top of page

දියවැඩියාව සහ රුධිර පීඩනයට ඇඹරැල්ලාවලින් ඖෂධයක්

 

ඇඹරැල්ලා යනු අප දේශීය ආහාර ක්‍රමවේදයේ හොඳ රසවත් පලතුරක් පමණක් නොව ගුණවත් එළවළු වෑංජනයකි. ඇඹරැල්ලා වෑංජනයට ලොකු කුඩා කවුරුත් දක්වන්නේ දැඩි ප්‍රියතාවකි. එයට හේතුව වන්නේ ඇඹරැල්ලා සතුව එයටම ආවේණික රසයක් සහ රසායනික ගුණයක් පැවැතීමයි. ඒ නිසාම ඉදුණු ඇඹරැල්ලා භාවිත කොට රසවත් ඇඹරැල්ලා ජෑම් සෑදීමටත් පැසුණු ඇඹරැල්ලා භාවිත කොට චට්නි, අච්චාරු වැනි අතිරේක ආහාර නිපදවීමටත් අප ගෘහණියෝ කටයුතු කරති.

ඇඹරැල්ලා කෙතරම් අප ජන ජීවිතය හා බැඳී පවතී දැයි පැවැසුවහොත් ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මානවල ගෙවතු හතරකින් එක ගෙවත්තකට ඇඹරැල්ලා ගසක් හිමිවේ. එවන් සමීප සබඳතාවකින් සපිරි ඇඹරැල්ලා අප ආහාර ක්‍රමවේදය තුළ විශාල පෙරළියක් කළ බව බොහෝ දෙනකු දත් නමුත් මෙම ඇඹරැල්ලා අප දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදයේ ඉතා වටිනා ගුණවත් ඔෟෂධ නිපදවිය හැකි ශාකමය ඔෟෂධයක් යැයි පැවැසුවහොත් ඔබ මවිත විය හැකිය. මෙම අද්විතීය ඔෟෂධ ගුණ සපිරි ඇඹරැල්ලා ශාකයේ පවතින රෝග නාශක ඔෟෂධීය ගුණය පිළිබඳ ඔබට පැවැසීමටත් මෙම අද්විතීය ඔෟෂධය හරහා නිවෙසේ සිටම ඔෟෂධ සාදාගන්නා ආකාරය ඔබට පැවැසීමටත් කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රාජගිරියේ පිහිටා ඇති දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ ජේ‍යෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය ඉදිරිපත් වූවාය. මෙම ඔෟෂධීය ශාකයේ පවතින වැදගත්කම පිළිබඳ හැරපත්දෙණිය මහත්මිය පැවැසුවේ මෙලෙසිනි.

"ඇඹරැල්ලාවල පවතින ආහාරමය ගුණය පිළිබඳ බොහෝ දෙනකු දැන සිටියත් මේ විස්මිත ශාකයේ පවතින ඔෟෂධීය ගුණය පිළිබඳ අප සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නෑ. ඇත්තෙන්ම ඇඹරැල්ලා කියන්නේ ඉපැරැණි දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව රෝග නස්නා ගුණය ඉහළින්ම ඇති අද්විතීය ඔෟෂධයක්. දැනට විද්‍යාත්මකව තහවුරු කරගත් පරිදි ඇඹරැල්ලා ශාකයේ මවුබිම වෙලා තිබෙන්නේ පොලිසිනියාව. අපේ ලංකාව පෘතුගීසින් ආක්‍රමණය කිරීමත් සමඟම මෙරට ඇඹරැල්ලා පලතුර වගා කරන්න කටයුතු කළා. එදා සිට අද දක්වාම අපේ රටේත් ඇඹරැල්ලා ව්‍යාප්ත වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාව හැරුණු විට ඉන්දියාව, මලයාව, බුරුමය වැනි රටවලත් ඇඹරැල්ලා බහුල වශයෙන් පවතිනවා. සාමාන්‍යයෙන් ඇඹරැල්ලා ගසක උස මීටර් 13ක් 19ක් අතර අගයක් ගන්නවා. නමුත් අද වෙනකොට නව තාක්ෂණය හරහා බද්ධ පැළ ලෙස රෝපණය කර කුඩා ගසේ ගෙඩි හටගන්නා තත්ත්වයක් පවා පවතිනවා. සාමාන්‍ය ඇඹරැල්ලා ගසක් රෝපණය වී ගෙඩි හටගන්න වර්ෂ හතරක් හෝ පහක් වැනි කාලයක් ගතවෙනවා.

