top of page

කැස්සට ආයුර්වේද ප්‍රතිකාර

දැන් සති කිහිපයක සිට කැස්ස තදින්ම පවතිනවා. සමහර අවස්ථාවලදී සෙම වැඩි වී උගුරේ හිරවීමක් ද ඇති බව දැනෙනවා. කැස්ස හැදුණු විට එක දිගටම පවතිනවා. හිසරදය ද තදින් දැනෙනවා. කැස්ස වැඩි වූ විට පපුවෙ මහන්සිය සමඟ පපුවෙ වේදනාව, රිදීමක් ඇති වෙනවා. කෑම අරුචිය, ඔළුවේ බරගතිය, ඔක්කාරය, කටට කෙළ උනා ඒම, සුදු පැහැගැන්වුණු සෙම පිටවීම ඇති වෙනවා. මේ සඳහා මට ප්‍රතිකාර වගේම වෛද්‍ය උපදෙස් ටිකක් කියන්න.

ආයුර්වේදයට අනුව මේ රෝගී තත්ත්වය කැස්ස හෙවත් කාස වේ. මෙය ස්වතන්ත්‍ර රෝගයකි. බොහෝ දෙනෙකුගේ අදහස, කැස්ස යනු යම් රෝගයක රෝග ලක්ෂණයක් ලෙසයි. නමුත් එය රෝගයක රෝග ලක්ෂණයක් නොව, කැස්ස රෝගයක් ලෙස ආයුර්වේදයේ හඳුන්වා ඇත.

ඔබගේ මේ තත්ත්වයට පාදක වන හේතු කිහිපයක් ඇත. එය අභ්‍යන්තර හේතු හා බාහිර හේතු වශයෙන් පෙන්වා දිය හැකියි. අභ්‍යන්තර හේතු ලෙස,
 

* බෙල්ලේ අභ්‍යන්තර ඉදිමුමක් ඇතිවීම
* අපත්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම
* රළු ආහාර ද්‍රව්‍ය ගැනීම
* අධික ලෙස වෙහෙසීම
* මල මුත්‍රා වේග දරා සිටීම

* කිවිසුම් වේගය පහ නොකොට දරා සිටීම

වැනි කරුණු ඔබට බලපා ඇත. එසේ නොමැති නම් බාහිර හේතු මේ ලෙස බලපෑ හැකියි.

* දුම් වැදීම
* දූවිලි වැදීම නිසා ඇතිවන අසාත්මිකතා
* රසායනික ද්‍රව්‍ය අඩංගු වාතය ආශ්වාස කිරීම ආදීන්ය.
ඔබගේ මෙම රෝග තත්ත්වය ඇතිවන්නට පෙර ඇති වූ පූර්ව රෝග ලක්ෂණ වන උගුර කැසීම, මුඛය කැසීම, උගුර සිරවීම හා ආහාර පාන හිරවීම වැනි හේතු වළක්වා ගත්තේ නම් කැස්ස වර්ධනය නොවන්නට ඉඩ තිබුණි.

මෙම පූර්ව රෝග ලක්ෂණ ඇතිවන අවස්ථාවලදී ඉඟුරු, කොත්තමල්ලි තම්බා බීම සහ ඉඟුරු පෙති සීනි සමඟ විකා කෑම තුළින් එම තත්ත්ව මැඩ පවත්වා ගන්නට පුළුවන. කැස්සේ ප්‍රභේද 5කි. ඉන් ඔබට ඇත්තේ කපජ කාස හෙවත් සෙම අධික කැස්සයි. මෙහිදී නිවැරදි ප්‍රතිකාර ඔබට නොලැබුණි නම් හතිය, පපුවෙ වේදනාව ඇඟිලි පුරුක් වේදනාව, ස්වර භේද (හඬ වෙනස් වීම), කහින විටදී පරෙවියෙකුගේ මෙන් හඬක් ඒම වැනි රෝග ලක්ෂණ ඔබට ඇතිවීමට පුළුවන. එවැනි තත්ත්වය අභිබවා තව දුරටත් ප්‍රතිකාර නොකර සිටියොත් තුන්දොස් (වාතය, පිත, සෙම) කිපී ශරීරයේ පෝෂණය (ධාතු) ක්ෂය වී යයි. මෙහිදී ශරීරය සීතල ගතිය, දැඩි පපුවෙ වේදනාව, සෙම්ප්‍රතිශ්‍යාව, කකුල් අතපය වේදනාව ඇති වේ.

