
බතල වලින් ඩෙංගු සුව කරන හැටි
ඩෙංගු රෝගී පුද්ගලයන් බතල දලු සහ බතල දඬු මිශ්‍ර වෑංජනයක් හෝ තෙම්පරාදුවක් දින දෙකකට වරක් හෝ සිය ආහාරයට එක්කර ගන්නේ නම් ඩෙංගු රෝගී තත්ත්වය මෙම සුවිශේෂී ඔෟෂධය නිසා මඟහැරී යන බවද හැරපත්දෙණිය මහත්මිය අවසානයේදී පැවැසුවාය.
අපේ ප්‍රධාන ආහාරය වන 'බත' හැරුණුවිට ගැමි ජනතාව අතර එයට නොදෙවැනි ආහාර වර්ගයක් ලෙස 'අල' හැඳින්විය හැකිය. අතීතයේ පටන්ම අප ගැමියන් ශරීර ශක්තිය වැඩිවීමටත් අධි පෝෂණ ගුණයක් ලැබීමටත් බත හැරුණු විට භාවිත කළේ ගුණාත්මක අල වර්ගය. ශරීරයට හිතකර පෝෂ්‍යදායී ගුණයෙන් අනූන අල වර්ග රාශියක් අප සශ්‍රීක භූමියෙහි හටගනී. ඒ අතර මඤ්ඤොක්කා, බතල, ඉන්නල, කටුඅල, දේසාල, කොඬොල, කිඩාරම් අල, බුත්සරණ අල ආදී අල වර්ගවලට හිමිවන්නේ සුවිශේෂී තත්ත්වයකි.
ආහාරයක් ලෙස ශරීරයට අධි පෝෂ්‍ය ගුණයක් ලබාදීමට සමත් මෙම අල වර්ග අප දේශීය ආයුර්වේදය තුළ රෝග රැසක් දුරු කරවීමට සමත් විශිෂ්ට ගණයේ ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා බව පැවැසුවහොත් ඔබ තරමක මවිතයක් පළ කළ හැකිය. එහෙත් සැබැවින්ම අල යනු අප දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ඉමහත් පෙරළියක් සිදුකළ ඖෂධ නිෂ්පාදනය කිරීමට ගනු ලබන අමුද්‍රව්‍යයකි. ජ්‍යේෂ්ඨ කථිකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙණිය මහත්මිය අප දේශීය වෙදකම සහ අල වර්ග අතර බොහෝ කලක සිට පැවැත එන සුහදත්වය මෙසේ 'මව්බිම'ට පැවැසුවාය.
වසර සිය ගණනක් පැරැණි 'සාරාර්ථ සංග්‍රහය' කියන ග්‍රන්ථයෙත් සඳහන් වෙනවා පරිසරයේ හටගන්න විවිධ අල වර්ග යොදා ගනිමින් අපේ දේශීය ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යයක් අතීතයේ පටන්ම ක්‍රියාත්මක වුණා කියලා. අපේ සමාජයේ මුල්බැසගෙන තිබෙන විවිධ රෝග පීඩා දුරු කරවීම සඳහා විවිධ දේශීය අල වර්ග යොදාගනිමින් ඔෟෂධ නිෂ්පාදනය කිරීමේ කාර්යය අපි කරනවා. මේ සෑම අල වර්ගයකින්ම නිෂ්පාදනය කරන ඖෂධ භාවිත කිරීමෙන් වගේම පෝෂ්‍යදායී ගුණාත්මක අල වර්ග තම්බලා ආහාරයට ගැනීමෙන් හෝ වෑංජනයක් ලෙස ගැනීමෙනුත් අදාළ රෝග සුවකර ගන්න ඔබට පුළුවනි. ඒ නිසා මම අල වර්ග කිහිපයක් සඳහන් කරලා එහි පවතින රෝග නාශක ගුණය සහ විවිධ රෝගවලට ඔසුවක් පිණිස ඒ අල වර්ග භාවිත කළ යුතු ආකාරයත් ඔබට කියන්නම්.