අපේ දේශීය ආයුර්වේදයේ ඉපැරැණි මූලික ග්‍රන්ථ ත්‍රිත්වයක් වන චරක සංහිතාව, ශුශ්‍රත සංහිතාව සහ අෂ්ටාංග පාද සංහිතාව කියන මූලික ග්‍රන්ථවල ඇඹරැල්ලා ඔෟෂධය ගැන ස¼දහන් වෙනවා. ඒ අනුව ඇඹරැල්ලා කියන්නේ හෘදයට වඩාත් හිතකර පලතුරක්. ඒ නිසා හෘදය ආශි්‍රත රෝගවලින් පෙළෙන රෝගීන්ට ඇඹරැල්ලා පලතුරක් ලෙස ගැනීම වගේම ඇඹරැල්ලා වෑංජනයක් ලෙස ආහාරයට ගැනීමත් ඉතාමත්ම ගුණදායකයි."

ඉදුණු ඇඹරැල්ලා ආහාරයට ගැනීමෙන් ශරීරයේ හටගන්නා වා, පිත්, සෙම් දෝෂ සුව වන බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. එමෙන්ම අප දේශීය ආයුර්වේදයට අනුව ආමෘත, ආමෘතක යනාදී අන්වර්ථ නාමවලින්ද ඇඹරැල්ලා ඔෟෂධය හඳුන්වනු ලබයි. ඇඹරැල්ලා ගෙඩි ඉදුණු පසු මී අඹ ගෙඩියේ රන්වන් වර්ණය ගන්නා බැවින් ආමෘත යනුවෙන් හඳුන්වනු ලබයි. ඉදුණු මී අඹ ගෙඩි මෙන් ඉදුණු ඇඹරැල්ලා රසවත් පලතුරක් බැවින් ආමෘතක යනුවෙන් හඳුන්වනු ලබයි. කෙසේ වෙතත් අප ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලට අනුව අප ශ්‍රී ලංකාවේ හටගන්නා දේශීය ඇඹරැල්ලා ප්‍රභේද තුනකින් සමන්විතය. වල් අඹරැල්ලා, ඇඹරැල්ලා සහ කටු ඇඹරැල්ලා යනු ඒ ප්‍රභේද තුනයි.

පොදුවේ මේ සෑම ඇඹරැල්ලාවක්ම ඒදචජචපඤඪචජඥඳඥ හෙවත් අඹ කුලයට අයත් වන අතර මෙම ඇඹරැල්ලා ප්‍රභේද ත්‍රිත්වය අතරින් බහුල වශයෙන් සාමාන්‍ය ඇඹරැල්ලා ප්‍රභේදය ඔෟෂධ නිපදවීම සඳහා භාවිත කෙරෙන බවද ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ඉදුණු, පැසුණු ළපටි ඇඹරැල්ලා ගෙඩි වගේම ඇඹරැල්ලා ගසේ පොතු, කොළ, මැලියම් කියන සෑම අංගයක්ම අප දේශීය ආයුර්වේදයේ ඔෟෂධ නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නවා.

පොදුවේ ගත් කල අපේ දේශීය ආයුර්වේද ක්‍රමය තුළ ඇඹරැල්ලා හෘදයට වඩාත් හිතකර ඔෟෂධයක්. ඒ වගේම ඇඹරැල්ලාවල වේදනා නාශක ගුණයක් පවතිනවා. ඒ නිසා හන්දිපත් ඉදිමුම් තැළීම් ආදියටත් මේ වටිනා ඔෟෂධයෙන් බෙහෙත් සාදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇඹරැල්ලා ගෙඩිවල ආහාර රුචිය වැඩිකිරීමේ විශේෂ රසායනික ගුණයක් තිබෙනවා. ඒ නිසා කෑම අරුචියෙන් පෙළෙන අයටත් ඇඹරැල්ලා කියන්නේ වටිනා ඔෟෂධයක්. ශරීරයෙන් රුධිරය වහනය වන විවිධ අවස්ථාවලදී ඒ රුධිරය වහනය වීම වළක්වන්නත් ඇඹරැල්ලා ඔෟෂධයට පුළුවන්.

