ඨ රෝගියාට කන්න දෙන්න ඉතා කෙටි කලකින් කුෂ්ඨ රෝගය සුව වේවි.”

 

ආයුර්වේදයේ එක් තැනක කරවිල යනු රත්රන් වැනි ආහාරයක් ලෙස සඳහන් කොට තිබේ. එයට ප්‍රබලතම හේතුව වන්නේ කරවිල දෛනිකව භාවිත කිරීම මඟින් පැහැපත් රන්වන් පාටක් ලද හැකි බවට ප්‍රබල මතයක් සමාජගතව පැවැතීමයි. එදිනෙදා ආහාර වේල තුළ කරවිල වෑංජනයක් ලෙස කරවිල සලාදයක් ලෙස හෝ සම්බලයක් ලෙස සාදා ආහාරයට ගැනීමට පුරුදු වන්නේ නම් ඉහත රෝග සියල්ලටම සුවය පිණිස එය ඉවහල් වන බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

“කරවිල කොළ මඳ පවනේ වියළාගෙන හොඳින්  කුඩු කරලා ඔබට පුළුවන් තේ කොළ වෙනුවට කරවිල කොළ භාවිත කරන්න. දිනපතා උණුවතුරෙන් තම්බා ගත් ඒ පානය සඳහා ඔබ පුරුදු වෙනවා නම් ඇත්තටම ඔබ නිරෝගී පුද්ගලයෙක් වේවි.” ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය අවසානයේදී අපට පැවැසුවාය.

 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page