අපේ පැරැණි ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වෙනවා අල වර්ග විශාල වශයෙන් යොදාගෙන අතීතයේ ඉඳන්ම විස්මිත ඔෟෂධ වර්ග සැදීමට පැරැණි වෛද්‍යාචාර්යවරු කටයුතු කළා කියලා. ඒ ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට අප ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ශ්‍රේෂ්ඨතම ඖෂධ අල වර්ගය ලෙස හඳුන්වා තිබෙන්නේ 'කිඩාරම් අල' වර්ගය. කිඩාරම් අල සතුව පවතින කැල්සියම් ඔක්සලේට් කියන රසායනික ද්‍රව්‍ය නිසා අප සමාජයේ මුල්බැසගෙන තිබෙන රෝග රැසක් නාශනය කිරීමේ විශේෂ ගුණයක් මේ ඔෟෂධ අලය සතුව පවතිනවා. මේ අල වර්ගයේ තිබෙන අධි පෝෂණ ගුණය නිසා කිඩාරම් අල තම්බා හෝ වෑංජනයක් විදියට ආහාරයට ගන්නවා නම් කෑම අරුචියෙන් පෙළෙන අයට බඩගින්න ඇති කරවීමේ විශේෂ ගුණයක් මේ ඖෂධීය අලය සතුව පවතිනවා. ඒ වගේම කිඩාරම් අල සතියකට අවමය දෙවතාවක් හෝ ආහාරයට ගන්නවා නම් ආමාශගත රෝග, අර්ශස් රෝග වැනි රෝගත් එමඟින් සුව කිරීමේ හැකියාවක් පවතිනවා.
ජේයෂ්ඨ කථිකාචාරිනිය පවසන පරිදි දේශීය ආයුර්වේදය තුළ සූරන, අර්ශෝග්න යන නම්වලින් හඳුන්වන්නේද කිඩාරම් අල වර්ගයයි. මෙම අල වර්ගය ප්‍රභේද ද්විත්වයක් ලෙස වර්ග කෙරෙන අතර එය ග්‍රාම්‍ය ප්‍රභේදය සහ වන්‍ය ප්‍රභේදය වේ. ආහාර පිණිස ග්‍රාම්‍ය අල ප්‍රභේදය ගනු ලබන අතර ඖෂධ පිණිස බහුලව ගනු ලබන්නේ වන්‍ය ප්‍රභේදය බවද හැරපත්දෙණිය මහත්මිය පැවැසුවාය.
"කිඩාරම් අල සාමාන්‍ය අල වර්ගවලට වඩා ටිකක් උගුර කසන ගතියකින් යුක්තයි. කැල්සියම් ඔක්සලේට් කියන රසායනික ද්‍රව්‍ය නිසා මේ උගුර කැසීමේ ගතිය ඇතිවන්න පුළුවන්. ඒ නිසා කිඩාරම් අල සාමාන්‍ය අල වර්ගයක් ලෙස ආහාරයට ගන්න පිසීමට කලින් හුනු ස්වල්පයක් වතුර එකකට දාලා ඒ හුනු වතුර එකට කිඩාරම් අල දමා හොඳින් තම්බා ළිපෙන් බාගෙන නැවැතත් අල එක උණු වතුරෙන් සෝදලා තමයි වෑංජනයක් හැදීමට හෝ නැවැතත් තැම්බීමට ගත යුත්තේ. ඒ ආකාරයට කිඩාරම් අල පිසගැනීම කළොත් උගුර කැසීමක් ඇතිවන්නේ නෑ.
