top of page

දියවැඩියාව ඇතිවීමට ප්‍රධානම හේතු


දියවැඩියාව සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන අප සැමවිටම කතාබහට ලක් කරන මාතෘකාවක් බවට පත්ව ඇත. එය ලෝකයේ කුමන තැනක කවර අයෙකුට ඇති වූවද ප්‍රධාන වශයෙන් පොදුවේ බලපාන හේතු කිහිපයක් මත පදනම් වේ.


නමුත් ආසියාතික රටවල වෙසෙන අප ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ අපට නුහුරු නුපුරුදු වර්තමාන ජීවන රටාව නිසා පහසුවෙන් අපි එහි ගොදුරු බවට පත්විය හැකි නිසයි. මධුමේහය එසේත් නැත්නම් දියවැඩියාව පිළිබඳව ආයුර්වේදීය පවතින වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පිළිබඳ විසමා බලමු. ඒ පිළිබඳව අදහස් දැක්වූයේ ආයුර්වේද වෛද්‍ය ලේල්වල ගිහාන් ගොඩකන්ද මහතායි.


දියවැඩියාව හෙවත් මධුමේහය
මධුමේහය වර්ග 20කට බෙදා දැක්විය හැකිය. ඒවා සෙම නිසා ඇතිවන කොටස් 10ක් ද පිතෙන් ඇතිවන කොටස් 6ක් ද වාතය නිසා ඇතිවන කොටස් 4 ක් ලෙසින් වර්ග වේ. දියවැඩියා රෝගීන් මේ වනවිට ලෝකයේ සුලබව දැකගත හැකි වේ.

බටහිර ක්‍රමයට අනුව රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය මැන බලා මේ බව තීරණය කරනු ලැබේ. යම් හේතුවක් නිසා රුධිරයේ තිබෙන සීනි ප්‍රමාණය වැඩි වූ පමණින් ඔවුන් දියවැඩියා රෝගීන් ලෙස නම් කෙරේ. ඔවුන් ඉලක්කම් මත දියවැඩියා රෝගීන් යැයි නිර්ණය කළත් රෝගීන්ගේ පසුබිම පිළිබඳ විමසා බැලීමක් සිදු නොවේ.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව ඉහත පැහැදිලි කළ දියවැඩියා රෝග අවස්ථාවන් 20 අතුරින් 16ක් සුවකළ හැකි රෝග අවස්ථාවන් වේ. නමුත් ඇතැම් දියවැඩියා රෝගීන්ට සිදුවන්නේ ජීවිත කාලය පුරාවටම ඖෂධ භාවිතා කරමින් ජීවත්වන්නටය.

නමුත් ඇතැමුන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ විශේෂ කැමැත්තක් නොදක්වයි. කට පරිස්සම් නොකර ගැනීම දියවැඩියාව ඇති වීමට ප්‍රධාන හේතුවක්. පෙර පැහැදිලි කළ දියවැඩියා රෝග අවස්ථා අතුරින් ඉතිරිවන රෝග අවස්ථා 4ක් සුවකර ගැනීම අපහසු වූවත් පාලනය කළ හැකියි.

පාරම්පරික හා ජාන මඟින් ඇතිවන දියවැඩියාව සුව කිරීම අපහසු නමුත් පාලනය කළ හැකිය. නමුත් පෙර පැහැදිලි කළ පරිදි 16ක් ඉතා පහසුවෙන් මෙන්ම 10ක් ඉතාමත් පහසුවෙන් සුවකළ හැකි රෝග අවස්ථාවන් වේ.
දියවැඩියාවට අක්‍රමවත් ආහාර රටාව බලාන අන්දම

අතීතයේදී අපගේ ආහාර රටාව පිළිබඳ විමසා බලනවිට වර්තමානයේ තරම් තෙල්, පිටි, සීනි කෑම සුලබව නොතිබිණි. නමුත් මේ වනවිට කුඩා දරුවා පවා දියවැඩියාවට ගොදුරු වී ඇත්තේ ප්‍රධාන වශයෙන් පැණි රස ආහාර වර්ග බහුලව ආහාරයට ගැනීම නිසයි.