කළ යුතු ප්‍රතිකාර
සාමාන්‍යයෙන් කැස්ස රෝගයට ප්‍රතිකාර ලබන විටදී එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර නියම වේ. ඔබ වැනි රෝගියෙකුට මෙවැනි ප්‍රතිකාර කර්ම යෝග්‍ය වනු ඇත.

වැල්මී, මුද්දරස්පලම්, සීනි, සූකිරි කලං 3 බැගින් කුඩු කර තේ හැඳි 1 බැගින් ආඩතෝඩා (පාවට්ටා) කොළ තම්බා බීමෙන් සුවය ලබයි.

ගම්මිරිස් කුඩු, ගිතෙල්, මී පැණි, සීනි සමඟ කලවම් කර උගුරේ තබා සිටීම (ලේහ කිරිම)

කැස්ස ඇතිවිට මෙන්ම ඔබගේ රෝග තත්ත්වය තුළදී මේවායින් වැළකී සිටින්න.

ශීත කළ බීම පානයෙන් වළකින්න. ශීත කළ ආහාර පාන ගැනීමෙන් වළකින්න.

එළකිරි, මී කිරි, ජෙලි, සෝස්, රසකාරක අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න.

පිපිඤ්ඤා, බණ්ඩක්කා, අන්නාසි, අඹ, අච්චාරු කෑමෙන් වළකින්න.

අවේලාවේ දියනෑම හා ශීතල ජල භාවිතය, නිදි වැරීම, කැස්සට තදබල ලෙස අහිතකර බැවින් වළකින්න. පසුකාලීනව කැස්සට ප්‍රතිකාර නොකිරීමෙන් කෂය රෝගය, ඇදුම වැනි උපද්‍රව ඇතිවිය හැකියි. විශේෂයෙන් ළමුන්ට මෙවැනි තත්ත්වයකදී ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි.

ඔබට නිවසේදී සාදාගත හැකි පැණියක් පවනේ වේලාගත් නික කොළ 100g පත අට 1ට සිඳ කෂාය කොට ගෙන එයට සීනි 100g දමා හින්දවා ගන්න. එය සුරක්ෂිතව තබා ගනිමින් අවශ්‍ය වේලාවට තේ හැඳි 2ක් භාවිතා කළ හැකියි. කාහටත් සුපුරුදු පාවට්ටා පස් පංගුව ගෙන දුම් අල්ලන්න.

වැල් තිබ්බටු, එළබටු, තිබ්බටු, වැල් තිබ්බටු දළු කැස්සට ගුණ දෙයි.

ඇතැම් රෝගයන්ගේ රෝග ලක්ෂණයක් වශයෙන් කැස්ස සමහර අවස්ථාවලදී වර්ධනය විය හැකියි.

ක්ෂාය රෝගය, පිළිකා රෝග තත්ත්ව සෙම්ප්‍රතිශ්‍යාව එවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකි රෝග වේ. ඔබගේ ප්‍රතිකාර කිරීමේ තත්ත්වය දුර්වල වී නම් එය තවත් වර්ධනය වේ නම් විගසකින්ම මේ සම්බන්ධව විශේෂිත වෛද්‍යවරයෙකු වෙත යාම කළ යුතුයි.

නාවින්න ආයුර්වේද පර්යේෂණායතනයේ වෛද්‍ය

රුවිනි පී‍්‍රතිකා මෙන්ඩිස්
- ස්වර්ණා ආරියවංශ

Copyright © 2014 MJF Media (PVT) Ltd. All rights reserved. 

  • Facebook Clean
  • Twitter Clean
  • YouTube Clean
  • Google Clean
bottom of page