top of page

ගැස්ට්‍රයිටීස් රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

 


මගේ වයස අවුරුදු 38යි. මම රැකියාව ලෙස ලිපිකාරිණියක් වශයෙන් සේවය කරමි. මම ඉතා කුඩා ප්‍රමාණයක් පමණයි ආහාරයට ගනු ලබන්නෙ. මට හරියටම වෙලාවට කෑවෙ නැත්නම් බඩදැවිල්ල ගන්නවා. ඒ වේදනාව පිට කොන්ද තෙක් යන බව දැනෙනවා.

පිටි සහිත කෑම වර්ග ගත්විට මට අපහසුතාවක් කුස තුළින් දැනෙනවා. එබැවින් මා කල්පනාකාරීව කුසට උචිත ආහාර වන, බත් වැනි ආහාර පමණයි ආහාරයට ගන්නේ මේ තත්ත්වය මත මා ඉතාම අපහසුතා රැසකට මුහුණ පා සිටිනවා. සමහරදාට එක ආහාරවේලක් ගන්න ප්‍රමාද වුවොත් හිසේ අමාරුවත් සමඟ බඩ දැවිල්ල එන බව පැහැදිලිවම කිව හැකියි. මෙයට ප්‍රතිකාරයක් කියන්න.

මෙම රෝග තත්ත්වය අම්ල පිත්ත හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ එන ගැස්ට්‍රයිටීස් රෝගයයි. ආයුර්වේදයේ මෙම රෝගය ඇඹුල් පිත නමින් හඳුන්වයි. උගුරට ඇඹුල් රසයක් දැනෙන නිසා මේ නම තබා ඇත. මිනිස් සිරුරේ ඇති ආමාශය නැමැති ඉන්ද්‍රිය තුළ පිත අති ප්‍රබලයි.

අග්නිය (බඩගිනි) දැනෙන විට ආමාශයට පිත ස්‍රාවය වැඩි වෙනවා. එය දැනෙන විට ආහාර ගැනීම සිදු කළ යුතුයි. එවිට ආහාර පිත සමඟ එක් වී අග්නිය සමනය කරනවා. මේ නිසා පිත වැඩිවීමක් වන්නේ නැහැ. නමුත් අපිට බඩගිනි දැනුනත් ආහාර නොගෙන සිටීමෙන් පිත වැඩිවිය හැකියි.

ඒ වගේම ගන්නා ආහාර ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට නැත්නම් එවිටද පිත වැඩි වේ. කටුක රස, අම්ල (ඇඹුල්) රස, ලවණ රසවලින් හෙබි ආහාර ගත් විටද පිත වැඩීමක් ද වේ. මේ රසයන් අඩංගු ආහාර වැඩියෙන් හෝ අඩුවෙන් ගත්තත් පිත වැඩි වෙන්න පුළුවනි. මෙවිට අම්ල පිත්ත රෝගය ඇතිවිය හැකියි. උගුරට ඇඹුල් රස දැනීම, බඩදැවිල්ල, කරකැවිල්ල, බඩ කැක්කුම, පිට දැවිල්ල වැනි ලක්ෂණ ඔබට මෙම රෝගයෙන් ඇතිවන සංකූලතා ලෙස දැක්විය හැකියි.


ඖෂධීය ප්‍රතිකාර
ආයුර්වේදයේ මේ සඳහා ලබාදිය හැකි විවිධ චූර්ණ වර්ණ ඇත. බාස්කර ලවණ චූර්ණය, සංඛ භෂ්ණ චූර්ණය, සංඛවටී ආදිය බහුලව යොදා ප්‍රතිකාර යොදයි. මෙහිදී අර්ෂ්ට ඖෂධ යොදා ප්‍රතිකාර නොකරයි.
 

  • දුම්මැල්ල කලං 6, විෂ්ණු ක්‍රාන්තිය කලං 6 බැගින් ගෙන කෂාය කර 8 1 ට සිඳුවා පත 1/2 බැගින් උදේ සවස බොන්න.

  • රසකිඳ කලං 6, නෙල්ලි කලං 6 බැගින් ගෙන වතුර කෝප්ප 8ක් දමා කෝප්ප 1ට සිඳුවා පත 1/2 බැගින් උදේ සවස බොන්න.

  • කුෂ්මාණ්ඩ අවලේහය දෙන්න.

  • කී කිරිඳිය කලං 6, දුම්මැල්ල කලං 6 බැගින් ගෙන වතුර කෝප්ප 8 1 ට සිඳුවා පෙරා පත 1/2 බැගින් උදේ සවස බොන්න.


ගැස්ට්‍රයිටීස් (අම්ල පිත්ත) රෝගයෙන් මිදීමට කළ යුතු දේ
කටුක, අම්ල හා ලවණ යන රස අඩංගු ආහාර නොගැනීම.

ඔබ කෙටි ආහාරවලට ඇල්මක් දක්වයි නම් ඉන් මිදීමට සිදු වේ. කෙටි ආහාර ගැනීම තුළින් අම්ල පිත්ත රෝගය හට ගැනෙන බව වෛද්‍ය උපදෙසයි.

සියළුම කෘත්‍රිම ආහාර වර්ග අත්හැරීම කළ යුතුයි. රසකාරක යෙදූ බීම වර්ග භාවිතය අතහළ යුතුයි. ඒවා සිරුරට විෂ විය හැකි තත්ත්ව පවා ඇති විය හැකියි. තෙල් අධික ආහාරයෙන් වැළකී සිටීම ගුණදායකයි. අම්ල පිත්ත රෝගයට පමණක් නොව කොලෙස්ටරෝල් වැනි රෝග ඇති වීමට ද තෙල් අධික ආහාර ගැනීම ඉවහල් වේ.

 

  • නිතර වතුර පානය කරන්න.

  • උෂ්ණාධික නොවන ආහාර හා තෙල් බහුල නොවන ආහාර විශේෂයෙන් අළුකෙසෙල් වැනි ආහාර හා පේර වැනි පලතුරු සුදුසුයි.

  • වැඩිදුර ප්‍රතිකාර සඳහා සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවන්න.

  • අරළු, බුළු, නෙල්ලි කලං 6 බැගින් ගෙන කසාය කර 8 1ට සිදුවා පත 1/2 බැගින් උදේ සවස බොන්න.

  • බෙලිකොළ මිටක් තම්බා ගත් වතුර උදය සවස කෝප්ප 1/2 බැගින් බොන්න.

  • කැහි පිත්තං කොළ මිටක් ගෙන කොටා ගත් යුෂය උදේ සවස බොන්න. එය වරකට මේස හැන්ද බැගින් ගන්න.

  • කෝමාරිකා මදය ඖෂධයක් ලෙස ගන්න.


- ස්වර්ණා ආරියවංශ

  උපුටනය: ආරෝග්‍යා

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page