මේ කිඩාරම් අලවල තිබෙන පෝෂණ ගුණය ඉතාමත් ඉහළයි. ඒ වගේම ඛනිජ ලවණින් සමන්විතයි. කිඩාරම් අල කැබැලිවලට කපාගෙන ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල අච්චාරු දැමීමටත් ඒ අල වර්ගය ගන්නවා. ආමාශ අභ්‍යන්තරිකව හටගන්නා තුවාල සනීප කරන්න කිඩාරම් අල සෝදා කුඩා කැබැලිවලට කපා වියාගෙන කුඩුකර ගන්න. ඒ විදියට සියුම්ව කුඩු කරගත් කිඩාරම් අල කුඩු රොටී වගේ පිටි ආහාර හදන්නත් භාවිත කරන්න පුළුවන්. කිඩාරම් අල කුඩු යොදා සෑදූ ආහාර ඔබ සතියකට දින කිහිපයක් හෝ ගන්නවා නම් ආමාශගත තුවාල සුව වීමටත්, අර්ශස් රෝග සුවකර ගැනීමටත් ඉතාමත් ගුණාත්මකයි.
අර්ශස් රෝගීන්ගේ අර්ශස් සුව කිරීම සඳහා ඕ.පී.ඩී. මට්ටමෙන් පවා ලබාගත හැකි ඔෟෂධයක් තමයි 'සූරන මෝදකය' කියන්නේ. මේ සූරන මෝදකය හදන්න කිඩාරම් අල පිටි භාවිත කරනවා. ඔබත් අර්ශස් රෝගයෙන් පෙළෙන අයෙක් නම් ඔබට 'සූරන මෝදකය' ඖෂධය ඔබේ නිවෙසේ සිටම සාදන ආකාරය මම කියන්නම්. මුලින්ම කිඩාරම් අල කොටස් එකක් අරගෙන ඒ වගේ අඩක් රත්නිචොල් මුල් චූර්ණය අරගෙන එයට මිශ්‍ර කරන්න. නැවැතත් ඒ රත්නිචෝල් මුල් චූර්ණය වගේ 1/4ක් වියළි ඉඟුරු කුඩු අරගෙන ඒ වියළි ඉඟුරු කුඩු වගේ අඩක් ගම්මිරිස් කුඩු ගන්න. ඉන් පසුව ඒ සියල්ලම එකට මිශ්‍ර කර රෙදි කඩකින් හොඳින් හලාගන්න. ඒ හලාගත් ඔෟෂධ මිශ්‍රණය වගේ දෙගුණයක් ඒකට උක් හකුරු මිශ්‍ර කර හොඳින් අඹරා ගන්න. ඉන් පස්සේ ග්‍රෑම් 5ක ප්‍රමාණය මඟින් ගුළි හදාගෙන දිනකට එක් වරක් බැගින් ඒ ගුළියක් උණු වතුර කෝප්පයක් සමඟ දිනපතාම පානය කරන්න. අර්ශස් රෝගීන් සඳහා ඒ 'සූරන මෝදක' ඔෟෂධය ඉතාමත්ම ගුණදායකයි."
බතල යනු ලොකු කුඩා කා අතරත් ප්‍රියතාවක් දෙන අල වර්ගයකි. වෑංජනයක්, තැම්බුම් අල වර්ගයක් සහ ගැඹුරු තෙලේ බැදීමෙන් පසු අල බයිට් එකක් ලෙසද අප දිව පිනවන බතල දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ විස්මිත ඖෂධයක්ද වේ. සාමාන්‍ය පරිදි බතල අල සෝදා කෑලි කපා වියළා ගැනීමෙන් පසුව හොඳින් කුඩුකර රෝටී සැදීමට සුදුසු බවද බතල පිටි යොදා ආහාරයට ගන්නා රොටී ඉතාමත්ම ගුණදායක බවද එමඟින් දියවැඩියාව, ඩෙංගු වැනි රෝගීන් පවා සුව කළ හැකි බවද එය පර්යේෂණ මට්ටමෙන් පවා තහවුරු කරගත් කරුණක් බවද ජ්‍යේෂ්ඨ කථිකාචාරිනිය පවසන්නීය.
