
දියවැඩියාවෙන් ඇතිවන අතුරු ආබාධවලට
නිවසේදීම ආයුර්වේද ප්‍රතිකාර
කලින් කලට එන රෝග නිසා බොහෝදෙනා විිවිධ අන්දමින් දුක් විඳින්නේ දැනෙන වේදනාව, අපහසුතාව සිරුරට උහුලන්න බැරි නිසයි. විශේෂයෙන් කුඩා ළමුන් විගසින්ම රෝගවලට ගොදුරු වෙනවා. උණ, පාචනය, අතීසාරය වැනි බෝ වන රෝග මෙලෙස කලින් කලට වෙනස් වෙවී ඇති වෙන රෝගයි. නමුත්, අතපය හිරිවැටීම, වාරු නැතිවීම, සමහරවිට අංශයක් අඩපණ වී දැනෙන්නේම නැතිව තිබීම, සුව නොවන තුවාල ඇතුව එන රෝග ගැන හිතුවොත් කොතරම් දුක්බර තත්ත්වයක් ද? රෝගියෙකුගේ සංවේදීතම අවස්ථාව මෙයයි.
මේවා බෝ නොවන ප්‍රධාන රෝග තත්ත්වලින් පසුව එන අතුරු ආබාධයන් නිසා හටගන්නා උපද්‍රවයන්ය. විශේෂයෙන් දියවැඩියාව නිසා හටගන්නා සංකූලතා වෙයි. මෙහිදී කළ යුත්තේ පීඩාවට පත් රෝගියාගේ ශරීරය වගේම මනසට සහනයක් ගෙන දීමයි.
තවදුරටත් රෝගය වර්ධනය නොවන ලෙස පවත්වා ගන්නා ආකාරය ගැන රෝගියාගේ අවධානය යොමු කර මූලික ප්‍රතිකාර කිරීමට සැලැස්වීම යැයි අපට පවසන්නේ ගාල්ල ආයුර්වේද රෝහලේ වෛද්‍ය මුදිතා නානායක්කාරයි.
අවධානය දියවැඩියාවටයි
බෝවන රෝග වෙනස් වෙවී විවිධ ස්වරූපයෙන් කලින් කලට පැමිණියත් අපට වළක්වා ගත හැකි බෝ නොවන රෝග අතර දියවැඩියාව ප්‍රමුඛස්ථානයකට පත්ව තිබෙනවා. ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා හටගන්නා දියවැඩියාව නිසා සිරුරේ සියලුම ඉන්ද්රියයන් අඩපණ කිරීමට පවා සමත් වෙයි.
සතුටට කාරණය වන්නේ රෝගය උත්සන්න නොවීමට කළ යුතු ප්‍රතිකර්ම අප අතර ඇති නිසයි. ආහාර රටාවේ වෙනස්කම් ඇති කිරීම, මනාලෙස ව්‍යායාම කිරීම සහ මත්පැන් පානයෙන් වැළකීම වැනි කාරණා නිසා රෝගය පාලනය කළ හැකියි. කෙසේ හෝ රෝගය උග්‍ර ලෙස ඇති වී ඇතිවන සංකූලතා නිසා ඔබගේ දිවි තොර ගැනීමට පවා සිතෙන අවස්ථා ද නැතුවා නොවේ.
සම්භාහන සුවය
දියවැඩියා රෝගියෙකුට පසුකාලීනව ඇතිවන උපද්‍රව මසාජ් කිරීම් තුළින් ලැබෙන ප්‍රතිඵලය ඉහළ මට්ටමක පවතියි. සමහරවිට ඔවුන්ට දැනෙන සුවය කියා නිමකළ නොහැකියි. දියවැඩියාව උත්සන්න අයෙකුට එය ද මානසික සහනයකි.
හිරිවැටීමක් ඇති වූ විට කිසිම දැනීමක් හෝ පාලනය කිරීමක් කළ නොහැකියි. ඉබේ අතපය තිබෙනවා විනා තමන්ට දැනීමක් නැත. නමුත් සම්භාහනය තුළින් ලැබෙන රුධිර සැපයුම නිසා ටිකෙන් ටික අකර්මණ්‍ය වූ ස්නායු නැවත ක්රියාකරන්නට පටන් ගනියි. මෙවැනි තත්ත්වයක් ඇතිවීම දියවැඩියා රෝගියෙකුට ලැබෙන සහනයකි. සම්පූර්ණයෙන්ම දියවැඩියාවෙන් මිදීමට එය හේතුවක් නොවූවත් එහි සංකූලතා පාලනයකට සෑහේ.
දියවැඩියාව නිසා ඇතිවන අතුරු ආබාධ ලෙස එන උපද්‍රව
රෝගයේ උත්සන්නතාව නිසා ඔබ දුක් විඳිනවා විය හැකියි. මෙම රෝගයේදී දරුණු අවස්ථාවට පැමිණි විට ඇතිවන හිරිවැටීම, දැවිල්ල ඇතිවීම, පණ නැති ගතිය, වේදනාව ඇති වන උපද්‍රවයන්ය. අත් පාවල දැවිල්ල, හිරිවැටීම, වේදනාව විශේෂයෙන් ඇති වේ. බොහෝවිට දියවැඩියා රෝගයට පිළියම් කළාට මෙවැනි උපද්‍රවයන්ට පිළියමක් ලැබෙන්නේ නැත. නමුත් එවැනි උපද්‍රව සඳහා පීඩා දුරුවීමට කරන පිළියම් කෙසේ ද යන්න සොයා බලමු.
