
ආර්තවයේ වේදනා ආයුර්වේද ක්‍රමයෙන් සමනයට පත් කරගන්නේ කෙසේ ද?
ජීවත්වීමට අරගල කරන ගැහැනු පිරිමි සියලු දෙනා තම අරමුණ කරා වේගයෙන් හඹායාමට උත්සාහ දරයි. එහෙත් ගැහැනු පාර්ශවයට පසු කළ යුතුව ඇති අභියෝග රැසකි. ඉන් එක් පැතිකඩක් වන්නේ ශාරීරික සෞඛ්‍යයි. ඒ පිළිබඳ මනා අවබෝධයක් කාන්තාව සතු විය යුතුය.
එනිසාම ඔවුන්ගේ වර්ධන අවධීන් තුළ සිදුවන ඔසප් චක්‍රය සක්‍රීයවීම හා එහි දී මුහුණ පෑමට සිදුවන දෑ පිළිබඳ ආයුර්වේද වෛද්‍ය කිෂානි වනිගසේකර මහත්මිය අදහස් පළ කරන අතර, වෛද්‍යවරිය පෙන්වා දෙන ආකාරයට කාන්තාවන්ට ආවේණික වූ මෙකී ක්‍රියාවලියේ අර්බුද රැසක් ඇතිවිය හැකියි. ඒ පිළිබඳ විමසීමකි මේ.
ස්ත්‍රී රෝග චිකිත්සාව හෙවත් ස්ත්‍රීන් සඳහාම වෙන් වූ ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේදයේ තිබෙනවා. එය නිරෝගීමත් ප්‍රජාවක් බිහි කිරීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන්නකි. ඔවුන්ට ශාරීරික වශයෙන් හා මානසික වශයෙන් විශේෂිතතා ඇත. ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය පද්ධතිය ආශ්‍රිත රෝග ස්ත්‍රීන්ටම ආවේණික වූ රෝග ලෙස සැලකෙනවා.
එහි ක්‍රියාකාරීත්වයන් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් පෙන්නුම් කරනවා. කුඩා දරුවන් එක සමාන වුවත් ක්‍රමයෙන් අවු. 12 - 13 වයසට පැමිණීමේ දී ගැහැනු දරුවන්ගේ පියයුරු වර්ධනය, මල්වර වීම, මාසිකව ඇතිවන ඔසප්වීම, ගැබ් ගැනීම, සූතිකා කාලය ලෙස එක් එක් අවස්ථා පසු කරනවා.
මේ ආකාරයට දක්නට ලැබෙන එක් එක් සිදුවීම් අතරින් විශේෂිත ක්‍රියාවලියක් ලෙස ඔසප්වීම දක්නට පුළුවන්. මෙය දින 28කට වරක් වේදනාවක් රහිතව ඇතිවන්නේ නම්, පිටවන පිරිසුදු රුධිරය ගන්ධයකින් තොර නම් එය පිරිසුදු ආර්තවයක් ලෙස හඳුනාගත හැකියි.
නමුත්, එය වේදනාකාරී ලෙස ඇතිවන්නේ නම් එවන් අවස්ථාවන් සැලකෙන්නේ අසාමාන්‍ය තත්ත්වයන් ලෙසයි. මෙහි දී යටිබඩ ආශ්‍රිත වේදනාවක් ඇති විය හැකියි. ආයුර්වේදයට අනුව මෙය වාත කෝප නිසා ඇති වෙන්නකි. ඒ සඳහා මානසික ආතතිය මෙන්ම මනසට ඇතිවන වෙනත් හේතු බලපානවා.
එසේම කායික වශයෙන් ගර්භාෂයේ ඇතිවන වෙනස්කම් සේම හෝර්මෝනවල ඇතිවන වෙනස්කම් නිසා ද ආර්තව වේදනාවන් ඇතිවිය හැකියි. විශේෂයෙන් මේ තත්ත්වයන් දක්නට ලැබෙන්නේ රෝග ලක්ෂණයක් ලෙසයි.