මම පෙරත් සඳහන් කළා ඇඹරැල්ලා කියන්නේ වා, පිත්, සෙම් රෝග සඳහා ප්‍රතිකාර කළ හැකි වටිනා ඔෟෂධයක් කියලා. බොහෝ පුද්ගලයන්ගේ මුඛයේ සෙම් ගෙඩි, ප්‍රදාහ හටගන්නවා. එවන් රෝගවලින් පීඩා විඳින අයටත් අධික ලෙස සෙම් පවතින අයටත් ඒ තත්ත්වයෙන් මිදෙන්නෙ ඔෟෂධයක් සාදාගන්න හැටි මම කියන්නම්. මුලින්ම ඇඹරැල්ලා ගහේ පිටපොත්ත අරගන්න. ඉන්පසු ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් අරගෙන ඇඹරැල්ලා ගහේ පොතුත් සමඟ ඒ සියල්ලම හොඳින් කොටා ගන්න. කොටලා ඇස් නාරං ඇඹුලෙන් ඒ කුඩු අනාගන්න. ඉන් පස්සේ ඒ අනාගත් ඔෟෂධීය වට්ටෝරුව උකු ද්‍රාවණයක් වගේ වෙනවා. අධික සෙම සහිත අයගේ උගුරේ ඒ ද්‍රාවණය ආලේප කරන්න. සෙම ඉවත් වෙනවා. ඒ වගේම සෙම් ගෙඩි, ප්‍රදාහ පවතින අය මේ ද්‍රාවණය ඒ මතුපිට ආලේප කරනව නම් එයින් සුවයක් ලබාගන්නත් පුළුවන්.

ඒ වගේම තමයි අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගක් තමයි හන්දිපත් වේදනාව. විශේෂයෙන්ම කුලී වැඩ කරන පිරිස් අතර මේ හන්දිපත් ඉදිමුම්, හන්දි වේදනා, තැළීම්, රක්ත ලෙස හටගැනීම බහුලයි. එවන් රෝග පීඩාවකින් ඔබ පීඩාවට පත්වෙලා නම් ඇඹරැල්ලා ගසේ පොතු ස්වල්පයක් අරගෙන ලුණු දියෙන් අඹරා (සියුම් ලෙස) කකාරා හන්දිපත් ඉදිමුම්, තැළීම්, වේදනා සහිත ස්ථානවල එය ආලේප කරන්න. ඔබගේ වේදනාව ස්වල්ප වේලාවකින් මඟහැරී යාවී. මොකද ඇඹරැල්ලා කියන්නේ හොඳ වේදනා නාශකයක්. අපි එය පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත්තා."

විවිධාකාරයේ අතීසාර රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ එම අතීසාර තත්ත්වය දුරුකිරීමටද ඇඹරැල්ලා පොතු කෂායට හැකි බවත් ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ඇඹරැල්ලා පොතු ස්වල්පයක් වියළා මුට්ටියකට දමා එයට වතුර පත හතක් මිශ්‍ර කොට පත එකට සිඳුවා එයට දෙළුම් ඉස්ම හා මී පැණි ස්වල්පයක් මිශ්‍රකර උදෑසන පත භාගයක් සහ සවස පත භාගයක් පානයට ගන්නේ නම් දින කිහිපයක් ඇතුළත අතීසාරය වැළැක්විය හැකි බවද ඇය කීවාය. එමෙන්ම කාන්තාවන්ගේ ගර්භාෂ රෝග සඳහාද ස්ත්‍රී පුරුෂ මුත්‍රා රෝග සඳහාද, මුත්‍රා දැවිල්ල, මුතා පිටවීමේ අසීරුතා වැනි රෝග සඳහාද ඉදුණු ඇඹරැල්ලා පලතුරක් ලෙස ගැනීම ගුණදායක බව හැරපත්දෙණිය මහත්මිය සඳහන් කරයි. එසේ නොමැති නම් ඉහත සඳහන් සෑම රෝගයක් සඳහාම ඇඹරැල්ලා දලු සම්බෝලයක් ලෙස එදිනෙදා ආහාර වේල සඳහා එක්කර ගැනීමට කටයුතු කරන්නේ නම් එය ඉතාමත්ම ගුණදායක බව ජේ‍යෂ්ඨ කථිකාචාරිනියගේ මතයයි. ගොටුකොළ සම්බල් සාදන ආකාරයට ඇඹරැල්ලා දලු මඟින් සම්බල් සෑදිය හැකි අතර එය රසවත් මෙන්ම යථෝක්ත රෝග සඳහාද ගුණ දෙන ඔසුවකි.

"අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් සඳහා යම් පලතුරක් නිර්දේශ කරනව නම් ඒ අතර මූලිකම පලතුර වෙන්නේ ඇඹරැල්ලා. එයට හේතුව තමයි ඇඹරැල්ලා හෘදයට ඉතාම හිතකර පලතුරක්. දේශීය ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථයක් වන චරක සංහිතාවේ හෘදයට හිතකර ද්‍රව්‍ය 10ක් සඳහන් වෙනවා. ඒ අතර සඳහන් හෘදයට හිතකර මූලිකම ද්‍රව්‍යයක් තමයි ඇඹරැල්ලා කියන්නේ. ඒ නිසා හෘද රෝගීන්ට වගේම දියවැඩියාව රෝගයෙන් පෙළෙන පිරිසටත් ඇඹරැල්ලා ඉතාම ගුණදායක පලතුරක්. එවන් රෝගීන් සඳහා දිනපතා උදෑසන ඉදුණු ඇඹරැල්ලා ගෙඩියක් ආහාරයට දෙන්න. නැතිනම් දින දෙකකට වරක් වත් ඇඹරැල්ලා වෑන්ජනයක්, ඇඹරැල්ලා දලු සම්බලක් ඔවුන්ගේ ආහාර වේලට එකතු කරන්න. එය ඉතාමත්ම ගුණදායකයි.

ඇඹරැල්ලා ගසේ පොතුවල විෂ නාශනය කිරීමේ සුවිශේෂී ගුණයක් පවතිනවා. පුරාණේ විවිධ ආක්‍රමණවලදී විෂ ගැල්වූ ඊතල ප්‍රහාරවලින් සිදුවූ තුවාල සුව කරන්න වගේම ඒ විෂ නැති කරන්නත් ඇඹරැල්ලා පොතු යොදා ගෙන තිබෙනවා. ඒ නිසා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශි්‍රතව ඇති ඕනෑම රෝග තත්ත්වයකදී ඇඹරැල්ලා පොතු කෂාය මම පෙර කී පරිදි සාදාගෙන උදේ සවස පත භාගය බැගින් පානය කරන්න.එය ඉතාමත්ම ගුණදායකයි"

කල්ගතවූ කැස්ස රෝගයෙන් පෙළෙන්නේද? එවන් කල් ගතවූ කැස්ස පවතින පුද්ගලයන්ගේ එම රෝගය සුව කිරීමටත් ආහාර රුචිය වැඩිවීමටත් ඉතා රසවත් ආහාරයක් ඇඹරැල්ලාවලින් සාදාගන්නා ආකාරයද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

"ඉදුණු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක් අරගෙන පොතු ඉවත් කරලා ගෑරුප්පුවකින් ගෙඩි සියල්ලම සිදුරු කරගන්න. ඉන්පසු ඒ ගෙඩි සියල්ලම මී පැණි බඳුනකට දමා දින 2ක් පමණ වසා තබා දිනකට එක බැගින් ආහාරයට ගන්න. සතියක් වගේ කාලයක් කිසිදු කල් ඉකුත්වීමකින් තොරව මේ ඔෟෂධීය රසවත් ආහාරය තබා ගන්නත් පුළුවන්. මේ ආහාරය කල් ගත වූ කැස්ස රෝගය සුව කිරීමටත් කෑම අරුචිය නැති අයට ආහාර රුචිය ඇති කිරීමටත් ඉතාමත්ම යෝග්‍යයයි. ඒ වගේම මේ පැණි ඇඹරැල්ලා ඉතාමත් රසවත් ආහාරයක්.

ඇතැම් විට රස්නෙ කාලයට අපි කොයි තරම් ප්‍රබෝධවත්ව ඉන්න උත්සාහ කළත් පවතින දේශගුණය නිසා ඔතෑනි ගතියක් පවතිනවා. ශරීරයට ප්‍රාණයක් නෑ. ඒ නිසා කම්මැළි අල්මැරුණු ස්වභාවයක් ගන්නත් පුළුවන්. එවන් ගී්‍රස්ම සමයකදී දිනපතා උදෑසන රසවත් ඇඹරැල්ලා බීමක් පානය කරලා ඔබට නව ජීවයකින් දවසේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඇඹරැල්ලා බීම එක සාදාගන්නේ මේ ආකාරයට. ළපටි ඇඹරැල්ලා ගෙඩි කිහිපයක් අරගෙන පොතු යවා හොඳින් කොටා මිරිකා යුෂ ගන්න. ඒ ඇඹරැල්ලා යුෂ වගේ 5 ගුණයක් එයට සූකිරි මිශ්‍ර කරලා ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එයට මිශ්‍ර කරලා සියල්ලම හොඳින් මිශ්‍ර කරලා ඒ රසවත් බීම පානයට ගන්න. ශරීරයට නව ප්‍රාණයක් වගේම සවි ශක්තියක් පවා එමඟින් ලැබෙනවා. දිනපතා උදෑසන මේ ඇඹරැල්ලා බීම පානයට ගන්නව නම් ඔබට එහි වෙනස අත්විඳින්න පුළුවන්.