නිවසේදී මේ ප්‍රතිකාරය කළ හැකියි
තදබල ලෙස දියවැඩියා සංකූලතා ඇති අයට මෙය විශේෂයි. දියවැඩියා නොවන මේ සංකූලතා ඇති රෝගියෙකුට වුවද මේ ප්‍රතිකාර ක්‍රමය සුදුසුයි.
මඳ රස්නය ඇති තැම්බූ බෙලි කොළ වතුර ගෙන ඇඟිලි පුරුක් හොඳින් තවන්න. රෝගියාට එය කළ නොහැකියි. හිරිවැටීම ඇති නිසා රස්නය බැලීමට ගොස් පිළිස්සී යා හැකි බැවින් නිවසේදී වෙන අයෙකුගේ උදව් ගෙන මේ සාත්තුව කළ යුතු බව මතක තබාගන්න. පසුව ඖෂධීය තෙල් වර්ගයකින් හොඳින් මසාජ් කරන්න.
දැවිල්ල ඇති වූ විට
දියවැඩියා රෝගයට අදාළව තවත් සංකූලතාවක් වන්නේ දැවිල්ල ඇතිවීමයි. පාදවල, අත්වල ඇතිවිය හැකියි. කෝමාරිකා මදය සූරා දැවිල්ල ඇති තැන්වල හොඳින් ගාන්න. ටික වේලාවකින් සහනයක් ගෙන දේ.
උපද්‍රවයන්ට පිළියම් ලැබෙන පිළිවෙල
රෝගයේ ලක්ෂණ හඳුනාගෙන උපද්‍රවය පිළිබඳව රෝග නිශ්චය ලබා අදාළ සත්කාර ඒකකයට යොමු කර ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කරයි. ප්‍රධානවම,
1. කැක්කුම (වේදනාව)
2. දැවිල්ල යන කරුණු දෙක අනුව අදාළ තෙල් වර්ගය තෝරා ගෙන උපද්‍රව්‍ය ඇති ස්ථානයේ හොඳින් ගාන්න. අත් පාවල එන හිරිවැටීමක් හෝ දැවිල්ල ඇති වීමක්, පණ නැති වීමක් නම් එය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට ඖෂධීය ප්‍රතිකාර මෙන්ම සම්භාහන (massage) කිරීමක් කළ යුතු වෙයි.
තෙල් සාත්තුව කරන්නේ මෙහෙමයි
අත් පාවල ඇඟිලි හිරිවැටීම වැනි උපද්‍රව වලදී දැනෙන දැඩි අපහසුතාව නිසා මානසික පීඩාව ද වැඩි වනු ලැබේ. ඒ නිසා මෙවැනි උපද්‍රව වලට සහනයක් සැලසිය හැක්කේ තෙල් දමා මසාජ් කිරීමෙනි. තෙල්වලින් මසාජ් කරන්නට පෙර තෙල් ටික රත්කර පුළුන් හෝ ගෝස් කැබැල්ලක් රත් වූ තෙල් හි පොඟවා හිරිවැටුන හෝ වේදනාව ඇති ස්ථානයේ තබා තෙල් සමට පතිත වීමට සලස්වයි.
පසුව හොඳින් මසාජ් කරන්නට සලස්වනවා. තෙල් වේලෙන තෙක් මසාජ් කර නැවත තෙල් රත්කර පුළුන් හෝ ගෝස් කැබැල්ලක පොඟවා තෙල් ගාන්න. පසුව නැවත මසාජ් කිරීමට සලස්වන්න. මෙසේ විනාඩි 45ක් ඇතුළත තුන්පාරක් පමණ මෙම මසාජ් කිරීම වඩාත් යෝග්‍යයි.
පාද හිරිවැටීම (පාද දාහය) කළ යුතු දේ
දියවැඩියාවේදී එන උපද්‍රව වලදී පාදවලට තිබෙන බලපෑම වැඩියි. පාදවල හිරිවැටීම පවා එවැනි රෝගීන්ට දැඩි වේදනාවක්. ඒ නිසා පාදවලට විශේෂ වූ ප්‍රතිකර්මයක් ගැනයි මේ. බුළු ඇට මද කිහිපයක් ඇල් දියෙන් අඹරා එයට එළකිරි දමා මිශ්‍ර කර හිරිවැටුණු පාදයේ ගාන්න.
පසුව මසාජ් කරන්න. උදේ හවස ගාන්න. රුධිරයේ ක්‍රියාකාරිත්වය ඇති වී පාදයට සහනය ගෙන දේ. රසකිඳ කොළ මිටක් පමණ ගෙන එළඟි තෙලින් අඹරා ගාන්න. පසුව හොඳින් මසාජ් කරන්න. හිරිවැටීම අඩු වී සහනයක් දෙයි.
ස්වර්ණා ආරියවංශ
උපුටා ගැනීම: දිනමිණ