"ඇත්තටම බතල කියන්නේ අපේ එදිනෙදා ආහාර වේලෙදී බත් හැරුණු විට ආහාර සඳහා යොදා ගන්න තවත් විශේෂ අල වර්ගයක්. ධ්නධථඥච ඡචබචබචඵ යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බතල අල පමණක් නෙවෙයි කොළ සහ ළා දලුත් අපි සිංහල වෙදකමේ ඔෟෂධ නිෂ්පාදනය කරන්න යොදා ගන්නවා. අපේ පැරැණි ආයුර්වේද ග්‍රන්ථවල පවා සඳහන් වෙනවා කටේ සෙම් ගෙඩි, කටේ පැසවීම්, තුවාල, දත් අමාරු වගේ මුඛාශි්‍රත රෝග සුව කිරීම සඳහාත් බතල කොළ කෂායකින් කට සේදීම සහ පානය කිරීම ඉතාමත්ම ගුණදායකයි කියලා. යම්කිසි කෙනෙක් මම පෙර සඳහන් කළ මුඛාශි්‍රත රෝගයකින් පෙළෙනවා නම් බතල කොළ සහ දලු මිටක් අරගෙන මුට්ටියකට දමා වතුර පත 8ක් ඒකට දමා පත එකකට සිඳුවා ඒ කෂායෙන් කට සේදීමෙන්, පානය කිරීමෙන් මුඛය ආශ්‍රිත රෝග සුවකර ගන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි ඇදුම, පීනස, කැස්ස සහ හෙම්බිරිස්සාව වගේ රෝග සඳහාත් බතල කොළ කෂාය ඉතාමත්ම ගුණදායකයි.
අද අපේ ගෘහණියන් ගොඩක් දෙනා අල අතරින් බහුලවම භාවිත කරන්නේ අර්තාපල් අල. ඔවුන් හිතන දෙයක් තමයි අල අතරින් ගුණාත්මකම අල වර්ගය අර්තාපල් කියලා. නමුත් බතලවල වෙනත් අල වර්ගවල නොමැති විශේෂ පෝෂණ ගුණ රාශියක් පවතිනවා. ඒ අතරින් විටමින් ඒ, විටමින් ඕ, විටමින් ඛ්, යකඩ, කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන් සහ කාබෝහයිඩ්‍රේට විශේෂයි. එනිසා ශරීරයෙන් රුධිරය වහනය වූ රෝගියකුට රුධිරය වැඩිවීම සඳහා දිය යුතු හොඳම ආහාරයක් තමයි බතල අල කියන්නේ.
ඒ වගේම තමයි බතල අලවල ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය ඉතා වැඩියි. ඒ නිසා බතල අල තැම්බුමක් ලෙස හෝ බතල අල වෑංජනයක් ලෙස ආහාරයට ගන්නවා නම් ශරීරය තුළ රුධිර ගමනාගමනය හොඳින් සිදුවෙනවා. ඒ නිසා මොළයට රුධිය සම්පාදනය කිරීමත් කාර්යක්‍ෂම වෙනවා. එබැවින් පාඩම් කරන දරුවන්ට මතක ශක්තිය වැඩිවීමට වගේම මතක ශක්තිය හීන වෙමින් පවතින වැඩිහිටියන්ටත් ඉතාමත් යෝග්‍ය ආහාරයක් විදියට බතල නිර්දේශ කරන්න පුළුවන්.
ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය වැඩි නිසා බතල අල ආහාරයට ගැනීම ගර්භණී කාන්තාවන්ට ඉතාමත්ම යෝග්‍යයි. කුසේ පිළිසිඳ ගත් දරුවාගේ කාය වර්ධනය යහපත් වෙන්න බතල ආහාරය තුළින් ලැබෙන පෝෂණීය ගුණය ඉතාමත්ම ඉහළයි. දරු උපතින් පසුව මවගේ උදරයේ ඇතිවන ලප කැළැල් මැකීමේ විශේෂ හැකියාවකුත් බතල අල සතුව පවතිනවා. එනිසා ඔබත් ගර්භණී මවක් නම් දරුවකු බිහි කළ මවක් නම් හැකිතාක් බතල අල ආහාරයට ගන්න. එය ඉතාමත්ම ගුණදායකයි.