ඒ වගේම අපේ ඉපැරැණි වෛද්‍ය ආචාර්යවරුන් සොයාගත් දෙයක් තමයි පීනස රෝගය ඇති විටකදි ඇඹරැල්ලා ගහේ මැලියම් අරගෙන ඒ මැලියම් පුච්චලා නඟින දුම ආශ්වාස කළොත් පීනස නැති වෙනවා. ඇතැම් අවස්ථාවලදී බොහෝ දුර ගමන් ගියාම, වෙහෙස මහන්සි වී වැඩ කළාම දෙපා රුදාව, කකුල් ඉදිමුම හටගන්න පුළුවන්. එවන් අවස්ථාවලදී ඇඹරැල්ලා ගහේ පොතු අරගෙන හොඳින් කොටා කුඩු කර ඒ කුඩුවලට සමව අරළු කුඩු ස්වල්පයක් අරගෙන ඒ කවලම් චූර්ණය දෙහි ඇඹුලින් අඹරා කකුල්වල ආලේප කරන්න. දෙපා රුදාව දුරු කරන්න ඒක හොඳ ප්‍රතිකර්මයක්. එහෙමත් නැති නම් හන්දිපත් වේදනාවක් ආ විටදි ඇඹරැල්ලා කොළ සහ පොතු තම්බා කෂායක් ලෙස පානය කරන්න. ඒ සෑම ක්‍රමයක්ම මෙයට ගුණයි.

ඒ වගේම තමයි බොහෝ දෙනෙක් විවිධ හේතූන් නිසා සුවවීම ප්‍රමාද වන තුවාලවලින් පීඩා විඳිනවා. ඒ වගේම සුව නොවන තුවාල ඇති අයට තුවාලවල ආලේප කරන්න වටිනා ඔෟෂධයක් මම කියන්නම්. ඇඹරැල්ලා කොළ මඳ පවනේ වියළාගෙන හොඳින් කුඩු කරලා ඒ කුඩුවලට එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍ර කරලා හොඳින් කලවම් කරන්න. ඉන් පසුව සුව නොවන හෝ අලුත හටගත් ඕනෑම තුවාලයක ඒ ද්‍රාවණය ආලේප කරන්න. ඉක්මනින් සුවය ලැබේවි.

ඒ වගේම කටේ හටගත් සෙම් ගෙඩි, තුවාල සුව කරන්නත් දත් නරක්වීම වළක්වාලන්නත් සුදුසු ඔෟෂධයක් ඇඹරැල්ලා කොළවලින් සාදාගන්න පුළුවන්. ඇඹරැල්ලා කොළ මඳ අව්වේ වියළාගෙන හොඳින් නැටූ උණුවතුර බඳුනකට වියළාගත් කොළ මිශ්‍ර කරලා ඒ උණුවතුර බඳුනට සහිඳ ලුණු ස්වල්පයකුත් මිශ්‍ර කරලා ඒ දියරයෙන් මුඛය සෝදන්න. මුඛය ආශි්‍රතව හටගත් ඕනෑම තුවාලයකට සෙම් ගෙඩියකට මේ ඔෟෂධීය දියෙන් කට සේදීම ගුණදායකයි"

ඇඹරැල්ලා උපයෝගී කොට ගනිමින් බහුතරයක් රෝග සඳහා ඔෟෂධ නිපැදවීම කරනවා වගේම වල් ඇඹරැල්ලා කොළ සහ පොතු යොදාගෙන සුවිශේෂී පත්තුවත් අපි සාදනවා. ඒ පත්තුවේ නම වල් ඇඹරැල්ලා පත්තුව. මේ පත්තුව බඳින්නේ බෙල්ලට. බෙල්ල නමන්න අපහසු නම් බෙල්ලේ වේදනාවත් දැනෙනවා නම් මේ වල් ඇඹරැල්ලා පත්තුව බෙල්ලටම බඳින්න. සතියක් පුරාවට දිනපතා මේ පත්තුව බෙල්ලට බඳිනව නම් වේදනාව නැතිවී ගෙල යථා තත්ත්වයට පත් වෙනවා. වල් ඇඹරැල්ලා පත්තුව හදන්නෙ මෙහෙමයි. වල් ඇඹරැල්ලා කොළ සහ පොතු ස්වල්පයක් අරගෙන හරං කහ, ලුණු වරණ පොතු, කොට්ට පොල් සමව අරගෙන සියල්ලම එකට මිශ්‍රකර හොඳින් කොටා ගන්න. ඉන්පස්සෙ ඒ මිශ්‍රණය මලවලා බෙල්ලේ සන්ධි ආබාධ සැදුණු තැන පත්තුව බඳින්න."