ඒ වගේම චොකලට්, පැණි බීම, පිටි කෑම, තෙල් කෑම ද එදා දරුවන්ට ආහාරයට පහසුවෙන් නොලැබිණි. නමුත් ඒ තත්ත්වය අද වනවිට මුළුමනින්ම වෙනස්ව ඇත. වර්තමානයේ දරුවන්ට දියවැඩියාව සෑදීමට ප්‍රධාන හේතු සීනි, අයිස්ක්‍රීම්, පිටිකෑම, සුදු බත් ආදිය බහුලව ආහාරයට ගැනීමයි.

මීට අමතරව රස කාරක, කෙටිකෑම, තෙල් වර්ග ද බහුල ලෙසින් ආහාරයට ගනු ලැබේ. මේ සියල්ල ශරීරයේ ප්‍රකෘති ස්වභාවය ඉක්මවා යවයි. මීට පිළියම් ලෙස මූලික වශයෙන්ම සීනි භාවිතය අවම කර හැකියි. ඒ වගේම චොක්ලට් භාවිතය නතර කළ යුතුයි. නමුත් කලාතුරකින් ආහාරයට ගත හැකියි.

පුරුද්දක් ලෙසින් ආහාරයට ගැනීම සුදුසු නොවේ. ඒ වාගේම සුදු බත් වැනි දේ ආහාරයට ගැනීම ද ඉතා පහසුවන නිසා බොහෝදෙනා මේවා බහුල ලෙසින් ආහාරයට ගැනීමට පෙළඹී ඇත. ඒ වගේම මෙම ආහාර ද්‍රව්‍ය ආහාරයට ගත් විගස ශරීරයේ රුධිරය සමඟ මිශ්‍ර වේ. ඊට හේතුව ඒවා ඉක්මනින් ජීර්ණය වීමයි.

අතීතයේ සිටි අය ආහාරයට ගත් කුරක්කන්, මෙනේරි, ආදී දේ මෙන්ම නිවුඩු හාල් ආහාරයට ගැනීමෙන් ආහාර ජීර්ණය වු විගස රුධිරය සමඟ එකතු නොවේ. අදාළ පුද්ගලයා කරන ක්‍රියාකාරකම් සමඟ ඒවා ටිකෙන් ටික ක්‍රම ක්‍රමයෙන් රුධිරයට එකතු වේ.

නමුත් පෙර පැහැදිලි කළ දිරවීමට පහසු ආහාර, ආහාරයට ගැනීමෙන් ඒවා ක්ෂණිකව ජීර්ණය වී රුධිරගත සීනි මට්ටම ඉහළ ගොස් එය පාලනය කර ගැනීමට අපහසු තත්ත්වයට පත් වේ. ඒ නිසා මෙම කරුණු සියල්ල හොඳින් මතක තබාගෙන තමා ලබා ගන්නා පැණි රස ආහාර වලින් වැළකීම වඩා වැදගත්. මේවා ඉදිරියේදී දියවැඩියාව වැළදීම වළක්වා ගැනීමටත් එකසේ වැදගත් කරුණු වේ. නමුත් දියවැඩියාව නොවැළදුණු අයෙක් කලාතුරකින් මේවා ආහාරයට ගත්තාට වරදක් නැත.

පෙර පැහැදිලි කළ ආකාරයට දියැඩියා වර්ග 16ක් සුව කිරිමට හැකියාව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ඇත. නමුත් නිවැරදිව ආහාර පුරුදු පවත්වාගෙන යාම, ව්‍යායාම, කසාය සහ ඖෂධ පානය දිවා කාලයේ නිදා ගැනීම ආදියෙන් වැළකිය යුතුයි.

ඝර්ම කලාපීය රටවල අපට සුදුසු මෙන්ම නුසුදුසු ආහාර වර්ග ද තිබෙයි. විශේෂයෙන් පීසා වැනි ආහරවල අඩංගු චීස් සහ පිටි ප්‍රමාණය අපට ඔරොත්තු නොදෙන මට්ටමට පත්ව ඇත. ශීත රටවල මේදය අධික ආහාර ශීත කාලයේදී දහනයට ලක් වේ. නමුත් ආසියාතික රටවල අපට එම ආහාර භාවිතය එතරම් සුදුසු නොවේ.

- නුවන්ති කුලරත්න

උපුටනය: ආරෝග්‍යා
 

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page