ඒ ආකාරයට ඇතිවන ලක්ෂණ අනුව ඩිම්බවල යම් අර්බුදයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් ද විය හැකියි. එසේම ගර්භාෂයේ පටක ආශ්‍රිත හෝ නාලවල හටගත් යම් හේතුවක් නිසා ද විය හැකිය. තදබල වේදනාවක් සහිතව ආර්තවය ඇති වන්නේ නම් එය විවිධ හේතූන් නිසා ඇතිවන තත්ත්වයකි.
ගර්භාෂයේ විකෘතිතා ලෙස පටක අනවශ්‍ය ලෙස ඝනවී තිබීම, යම් යම් අර්බුද (ෆයිබ්‍රොයිඩ්), හෝර්මෝනමය වෙනස්වීම් මේ තත්ත්වයට හේතුවිය හැකියි. එසේම අනවශ්‍ය ලෙස හුදකලා වීම, අධ්‍යාපන තත්ත්වයන් හා රැකියා ස්ථානවල ඇති තත්ත්වයන් නිසා බලපාන මානසික තත්ත්ව ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
හෝර්මෝන වෙනස්වීම් නිසා ආර්තවය අක්‍රමවත් වීම් වැඩිපුර දක්නට ලැබෙන්නේ අවිවාහක අයටය. එසේම ආර්තවය ආරම්භයට පෙර සිටම වේදනාව ඇතිවිය හැකියි. ඊට අමතරව මළ බද්ධය, වමනය, ඔක්කාරය, නොසන්සුන් බව ද ඇතිවිය හැකියි. ඇතැම් කාන්තාවන්ට ඒකාකාරී රුධිර වහනයක් නොමැතිව අධික ලෙස රුධිර වහනයක් දැකගත හැකියි.
තවත් විටෙක ආර්තවය අක්‍රමවත් වීම ද ඔසප් වේදනා ඇතිවීමට බලපෑ හැකියි. එවන් අයකුට ප්‍රතිකාර කිරීමේ දී හොඳීන් පරීක්ෂා කළ යුතුයි. ඩිම්බ කෝෂ 2න් එකක් ක්‍රියා කරන්නේ නැතිනම් එවිට ද ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකියි. එය ප්‍රතිකාර මගින් ක්‍රමවත් කළ යුතුයි.
තව ද නොයෙකුත් ආසාදන හේතූන් මෙන්ම ගබ්සාවන් නිසා ද මෙවැනි තත්ත්වයන් දැකගත හැකියි. වෙනත් රෝගවලට ගන්නා ඖෂධ නිසාත් ආර්තවය අක්‍රමවත් වේ.
අධික හෝ මද ආර්තවයක් ඇතිවීමේ දී සිදුවන්නේ වේදනාවක් දැනීමයි. බොහෝ විට තරුණියන් අතරේ මෙය දකින්නට ලැබෙන්නේ මානසික හේතූන් නිසා ඇති වූ තත්ත්වයන් ලෙසයි.
ආයුර්වේදයේ දී මේ සඳහා බාහිර ප්‍රතිකාර හා අභ්‍යන්තර ප්‍රතිකාර සිදුකරනවා. ඒ අනුව බාහිර ප්‍රතිකාර ලෙස තෙල් භාවිතා කරනවා. එය යටිබඩ ප්‍රදේශයේ හා පාද වැනි ස්ථානවල ගැල්වීම සිදුකරනවා. ගර්භාෂය සංකෝචනයට උදව්වන ඖෂධ තිබෙනවා. ඒවා භාවිතයෙන් ගර්භාෂයේ තිබෙන අපිරිසුදු රුධිර පිටකිරීමට සලස්වනවා.
වාත සමන ප්‍රතිකාර ද මේ අතර වෙනවා. ස්වේද කර්ම හා උණුවතුරෙන් කරන ප්‍රතිකාර ද සිදු කරනවා. තවද වස්ති විරේචන කර්ම සිදුකරනවා. ඊළඟ ආර්තවයට ගර්භාෂය සංකෝචනය වීමට ප්‍රතිකාර ආරම්භ කරනවා. මෙහි දී කොත්තමල්ලි, තල, සතකුප්ප, උක්හකුරු, එඬරු තෙල් වැනි දේශීය ඖෂධ භාවිතයෙන් ආර්තවයේ පවතින අපහසුතාවයන් මඟහරවා ගැනීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියාව තිබෙනවා.