අද අපේ සමාජයේ මුල් බැසගත් එක් වැරැදි මතයක් තමයි බතලවල පැණි රසක් පවතින නිසා එය දියවැඩියා රෝගීන්ට අගුණයි කියලා. නමුත් ඒ මතයේ කිසිම සත්‍ය බවක් නෑ. බතල දියවැඩියාව රෝගයෙන් පෙළෙන අයට අහිතකර බවක් නෑ කියලා අපි පර්යේෂණ මට්ටමින් පවා තහවුරු කරගත්තා. බතලවල තිබෙන පෙට්‍රික් තන්තු නිසා කෑමවල තිබෙන සීනි අවශෝෂණය අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දියවැඩියාව රෝගයෙන් පෙළෙන රෝගීන්ට බතල අල වැඩි වශයෙන් භාවිත කිරීම මඟින් එම රෝගයෙන් මිදෙන්න පුළුවන්.
ඒ වගේම බතල අල හැරුණාම බතල කොළවල පවතින තවත් විශේෂ ගුණයක් තිබෙනවා. හමේ හටගත් දද, කුෂ්ඨ, හොරි වගේ සැරව ගෙඩි සුව කිරීමේ හැකියාවක් බතල කොළවල තිබෙනවා. ඔබත් එවන් රෝගයකින් පෙළෙනවා නම් බතල කොළ දලු සමඟ එළඟි තෙල් ස්වල්පයක් මිශ්‍ර කර සැරව ගෙඩි මතුපිට ආලේප කරන්න. ස්වල්ප වේලාවකින් ඒ සැරව ගෙඩි පුපුරා ශ්‍රාවය ඉවත් වේවි. ඉන්පසු ඒ ස්ථානය හොඳින් පිරිසුදු කර බතල දලු සහ එළඟි තෙල් ඖෂධ මිශ්‍රණය දිනකට වරක් බැගින් නැවැත ආලේප කළොත් ඔබට නිසි සුවයක් ලබන්න පුළුවන්.
සාමාන්‍ය තේ කොළ වියළනවා වගේ බතල කොළ වියළා ගෙන (මඳ පවනේ වියළන්න) කුඩු කරලා තේ කුඩු වෙනුවට ගොටුවක බතල කොළ කුඩු දමා උණු වතුර සමඟ තම්බා දිනපතා පානය කරනවා නම් ඒ පානය ඉතාමත්ම ගුණදායකයි. හිස රුජාව, උණ වගේ රෝග තත්ත්වයක් වැලඳුණු මොහොතක වුණත් ඒ බතල කොළ තැම්බුම් පානය ගන්නවා නම් හිසරදය, උණ සුවකරගන්න පුළුවනි." බතල ආශ්‍රිතව සිදුකරන ලද නවතම පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල අත්විඳීමට හැකිවූ බවද ජ්‍යේෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. ඒ අනුව ළපටි බතල දඬු තුළ ඩෙංගු රෝගීන්ගේ පට්ටිකා වැඩිකිරීමේ විශේෂ හැකියාවක් පවතින බවද, එය නවතම පර්යේෂණයකට අනුව හෙළිකරගත් බවද ජ්‍යේෂ්ඨ කථිකාචාරිනිය පැවැසුවාය. එබැවින් ඩෙංගු රෝගී පුද්ගලයන් බතල දලු සහ බතල දඬු මිශ්‍ර වෑංජනයක් හෝ තෙම්පරාදුවක් දින දෙකකට වරක් හෝ සිය ආහාරයට එක්කර ගන්නේ නම් ඩෙංගු රෝගී තත්ත්වය මෙම සුවිශේෂී ඖෂධය නිසා මඟහැරී යන බවද හැරපත්දෙණිය මහත්මිය අවසානයේදී පැවැසුවාය.