වල් ඇඹරැල්ලා පමණක් නොව දුර්ලභ කටු ඇඹරැල්ලාවලින්ද අප දේශීය ආයුර්වේදයේ ඔෟෂධ නිපදවන බව හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"ගැබිනි මාතාවන් දරු ප්‍රසූතියකින් පසුව ශරීරය අප්‍රාණිකත්වයකින් වගේම දුර්වල තත්ත්වයකින් පසුවෙනවා. එවන් දරුවකු බිහිකළ කාන්තාවන්ගේ ශරීර අප්‍රාණිකත්වය දුරුකර නව ශක්තියක් ලබාදීමට කටු ඇඹරැල්ලා ළපටි දලු කෂාය ඉතාමත්ම ගුණයි. දරු ප්‍රසූතියෙන් පසුව සිදුවන අධික රුධිර වහනය දුරු කරන්නත් මේ කෂාය ගුණයි."

සාමාන්‍ය ඇඹරැල්ලා, වල් ඇඹරැල්ලා සහ කටු ඇඹරැල්ලා භාවිතයෙන් සමාජයේ විවිධ රෝග දුරු කරවීමට අද්විතීය ඔෟෂධ නිපදවන ආකාරය පැවැසීමෙන් අනතුරුව ජේ‍යෂ්ඨ කථිකාචාරිනිය ඇඹරැල්ලා චට්නියක් සාදන ආකාරය අවසානයේ අපට පැවැසුවේ මෙලෙසනි.

"ඉදුණු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක් (සාමාන්‍ය ඇඹරැල්ලා) අරගෙන පොතු ඉවත්කර කැබලිවලට කපා ඇට ඉවත් කර ගන්න. ඉන්පසු වෙනත් බඳුනකට ජලය කෝප්ප 2ක් පමණ දමා ළිපේ තබා හොඳින් රත්වූ පසු එයට සීනි ග්‍රෑම් 100ක් පමණ මිශ්‍ර කරන්න. උකු ද්‍රාවණයට ඇඹරැල්ලා කැබැලි ටික මිශ්‍ර කරලා එයට මිරිස් කුඩු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, ලුණු ස්වල්පයක් සහ විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කරලා උකු පදමට එනතුරු හොඳින් කවලම් කරන්න. ඉන්පසු පදමට ආ පසු චට්නිය ළිපෙන් බා නිවුනට පසුව වාතාශ්‍රය නොවදින බෝතලයකට දමා තබාගෙන වරින් වර භාවිතයට ගන්න. මෙහිදී විශේෂයෙන්ම සිතට ගත යුතු දෙයක් තමයි දියවැඩියාව රෝගීන් සිටීනම් චට්නි එකට අඩු සීනි භාවිත කිරීම."එය ඉතාමත්ම ගුණදායකය.

ඔබ කල්ගතවූ කැස්ස රෝගයෙන් පෙළෙන්නේද? එවන් කල් ගතවූ කැස්ස පවතින පුද්ගලයන්ගේ එම රෝගය සුව කිරීමටත් ආහාර රුචිය වැඩිවීමටත් ඉතා රසවත් ආහාරයක් ඇඹරැල්ලාවලින් සාදාගන්නා ආකාරයද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.

ඉදුණු ඇඹරැල්ලා ගෙඩි කිහිපයක් අරගෙන පොතු ඉවත් කරලා ගෑරුප්පුවකින් ගෙඩි සියල්ලම සිදුරු කරගන්න. ඉන්පසු ඒ ගෙඩි සියල්ලම මී පැණි බඳුනකට දමා දින 2ක් පමණ වසා තබා දිනකට එක බැගින් ආහාරයට ගන්න. සතියක් වගේ කාලයක් කිසිදු කල් ඉකුත්වීමකින් තොරව මේ ඔෟෂධීය රසවත් ආහාරය තබා ගන්නත් පුළුවන්.

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page